Saturday, May 26, 2012

අඳ නෙතින් මග හොඳින් දුටු මිනිස්සු



මගේ කුළුදුල් දරුවා ඉපදුන වෙලාවෙ මං දොස්තර මහත්තයාගෙන් මුලින්ම ඇහුවෙ එයාගෙ ඇස් පේනවද කියලා. දොස්තර මහත්තය ඔව් කිව්වාම මගේ හිතේ ඇතිවුන සතුට මෙතෙකැයි කියන්න බෑ. අපි දෙන්නගෙම ඇස් පේන්නෙ නැති නිසා මං හිතුවා දරුවටත් ඒක බලපායි කියලා. හිතේ ඇතිවුන සතුට හුඟක් වෙලා නොතිබුනෙ දොස්තර මහත්තයා කියපු ඊළඟ කතාවට, දරුවගෙ කකුල් දෙකේ ආබාධයක් තියෙනවා. මම ඉක්මනට දරුවා අරගෙන එයාගෙ කකුල් දෙක අතගෑවා. දෙයියනේ....... එයාගෙ කකුල්වල පහළ කොටස ඒ වේලාවෙ මට දැනුණෙ ඇඹරිලා වගේ. මගේ පපුව හෝස් ගාලා පත්තුවුණා. අපේ වට පිටාවෙ ඉන්න අය අපට කීවා ඔයදෙන්නට ඇස් පේන්නේ නෑ. මේ ආබාධිත දරුවා ඔය දෙන්නට හදන්න බෑ. දරුවා කාටහරි භාර දෙන්න කියලා. අපි කැමති වුණේ නෑ, දරුවා කාටවත් දෙන්න. අපි අධෛර්යමත් වුණෙත් නෑ. අපි දරුවාව කොහොමහරි උස්මහත් කරමු යන අධිෂ්ඨානය අපි දෙන්නා තුළම තිබුණා. වෑගොව්ව, අලූතැපොළ, අංක 45/A නිවසේ  පදිංචි ඉෂානි කුමාරි පතිරන දියණියගෙ මව ඒ. එන්. නිමාලි සෙනෙවිරත්න මහත්මිය තම කුළුදුල් දියණිය උපන් අවස්ථාවේ ඇතිවුණ හැඟීම් විස්තර කළේ ඒ ආකාරයටයි.
මවුපිය සිහිනය මල්ඵල
ගැන්වූ ඉෂානි කුමාරි

උපතින් දෙපා අහිමි වුවද අධ්‍යාපනයේ නියැලෙමින්  සරසවි වරම් ලද දිරිය දියණියක සොයා  ගිය ගමනෙදි, ඇයගෙ අන්ධ මා පිය දෙපල සහ බාල නැගණිය අභිමුවේ අපි සිටියෙමු. ඔවුන් දෙපල හිස් වා තලයට වචන විසුරුවද්දී, දෑස් දෙපා සියල්ලෙන් අඩුවක් නැති අපි සියලූදෙනා ලැජ්ජාවෙන් මිරිකෙන්නට වීමු. දෑස් දෙපා ඇති අපි ඔවුනට වඩා මනසින් දිළින්දෝ නොවෙමුද? මේ සා දුක් ගැහැට කන්දරාවක් මතින් නැඟී සිටින මේ දෙපළගේ අයෝමය චිත්ත ශක්තිය නොවන්නට මේ දිරිය දියණිය සරසවි වරම් නොලබනවා නියතය. ඉඳින් මේ දිරිය මාපිය දෙපලගේ
කතන්දරය රටට හඬ ගා කිවයුතු නොවේද?
‘‘හැබැයි මහත්තයෝ අපි අධෛර්යමත් වුණේ නෑ. අපි දෙන්නා දරුවාව අරගෙන එයාගෙ කකුල් දෙකට බෙහෙත් කරන්න පටන් ගත්තා. දරුවා පෙන්වන දිනයට, මහා පාන්දර කරාපිටිය රෝහලට දරුවා එක්කගෙන එන්න අපි පසුබට වුනේ නෑ. ගොඩක් කරදර මැද්දෙ අවුරුදු හයක් අපි දරුවාට බෙහෙත් කළා. ඒත් සුවවන ලකුණක් අපි දැක්කෙ නෑ. අපිට තේරුණා මේ වැඬේ හරියන්නෙ නෑ කියලා. අපි දෙන්නා දරුවාට බෙහෙත් කරන එක නැවැත්තුවා.’’ඉෂානිගේ තාත්තා එස්.එච්.පී. ජෝතිපාල මහතාත් කතාවට හවුල් වුණා.
දරුවා ටිකක් ලොකු වුණාම අපි එයාව වඩාගෙන පාරෙ යනකොට එයා අපිට පාර කීවා. ‘‘තාත්තෙ වාහනයක් එනවා අයින් වෙන්න.’’ ඉතිං අපේ ගමනට ඒක ලොකු හයියක් වුණා. ඊට පස්සෙ අපේ දෙවන පුතා ඉපදුනා.  එයා උස්මහත්වෙද්දී අපි දෙන්නව අල්ලගෙන පාරෙ එක්කරගෙන යනකොට අපට ගොඩක් පහසු වුණා.
ලොකු දුව ඉස්කෝලෙට දාගන්න අපට ටිකක් කරදර වන්න වුණා, එයා රෝදපුටුවෙන් යන අයෙක් නිසා. අපි දරුවාව පාසලට භාරදුන්න පසු එයාගෙ ඉතිරි කටයුතුවලට උදව්කරන්න වුණේ එයාගෙ පංතියේ යාළුවන්ට. එයාලගෙ උදව්වෙන් තමයි ළමයා පාසල් අධ්‍යාපනය කළේ. කොහොමවුණත් මේ අපහසුතාවය නිසා දරුවාව අපට පාසල් පහකට මාරු කරන්න සිදුවුණා. දරුවා සාමාන්‍යපෙළ පළමුවර අසමත්. එයත් උත්සාහයෙන් කටයුතු කළා. දෙවනවර විභාගෙ කරන්න සූදානම් වුණා. අවාසනාවකට විභාගයට පෙනී සිටි අවදියේදී එයාගෙ ඇස් නොපෙනී ගියා. අපි එයාව ඉතා ඉක්මණින්ම විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. ඔහුගේ ප‍්‍රතිකාරවලින් දරුවාට නැවත පෙනුම ලබාගැනීමට හැකිවුණා. දරුවා ඊළඟ අවුරුද්දේ සාමාන්‍ය පෙළ  විභාගයට ලීවා. උසස් පෙළ
කිරීමට හැකිවීම එයා වගේම අපි ලැබූ භාග්‍යයක්. මිනු/ අලූතැපොල වළගම්බා විදුහලේ එයා කලා විෂයයන්වලින් උසස් පෙළ අධ්‍යාපනය ලැබුවා. ඒ පංතියේ දරුවන්ගේ උපරිම සහයෝගය මැද දරුවා ඉගෙන ගත්තේ. එහි විදුහල්පති දීපාල් ගුණරත්න මහත්තයාත් දරුවාට ගොඩක් උදව් උපකාර කළා. ඉතිං එම උපකාරයන් අපතේ නොයවා දරුවා විශ්ව විද්‍යාලයට තේරුණා. එය ඇය වගේම අපත් ජීවිතයේ ලැබූ ලොකුම සතුට. අවුරුදු හතරකට පසුව එම විදුහලෙන් සරසවි වරම් ලද ඈ විද්‍යාලයටද කීර්තියක් අත්කර දුන්නාය. මගේ මහත්තයා බ්‍රේල් ක‍්‍රමයට සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගෙන තියෙනවා. මට එච්චර ඉගෙන ගන්න ලැබුණෙ නෑ. මට අවුරුදු පහක් විතර ඇස් පෙනුණා. පස්සෙ තමයි ඇස් නොපෙනුනේ. මට යන්තම් මතක, සත්තු, ගහකොළ ඇය කීවේ සිනා පිරි මුහුණින්. මහත්තයා පුටු වියනවා. සමහරු ගෙදරට පුටු වියන්න ගෙනත් දෙනවා. මහත්තයා සමහර ගෙවල්වලට ගිහින් පුටු වියලා දෙනවා.
අත් පා සතරම තියෙන දෑස් පෙනෙන සමාජයේ වෙසෙන බොහෝ අය රැකියා නොමැතිබව පෙරටගෙන කටයුතු කරන අයුරු අපට සුලබව අසන්නට දකින්නට ලැබෙන දෙයක්. සමහරෙක් එය දඩමීමා කරගෙන
අනෙකාගේ අනුකම්පාව, උදව්ව අපේක්‍ෂා කරයි. සමහර රැකියා විරහිත උගත් අය සිතන්නේ තමන්ගේ උගත්කමට සෑහෙන රැකියාවක් නොලැබුණොත් තමන් වෙනත් රැකියාවකට  නොයන බවයි. නොඑසේනම් තමන්ට තමන් අපේක්‍ෂිත රැකියාව ලැබෙනතුරු අනෙකා තමන්ව පෝෂණය කළ යුතු බවයි. ඔවුන්ගේ එම උගත් මොළවලට මෙහි සඳහන් කරන මා පිය දෙපල ගෙනහැරපාන්නේ සුළුපටු ආදර්ශයක් නොවේද?
අතපය සතර යහතින් තබාගෙන සිඟමන් පාන අයට වුවද මෙම දෙපල ගෙනහැර පාන ආදර්ශය  උතුම්ය. නිවසේ සියලූ කටයුතු කරමින් දරුවන් තිදෙනකු උස් මහත් කරමින්, ඔවුනගේ සියලූ  ඕනෑඑපාකම් හැකි පමණින් ඉටුකරන මෙවන් මව් පියන් ගමට, රටට පමණක් නොව ලොවටම ආදර්ශයකි.  වැඩිමහල් දියණිය විශ්්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී, දෙවන පුතා, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට ඉදිරිපත්වීම හා තෙවන දියණිය හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබීම ඔවුන් බරක් කරගත්තේ  නැත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දෙස සැනසිලිදායක අයුරින්ම සිතන, ඔවුන් ඒ පිළිබඳව කරන කතාවේදී ඔවුනගේ වත පුරා විහිදෙන ප‍්‍රභාව එය මනාව ඔප්පුකරයි. කොහොම හරි දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදිය යුතුයි යන තිර අධිෂ්ඨානයෙන් දිරිමත් වන ඔවුන් ඒ සඳහා තම ආදායම් මාර්ගය තමන් විසින්ම සකසාගන්නේ අනෙකාට අතපාන්න නොසිතාමය.
නිවසේ එක් කොණෙක වැජඹෙන ගිටාරය, ඩොල්කිය, බටනලා කියාපාන්නේ ඔවුනගේ දිවියට සරස්වතියගේ ආශිර්වාදය ලැබූ බවෙකි. ඒ ගැන විමසූ අවස්ථාවේ දැනගන්නට ලැබුණේ පියා පැදුරු සාජ්ජ සඳහා යන බවය. එහිදී ලබන මුදල ද තම ආර්ථිකය සවිමත් කිරීම උදෙසාය. තමන්ට ලැබෙන ආරාධනයට තම කණ්ඩායම සමඟ ඉදිරිපත් වන බවය. එවන් අවස්ථාවලදී තමන් ජේත්තුවට යවන්නේ තම බාල දියණිය දර්ශනී රුවන්තිකා බැව් ජෝතිපාල මහතා කීවේ ආඩම්බරයෙනි.
සරම කමිසය මැද දී ඒවා ඇදපු කළ ඔහුගේ ලස්සන බැලූවේ ඇයයි. තමන්ගේ ලස්සන අම්මා, තාත්තා දුටුවේ දරුවන්ගේ කතා බහෙනි. එම කතා කන වැකෙද්දී අපගේ හදවත් තුළ ද ඔවුන් කෙරේ හෘදයාංගම බවින්ම පිරුණි.
 මෙම දිරිමත් දෙමාපිය යුවල දිරිමත් තරු දෙකකි. අගය කළ යුතු පිදිය යුතු යුවලකි. දෙමාපිය අඩිපාරේ යන දරුවන් තිදෙනා අකාලයේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නා දරුවන්ට යහපත් ආදර්ශයකි. රටට හුවා දැක්විය යුතු ආදර්ශයකි. උදාසීනව අලසකමින් දවස ගෙවන මව්වරු පියවරු අවදි කෙරෙන ආදර්ශයකි. මෙය කතාබහ කළයුතුම ආදර්ශයකි.
මෙවන් දිරිය මිනිසුන් දිරිගැන්වීම ‘ජීවිතයට දහම් පාසලේ’ පරමාර්ථ අතර මුල් තැනක් ගනී. ජෝතිපාල මහතා වෙනුවෙන් සර්පිනාවක් තෑගි දෙන්නට දහම් පාසල කමිටුව තීන්දු කළේ එබැවිනි. ඒ අනුව එම සද්කාර්යය වෙනුවෙන් අත හිත දෙන්නට ඉදිරිපත් වූ අප පාඨකයන් ඇතුළු පිරිසක් එක්ව මේ සඳහා එකතු කළ මුදලින් සර්පිනාවක් මිලදී ගෙන ඔහුට පිරිනැමීමට කටයුතු කළෙමු.
දහම් පාසල සඟරාවේ සංස්කරණ උපදේශක
පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින්
ජෝතිපාල මහතාට සර්පිනාව පිරිනැමූ අවස්ථාව


ජීවියතට දහම් පාසලේ අපි 
( උපුටාගැනීම පෙබරවාරි කලාපයෙන් )


Tuesday, May 22, 2012

දිවිමග පහන් කරන සැදැහැ ගී කව


මහගමසේකර සහ මඩවල ඇස්. රත්නායක යන කලාකරුවන්ගේ අනුස්මරණයෙදී තිබුණේ දුරුතු මාසයටය. අප මීට පෙර ලිපියකින් සිහිපත්කොට ඇති පරිදි චරිතාපදාන අධ්‍යයනය අපේ ජීවිත සරු මඟ වෙත ගෙන යෑමට ඉවහල් වනු ඇත. ක‍්‍රීඩා කිරීම හොඳ දෙයකි. ක‍්‍රීඩාවෙන් ව්‍යායාම ලැබේ. සතුට ලැබේ. සිරුර සහ මනස මැනවින් පවත්වා ගැනීමට ඉන් අවකාශ සැලසේ. ධම්මපදයේ දැක්වෙන වටිනා අදහසක් නම් ආරෝග්‍යය පරමලාභය බවයි. අද අප රටේද බොහෝ දෙනා රෝගාතුරය. ප‍්‍රමාණයට ආහාර පාන නොගන්නා අධික ආහාර පාන ගන්නා මතුවු පෝෂණය ලබාගන්නා යන සියලූ දෙනාම සමබර තත්ත්වයේ පසුනොවෙති. සෞන්දර්ය ක‍්‍රියාකාරකම් ජීවිතය සතුටට පත්කරනු ලබන අංශයකි. නැටුම්, ගැයුම්, වැයුම් සාහිත්‍ය කලා සේවනය මීට අයත්ය. බුදුදහම අනුව එම සෞන්දර්්‍යය කාමය නොවේ. කාම රාගය එහි ඇලීමෙන් ගැටීමෙන් ඇතිවන අපහසුතාවකි.
නතෙ කාමායානි චිත‍්‍රානි ලොකෙ
සංකප්ප රාගො පුරිසස්ස කාමො
(මජ්ඣිම නිකාය)
කාමයන් යනු ලොවැති විසිතුරු වස්තු නොවේ. කාමය නම් පුද්ගලයා තුළ ඇති කාම සංකල්පයයි. මින් හැ‍‍ගෙන්නේ කියැවෙන්නේ යමක් කාම වස්තුවක් වන්නේ ඒ දෙස බලන ආකාරය අනුව බවයි. වස්තුවට වඩා එදෙස බලන ආකාරය වඩා වැදගත් බව ඉන් ධ්වනිත වේ. සිතෙහි පහන් බව සැදැහැ ගුණ නුවණැස දල්වන කවි/ගී ඇසුරු කිරීම නිරාමිස සුවයක් ලබාගැනීම සැනසීමට උපකාරයකි. භාරතයේ භික්ෂූන්ගේ භජන් ගීත ශෛලිය මෙන් එලෙසම නොවුවද අපට ද උරුම ගායන සම්ප‍්‍රදායක් ඇත. සිරිපා වන්දනා සමයේ සිහිවන්නේ තුන්සරණේ කවිය. ලෝකෝපකාරය, සුභාෂිතය, බුදුගුණාලංකාරය, ගුත්තිලය, වදන්කවි පොතේ වුවද මනහර උපදේශ පවතී. උපදේශ සාහිත්‍යය ඇසුරු කිරීමෙන් අපට අනවරත උපදෙස් ලැබේ. එවිට ජීවිතය පහසු කරවයි. මහගම සේකර විසින් ලියන ලද සැදැහැ පහන් රස මතුකළ ගීයක් දෙකක් අපි විමසමු.
සිරිපා පියුමේ
රොන් සුණු තැවරී
ගිමන් නිවන පවන් හමා ඒ 
නිවී පහන් වී ළය සැනැහේ 
නිවන් දොරට මඟ පානා 

සමනොළ රන් කොත මුදුනේ  
බැන්ද වියන් සේ
අරුණු වලා රන්සළු පැටලේ 
හද කිමිදේ ලොවුතුරු සුවඳේ
කෙලෙස් මලින් මිදී
සිත සුවපත් වී
පාවී යයි නිසන්සලේ 
මහ රහතන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳු වැටි අතරේ
මේ ගීතය ගායනා කළේ අමරදේවයන් විසිනි. එහි තනුව හා සංගීතයද එතුමාගේය. රන්සළු චිත‍්‍රපටයට ඇතුළත් වූ ගීතයකි. මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගැන සඳහන් කොට ඇත්තේ මෙසේය. රන්සළු චිත‍්‍රපටයේ සිරිපා පියුමේ ගීතය, සේකර රචනා කළ චිත‍්‍රපට ගීත අතරින් තේමාව හා අත්‍යන්තයෙන් බැඳුණු සාර්ථකම ගීතය වශයෙනි. මුළු චිත‍්‍රපටය පුරා විහිදී ඇති බෞද්ධ වාතාවරණයට  ලෞකික ජීවිතයෙන් පරාජිතව ලෝකෝත්තර සුවය සොයා යන ගැහැණියකගේ චිත්ත තත්ත්වයට එම වදන්වැල සමීපවෙයි. අමරදේවයන් ලියූ නාද සිත්තම් කෘතියේ මේ ගීය නිර්මාණය වූ ආකාරය මෙසේ දක්වා ඇත.
රන්සළු ආරම්භක තේමා සංගීත ආකෘතිය සාධනය කර ගැනීමෙහිලා ආභාසය ලැබුයේ පාලි ගාථා හා පිරිත් අතරින් නැගී එන ස්වර සංගීතයන් තුළිනි. අතරින් පතර ඝණ්ඨා නාදයෙන් විරාමලමින් බෞද්ධ වන්දනා පාඨයන්ගේ නාද ආකෘති රඳවමින් -
ස රි ග 
මප, මප, ම, 
ග රි

සරි සනි
සරි ගම ගම ගරිග
වැනි ස්වර රූපාවලීන් ගෙතූයෙමි. තත් හා සුසිර ගණයේ වාදන භාවිතයෙන් පමණක් මේ සඳහා යෙදවූයේ පවිත‍්‍ර භක්ති රසය ජනනය කරනු පිණිසය. තුන් සරණේ නාද මාලාවන්ගේ ආභාසය මීට ලැබී ඇත.
ඇසේ මතුවන කදුළු බිඳුගෙන
ඔබේ සිරිපා දොවන්නම් 
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්
නො අදහා බුදු කෙනෙකු දෙවියකු 
මානයෙන් වල්මත්ව සිටි මම
ගලක් යැයි ඔබ සිතා සිටියෙමි
තෙතක් හෝ කිසි දයාවක් නැති
ගලින් කළ ඔබ 
හදින් වෑහෙන
මහා කරුණා 
ගුණය නොපෙනිණි 
කෙළෙස් මළ පිරි 
නුවර අතහැර 
බවුන් වඩනට වනේ 
වැඩි ඔබ 
සොයා ආවෙමි 
පොළෝ තලයේ
අනෙක් පිහිටක් නොමැති 
වූ විට

ඉහල නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝධ වුණු බඳ 
මගේ නෙත සිත මෝහනය කර 
මගේ කුදු බව පසක් කර ඇත
ඔබේ පාමුල බැගෑපත් ලෙස
වැටී අයදිමි අහෝ සාමිනි
ජීවිතේ යම් පලක් ඇත්නම්
කිමැයි ඒ මට කියාදුන මැන
        අමරදේවයන් ගයන මේ ගීතය ද රචනා කළේ මහගම සේකරයන්ය. ඔහු ලියූ ප‍්‍රබුද්ධ කාව්‍යයේ සඳහන් ලෙස ත‍්‍රිපිඨකය මුළුමනින් හදාරන්නට හැකිවී නම් යන සෝකය ඔහුට විය. එහෙත් ඔහු සෑහෙන පමණ බුදුවදන් ඉගෙන ගත්තෙකි. ජීවිතයේ ලෝකයේ පැවැතීම අනිත්‍ය ධර්මය ඔහුට මැනවින් පසක්විය. මෙලොව ජීවත්වන කළ ඊට අවැසි සවිය බලය සැදැහැව ගුණනුවණින්් ඔහු දුටුවේය. සංසාර චක‍්‍රයේ ගමන් මාර්ගය විනිවිද යන බැල්මක් හෙලූ ඔහු අනගි සෞන්දර්ය වේදියකුවිය. ඔහු අතින් ලියැවුණු ගී අතර බුදුගුණ මිහිර අපට අමා රසයක් වෙයි.
ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර
(උපුටා ගැනීම  පෙබරවාරි කලාපයෙන්) 


Wednesday, May 16, 2012

නව අවුරුදු අධිෂ්ඨානය - 2 කොටස



නව වර්ෂය උදාවීම සමඟ ප‍්‍රකාශයට පත් වූ ‘ජීවිතයට දහම් පාසල’ සඟරාවට සිනාසෙන සුදු හාමුදුරුවෝ ලිපි පෙළ යටතේ අප සැපයූ ලිපියේ මාතෘකාව නව අවුරුදු අධිෂ්ඨානයයි. සිනාසෙන සුදු හාමුදුරුවෝ හෙවත් අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් 2009 වර්ෂය උදාවීම නිමිත්තෙන් පර්ත් නුවර බෝධියානා ධර්ම මධ්‍යස්ථානයේදී Reasonable Resolutions නැතහොත් සාධාරණ අධිෂ්ඨාන මැයෙන් පැවැත්වූ දේශනයකින් උපුටාගත් කොටස් එම ලිපියෙහි ඇතුලත් විය. පැයක පමණ කාලයක් පැවැත්වූ දීර්ඝ දේශනයකින් උපුටාගත් කොටස් පමණක් ඇතුලත් එම ලිපි පෙළේ දෙවන ලිපිය හෙවත් අවසාන ලිපිය අපි මෙවර ඉදිරිපත් කරන්නෙමු.
අධිෂ්ඨානය කියන්නේ අභිමතාර්ථවලටයි. 
අවුරුද්දක් අවසන්වී තවත් අවුරුද්දක් උදාවීම වැනි සංක‍්‍රාන්ති අවස්ථාවල ඉදිරිකාලය සඳහා අධිෂ්ඨාන ඇතිකර ගැනීම සිරිතක්ව ඇති බව පවසන උන්වහන්සේ අධිෂ්ඨාණ යන්න හැදින්වීමට goalsයන යෙදුමද භාවිතා කරයි. goals යන යෙදුම සඳහා අභිමතාර්ථ නැතිනම් අනාගත අපේක්‍ෂා නම් සිංහල යෙදුම උචිත යැයි අපි සිතන්නෙමු. අධිෂ්ඨාන නැත්නම් අනාගත අභිමතාර්ථවල පිහිටුවීම ගැන පවසන බ‍්‍රහ්මවංසෝ හාමුදුරුවෝ අනාගතයේ ඉටුකර ගැන්මට අපේක්‍ෂා කරන අධිෂ්ඨාන, සාධාරණ විය යුතුවාසේම, ඉටුකරගත හැකිවූත්, ප‍්‍රයෝජනවත් වියයුතු වූත්,අධිෂ්ඨාන විය යුතු බව අවධාරණය කරයි.
සාධාරණ නොවූ, ඉටුකර ගත නොහැකි එමෙන්ම, ප‍්‍රයෝජනවත් නැති අධිෂ්ඨාන ඇතිකර ගත්විට එවැනි අධිෂ්ඨාන ඉටු නොවූ විට සිතේ කළකිරීමක්, බලාපොරොත්තු කඩවීමක් ඇතිවන බවද උන්වහන්සේ පවසයි. ‘‘මම උදාවූ වර්ෂයේදී හොඳට භාවනා කරනවා. මම උදාවූ වර්ෂයේදී දවසට පැය ගණනක් භාවනා කරනවා.’’ දැඩි අධිෂ්ඨාන ඇතිකර ගැනීම නිසරු, අමන ක‍්‍රියාවක් බව පවසන උන්වහන්සේ, වැදගත් වන්නේ භාවනා කරන්නේ කුමක් සඳහාද යන්න බව පවසයි. භාවනා කරන්නේ සන්සුන් සිතින්, හොඳ සිහියෙන්, මෛත‍්‍රියෙන් හා කරුණාවෙන් යුත් ජීවිතයක් ලබන අවුරුද්දේ ගතකිරීමට නිසා අධිෂ්ඨාන ඇතිකර ගත යුත්තේ ඒ සඳහා බව පවසයි. එය භාවනාවෙන් අපේක්‍ෂා කරන ප‍්‍රාප්තියයි. භාවනාව යනු ඒ සඳහා ලඟාවන ක‍්‍රියාවලිය හෙවත් මාර්ගයයි. අධිෂ්ඨාන ඇතිකරගත යුත්තේ අවසානයේදී එළඹීමට අපේක්‍ෂා කරන ප‍්‍රාප්තිය ගැන මිස ඒ සඳහා ලඟාවන මාර්ගය නැත්නම් ක‍්‍රියාවලිය ගැන නොවන බවද උන්වහන්සේ පවසයි. ‘‘ලබන අවුරුද්දේ ලොතරැයියක් දිනනවාමයි. ලබන අවුරුද්දේ තව තවත් ධනවත් වෙනවාමයි ලබන අවුරුද්දේ තව තවත් කීර්තිය, ගරු නම්බු රැුස්කර ගන්නවාමයි’’ වැනි අධිෂ්ඨාන ඇතිකර ගනුයේ නිසරුකම පිළිබඳව උන්වහන්සේ පැවසූ ඔවදන් අපි පසුගිය ලිපියේදී සාකච්ඡා කළෙමු.
තව තවත් ධනය නොව උපයාගත් ධනය සතුටෙන් භුක්ති විඳින්න.
තමා දන්නා බොහෝ ධනවතුන් අසතුටෙන් සිටින බවත් උපයාගත් ධනය නැතිවීම් ගැන බයෙන් සිටින බවත් තව තවත් ධනය සෙව්වේ අතෘප්තියෙන් සිටින බවත් උන්වහන්සේ පවසයි. ‘‘ඔබට තව තවත් ධනය අවශ්‍යව තිබෙනවා නම් ඔබ දැනටමත් උපයාගෙන සිටින ධනයෙන් වින්දනයක් ලැබීම නැත්නම් සැප පහසුකම් ලැබීම නතර වේ’’ යැයි නවසීලන්තයේ කියමනක් තිබෙන බව පවසන උන්වහන්සේ දැනටමත් උපයාගෙන තිබෙන ධනය ප‍්‍රයෝජනයට ගෙන, එම ධනයෙන් වින්දනයක් ලැබීමට, තව තවත් ධනය ඉපයීම ගැන සිතීම බාධාවක් බව එම කියමනේ අර්ථය බව පවසයි. අතෘප්තියෙන් තව තවත් ධනය ඉපයීම ගැන වෙහෙසීම යනු දැනටමත් උපයාගෙන තිබෙන ධනය අපතේ යැවීමකි.
කටේ එක කටයි, අතේ තවත් කටක්
මේ කියමන සනාථ කිරීමට ඔබට කල හැකි කදිම පරීක්‍ෂණයක් උන්වහන්සේ යෝජනා කරයි. ඔබ දහවල් හෝ රාත‍්‍රී හෝ භෝජනය ගන්නා විට අතින් කෑම කන්නේ නම්, එක කෑම කටක්, අනා කටේ දමා ගන්නා අතර, ඊලඟ කෑම කට පිඟානේ සූදානම් කර ගැනීමටත් වෙහෙසෙන්නේ නම් ඔබ දැන් කටට දමාගත් කෑම කටෙහි රසය, වින්දනය, තෘප්තිය නිසියාකාරව ඔබට ලබාගත නොහැකියි. ඒ නිසා එක්වරකට කල යුත්තේ එක දෙයයි. කටට දමාගත් කෑම කටෙන් රසය විඳීම පමණයි. උපයාගත් ධනය හරියාකාරව පරිභෝජනය නොකර, පිඟානේ තවත් කෑම කටක් ලක ලැහැස්ති කරන්නා සේ, තව තවත් ධනය ඉපයීමට වෙහෙස වෙන්නාට සමාන බව උන්වහන්සේ පවසයි. ‘‘ධනය උපයාගත් විට එම ධනය පරිහරනය කරමින් සැප විඳින්න. විවේක, විනෝද වන්න. එසේ නොකොට තව තවත් ධනය ඉපයීම ගැන සිතන්නා කවදාවත් උපයා ගත් ධනයෙන් හරි හමන් සැපක් නොවිඳ අතෘප්තියෙන් හා අසතුටෙන් පසු වේ.’’
සැලකිලිමත් වීම නැත්නම් රැක බලාගැනීම නව අවුරුදු අධිෂ්ඨානයක් කරගන්න.
නව අවුරුදු අධිෂ්්ඨාන පිළිබඳ මෙම දේශනයේදී අජාන් බ‍්‍රහ්මවංසෝ හාමුදුරුවෝ වැඩි වශයෙන් අවධාරණය කළේ ඉංග‍්‍රීසියෙන් Caring යනුවෙන් හඳුන්වන සිංහලෙන් සැලකිලිමත් වීම, උවටැන් කිරීම, රැකබලා ගැනීම යන අර්ථ දෙන ක‍්‍රියාව පිළිබඳ අධිෂ්ඨානයයි.
‘‘වෛද්‍යවරු, හෙදියන්, මනෝ විද්‍යඥයන්, මනෝ චිකිත්සකයන් වැනි රෝගීන්ට ප‍්‍රතිකාර කරන අය තමන්ගෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගීන් සුවපත් කිරීමට අධිෂ්ඨාන කරගත්තොත් එයින් ඇතිවන්නේ කළකිරීමක්. බලාපොරොත්තු කඩවීමක්. බොහෝ රෝගීන් සුවපත් කරන්නට නොහැකිවීම එයට හේතුවයි. මේ නිසා සුවපත් කිරීම  (Cure) වෙනුවට රෝගීන් ගැන සැලකිලිමත් වීම, ඔවුන් රැක බලාගැනීම, ඔවුන්ට උවටැන් කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි. එවිට සිත කළකිරෙන්නේ නැහැ. සමහර විට සැලකිලිමත් වීම නිසියාකාරව රැක බලාගැනීම නිසා, අතුරු ඵලයක් වශයෙන් රෝගීන් සුවපත් වෙන්නත් ඉඩ තිබෙනවා.’’ යැයි උන්වහන්සේ පවසයි. පුද්ගලයන් ගැන සැලකිලිමත් වෙමින් ජීවත් වීමට නව අධිෂ්ඨානයක් ලබාදෙන බව පවසන උන්වහන්සේ ගිලනුන්ට පමණක් නොව වෙනත් අය කෙරෙහිද සැලකිලිමත් වීමේ වටිනාකම විස්තර කරමින් අප සැලකිලිමත් විය යුත්තේ, රැකබලා ගත යුත්තේ කවුරුන්ද යන ප‍්‍රශ්නයට පිළිතුරක් සැපයීමට මතු විස්තර වන ගල් ගුහාවේ විසූ හාමුදුරුවන් හත්දෙනාගේ කතාව ගෙනහැර පෑවේය.
ගුහාවේ වැඩ විසූ හාමුදුරු හත්දෙනාගේ කතාව
වනාන්තරයක් මැද පිහිටි ගල් ගුහාවක හාමුදුරුවරුන් හත්දෙනෙක් භාවනා කරමින් සිටියෝය. ‘‘සියලූ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා’’ යැයි මෛත‍්‍රී භාවනාවේ නියැලී සිටි මේ හාමුදුරුවරුන් හත්දෙනාගේ නායක හාමුදුරුවෝ තර්ක විතර්කයෙහි, දක්‍ෂ, නැණ නුවණින් හෙබි හාමුදුරු කෙනෙකි.
දෙවැන්නා උන්වහන්සේගේ සහෝදරයාය. තුන්වැනි හාමුදුරුවෝ නායක හාමුදුරුවන්ගේ කල්‍යාණ මිත‍්‍රයාය. සිවුවැන්නා නායක හාමුදුරුවන්ගේ සතුරෙකි. නිතරම නායක හාමුදුරුවන්ට සතුරුකම් කරන හාමුදුරු කෙනෙකි. පස්වැන්නා ඉතාම වියපත් අපවත් වෙන්න ඔන්න මෙන්න කියා සිටි වයසක හාමුදුරු කෙනෙකි. සයවැන්නා බරපතල ව්‍යාධියකින් පෙලූනු රෝගියෙක්. ඇත්තටම කිව්වොත් උන්වහන්සේද මරණාසන්නය. සත්වැන්නා කිසිම කමකට නැති කිසිම වැඩක් හරියට කරන්නේ නැති හාමුදුරු කෙනෙකි. සිවුර ඇන්දත් වැරදි විදියටය. පිරිත් කිව්වත් වරද්ද වරද්දවා උන්වහන්සේ නම් කිසිම ‘රහක්’ නැති විදියේ හාමුදුරු කෙනෙකි. මේ හත්දෙනා ගල්ගුහාවේ වැඩ වසමින් භාවනා කළෝය. මං පහරමින් සිටි පල්හොරු කණ්ඩායමක් මේ වනාන්තරයට රිංගා ඇවිදිමින් සිටි අතරවාරයේ මේ ගුහාව දුටුවෝය. ‘‘අපේ මූලස්ථානය කරගන්න කියාපු තැන. ගම්වලට ගිහින් මංකොල්ල කන හොරබඩු ගෙනල්ල හංගන්න කියාපු තැන.’’ යැයි සිතා ගුහාවට රිංගූ පල්හොරුන්ට භාවනාවේ නියැලී සිටි හාමුදුරුවරුන් හත්දෙනා දැකගත හැකිවිය. ‘‘අපි තොපි හත්දෙනාම මරනවා. මරලා මේ ගුහාව අත්පත් කරගන්නවා’’ හොර නායකයා කෑගැසුවේය. ‘‘එහෙම කරන්න එපා. අපි භාවනා කරන හාමුදුරුවරු. අපට හිරිහැර කරන්න එපා’’ නායක හාමුදුරුවන් හොරුන්ට කරුණාවෙන් කතා කළ විට දමනය වූ හොරු මෙසේ කීවෝය.
‘‘හොඳයි, ඔබ වහන්සේගේ ඉල්ලීම නිසා අපි හත්දෙනාම මරන්නේ නැහැ. ඒත් අනිත් අයට අනතුරු හඟවන්න එක හාමුදුරු කෙනෙක් විතරක් මරනවා. අනිත් අය නිදහස් කරනවා. මරන්නේ කවුද? කියලා තෝරා දෙන එක ඔබ වහන්සේට බාර දෙනවා.’’
දැන් නායක හාමුදුරුවන්ට බාරදූර වගකීමක් පැවරී ඇත. නායක හාමුදුරුවන් වූ තමා, තමාගේ එකකුස උපන් සහෝදරයා, තමාගේ කල්‍යාණ මිත‍්‍රයා, මැරෙන්න ඔන්න මෙන්න කියා සිටින වයසක හාමුදුරුවෝ, ගිලන් මරණාසන්න වී සිටින හාමුදුරුවෝ හා කිසිම කමකට නැති හාමුදුරුවන් යන හත්දෙනා අතුරින් මරණයට නියම කරන්නේ කවුරුන්ද?
මේ ලිපිය කියවන ඔබගේ උත්තරය කුමක්ද?
උත්තර ලියන්න.
තමන් මේ ප‍්‍රශ්නය ඇසූ බොහෝ දෙනාගෙන් වැඩි දෙනෙක් නායක හාමුදුරුවන් ආත්ම පරිත්‍යාගයෙන් මරණයට මුහුණ දිය යුතු බව පවසන නමුත් එය වැරදි උත්තරයක් බව බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පවසයි. ඉතිරි හය දෙනාගෙන් කවරෙකු හෝ මරණයට පත්කිරීමට භාරදීම ද වැරදි බව උන්වහන්සේ පවසයි.
නිවැරදි උත්තරය
තමා හෝ වෙනත් කිසිම හාමුදුරු කෙනෙකු මරණයට පත් කිරීමට තමන් අකමැති බව ප‍්‍රඥාවන්ත නායක හාමුදුරුවෝ පැවසූ සේක.
මක්නිසාද යත්
අප තමා කෙරෙහි මෙන්ම අනුන් කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. කරුණාවෙන්, දයාවෙන්, මෛත‍්‍රීයෙන් පැවතිය යුතුය. ඒ සැලකිල්ල, දයාව, මෛත‍්‍රීය, කරුණාව අනුන්ට මෙන්ම තමන්ටද ඒ අයුරින්ම දැක්විය යුතුයි.
නව අවුරුදු අධිෂ්ඨානය
මටත්, මගේ භාර්යාව, දරුවන්, පවුලේ ඇත්තන්, මිතුරන් හා සියලූ සතුන් කෙරෙහිත් ඉදිරි වර්ෂයේදී සැලකිලිමත් වීම, දයාවෙන්, කරුණාවෙන් හා මෛත‍්‍රියෙන් පැවතීම මගේ අවුරුදු අධිෂ්ඨානයයි.


බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.
සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම  පෙබරවාරි කලාපයෙන්)

Tuesday, May 15, 2012

කාගේ කාගෙත් බලේ

‘‘දුර්බලස්‍ය බලං රාජා
   බාලානං රෝදනං බලං 
   බලං මුර්ඛස්‍ය මෞනත්වං
   චෝරානං අනෘතං බලං’’
(දුර්වලයන්ගේ බලය පාලකයායි. ළදරුවන්ගේ බලය ඇ`ඞීමයි. මෝඩයන්ගේ බලය මුනිවතයි. හොරුන්ගේ බලය බොරුවයි.)

කාට කාටත් බලයක්  ඕන. බලයක් හරි ශක්තියක් හරි නැතිව ලෝහයකින්වත් වැඩක් ගන්න බෑ. ඒකනේ ඒකට බලශක්තිය කියන්නේ (Energy). බලයක් හරි ශක්තියක් හරි තියෙනවා නම් තමයි සරුංගලයක් වුණත් උඩ යන්නේ නැතිනම් ඉරට්ටකටයි සව්කොළේකටයි උඩ යන්න පුළුවන් යෑ නේද?
සාමාන්‍යයෙන් අනුන්ගේ බලෙන් තමන් බලවත් වෙන්න හදන අය  ඕන තරම් ඉන්නවා. හැබැයි වැඩියෙන් වටින්නේ තමන්ම බල සම්පන්න වෙන ඒකයි. ඒකට හේතුව මොකද්ද දන්නවද? අනුන්ගේ බලේ නැතිවෙන්න පුළුවන් නිසයි. තමන් සතු ආර්ථික බලයක් හෝ ගුණ බලයක් හෝ කාය බලයක් තියෙනවා නම් ඒක නැතිවෙන්නේ නෑනේ.
මෙන්න බලන්න එක එක්කෙනා බලය පාවිච්චි කරන විදිහ. පොඩි දරුවන්ට තියෙන එකම බලේ තමයි ඇඬිල්ල. අම්මා තාත්තත් බයයි ඒකට. මොනවා හරි  ඕන වෙච්ච ගමන් පොඩි එකා කරන්නේ ඇඬිල්ල පටන් ගන්න එකයි. පොඩි එකා අඬන කොට ම අම්මා තාත්තත් ඒකට බයයි. දුර්වලයෝ තමා බල සම්පන්නයෙකුගේ නම කිය කියා අනිත් අය බය කරන්නේ. මම අහවලාගේ අහවලා කියලා බලසම්පන්නයෙකුගේ නමක් පාවිච්චි කරනවා. ඒකේ තේරුම ම එයාට බලයක් නෑ කියන එකනේ. මීට පස්සේ කවුරුහරි ඔයාට කිව්වොත් මම අහවලාගේ අහවලා කියලා ඔයාව බය කරන්න ආවොත් ඔයා කියන්න ඒ එයානේ. ඔයාට මොනවද තියෙන බලය කියලා. නැතිනම් එයා ලොක්කෙක් තමයි ඔයා ගාව තියෙන ලොකුකම මොකක්ද කියලා. එක අතකට එයාලා පව් නේද? අනුන්ගේ බලය පාවිච්චි කරන දුර්වල මිනිස්සු පව්.
මෝඩයාට තියෙන බලේ තමයි මුනිවත. ඒ කියන්නේ කථාබහ නොකර විරාජමානව ඉන්න එක. හොඳ උගත්තු වගේ ලස්සනට ඇඳලා ඉන්න කොට කවුරුත් හිතන්නේ වැදගතෙක් කියලා. කට ඇරිය ගමන් තමා ගොන්කම මතු වෙන්නේ. ඒක නිසානේ කපටි මෝඩයෝ මුනිවත බලයක් සහ ආයුධයක් ලෙස පාවිච්චි කරන්නේ.
හොරුන්ගේ බලය තමයි බොරුව උන්ට බේරෙන්න වෙන ක‍්‍රමයක් ඇත්තෙම නෑ. කළ වැරැද්ද වහගන්න බොරුව නම් වූ දුර්වල අවිය පාවිච්චි කරනවා හොරා.
පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. 
සංස්කෘත අධ්‍යයන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය
(උපුටා ගැනීම පෙබරවාරි කලාපයෙන්)

Monday, May 14, 2012

සුවබර නින්දකට...


‘‘සුවබර නින්ද පෙම්වතිය සේම මිහිරිය’’
මෙය වංග මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් විසින් පවසන ලද්දකි.
එය සත්‍යයකි. නින්ද යනු ගතෙහි විඩාවන් මෙන්ම, සිතේ පීඩාවන්ද නිවා දමන මාහැඟි ඔසුවකි.
වෛරය වින්දනය කරමින් යහන් ගතවන පුද්ගලයාට නින්ද කිසිසේත් සුවදායක නොවේ. ඔහු වියරු සිහින දකියි. නින්දේදී පවා දත්මිටි කමින්, අතමිට මොළවමින් වෛරය පෝෂණය කරමින් වෙහෙසට පත්වෙයි. පසුදිනට පහන් වූ පසුවද සුභ උදෑසනක අසිරිය ඔහුට අහිමි වේ.
හෙට දින විසඳීමට ඇති ගැටළු රාශියක් හැම පුද්ගලයකු හටම තිබේ. ලොව ධනවත්ම පුද්ගලයාට මෙන්ම අන්ත දුගී යාචකයා හටද එය පොදුය. ධනවතා තම ධනය ආරක්‍ෂා කර ගැනීමට ක‍්‍රමෝපායයන් සිතමින් නිදාගැනීමට උත්සාහ කරන අතර අන්ත දුගී යාචකයා පසුදින උදයේ කුස පුරවාගන්නා අයුරු සිතමින් නින්දට යයි.
සාමකාමී සුවබර නින්දේදී උඩු සිත නිද්‍රාවට පත්වී යටි සිත අවදි වේ. ඔබේ එදිනෙදා ගැටළුවලට විසඳුම්
ලබාදීමට යටිසිත සමත් වේ. එහෙත් වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, තණ්හාවෙන් මනස පුරවාගෙන නින්දට පිවිසීමෙන් ඔබට කිසිඳු ප‍්‍රයෝජනයක් නොලැබෙනු ඇත. අවදි වූ පසුවද පෙරදින ඔබ අත්විඳි විඩාව එලෙසම පවතියි. ඔබේ ගැටළුවද විසඳුම් රහිතව එලෙසම පවතිනු ඇත.
ඔබගේ සිතෙහි පවතින බර පොදිය නින්දේදී පවා හිස මත තබාගෙන හිඳීම නිශ්ඵල දෙයකි. නින්දට පිවිසීමට පෙර එම බර පොදිය පසෙක තැබිය හැකිය. ඔබට අවශ්‍ය නම් පසුදින අවදි වූ පසුව එම බර පොදිය නැවත හිස මත තබා ගත හැකිය. බොහෝ දෙනකු තම පීඩාකාරී බර පොදිය පසෙක තබා නින්දට පිවිසීමට අකමැතිය.
එහෙත් විශ්වාසයෙන් යුතුව යමක් සඳහන් කළ යුතුය. කරුණාකර ඔබේ බර පොදිය තාවකාලිකව හෝ පසෙක තබා මිහිරි සුවබර නින්දකට පිවිසීමට උත්සාහ කර බලන්න. පසුදින නොවැරදීම ඔබේ බර පොදිය සැහැල්ලූ වී තිබෙනු දැක ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය.
නින්ද සුවදායක වීමට නම් මනස හිස්කර ගත යුතුය. සන්සුන් කර ගත යුතුය. කූඩයක පුරවා තිබෙන භාණ්ඩ එකින් එක ඉවත් කර දමන්නාක් මෙන්, සිතේ පිරී පවතින ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මෙන්ම කෙනකුගේ ප‍්‍රධාන ගැටළුව වන අගහිඟකම් ආදියද නින්දට ප‍්‍රවේශවීමට පෙර තාවකාලිකව හෝ පසෙකට දමන්න. හෙට උපදින නැවුම් දිනයේදී ඔබේ ගැටලූ සියල්ලටම විසඳුම් ලැබෙන බව විශ්වාස කරමින් නින්දට පිවිසෙන්න. ඔබේ පරම හතුරාට පවා සුවබර නින්දක් ප‍්‍රාර්ථනා කරන්න. එවිට වෛරයේ බැම්ම බිඳී යනු ඇත. ඵලදායී බීජයක් රෝපණය කිරීම පිණිස මනස නැමති භූමිය, වල් පැල උදුරා දමා සකස් කොට ඇත.
ඔබේ යහපත් සිතුවිල්ල යටිසිතේ ධාරණය වී ඔබේ හිසමත මෙතෙක් රැඳි බර පොදිය ක‍්‍රමයෙන් සැහැල්ලූ කර දෙනු ඇත. අත්විඳීමෙන්ම ප‍්‍රත්‍යක්‍ෂ කර ගන්න.
සියල්ල කර්මයට අනුව සිදුවේයයි සිතමින් නිකරුණේ සිටීම මිනිසත්කමට තරම් නොවේ. ඔබේ සිතුවිලි යහපත් අතට යොමු කිරීමෙන් කර්මයද යහපත් කළ හැකි වනු ඇත.
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම ජනවාරි කලාපයෙන්)