Showing posts with label සමරසිංහ ගුණසේකර. Show all posts
Showing posts with label සමරසිංහ ගුණසේකර. Show all posts

Saturday, June 2, 2012

පුනරුත්පත්තිය හෙවත් නැවත ඉපදීම පිළිබඳව තවදුරටත්


අපේ මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද? ‘‘මැයෙන් අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පැවැත්වූ දේශනය ඇසුරෙන් පුනරුත්පත්තිය හෙවත් නැවත ඉපදීම පිළිබඳ උන්වහන්සේ දක්වන අදහස් කිහිපයක් පසුගිය ලිපියෙන් ඉදිරිපත් කළෙමු.
භවයෙන් භවයේ යන අඛණ්ඩ ගමන
ජීවිතය අඛණ්ඩ ගමනක් බවත්, ඔබ රාත‍්‍රියේදී නින්දට ගොස් පසුදා අවදි වෙන්නාසේ මෙම ජීවිතය මරණයෙන් කෙළවර වී තවත් ජීවිතයක් ආරම්භ වන බවත් පවසන උන්වහන්සේ හදිසි මරණ නොව වියපත්වීම් නිසා සිදුවන මරණ සිදුවෙන්නේ පංච ඉන්ද්‍රීයයන් එක එක ශරීරයෙන් වෙන්වීමෙන් සිදුවන ක‍්‍රියාවලියක් ලෙස බව දක්වයි.
මරණයට පත්වීමේදී ශරීරය අප අත්හැරයාමට, අපෙන් අතුරුදහන් වෙන්නට පටන්ගත්තාම සිදුවෙන්නේත් හරිම සුන්දර විදිහේ පහසුකමක්, නිදහසක්, සැනසිල්ලක්. එහෙම වුණාම යම් යම් දේවල් දැකීමේ, ඇසීමේ, රස විඳීමේ, ගඳ සුවඳ දැනීමේ, පහස ලැබීමේ රාජකාරිවලින් ඔබට නිදහස් වෙන්න ලැබෙනවා, අත්විඳින්න හැකිවෙනවා යැයිද උන්වහන්සේ පවසයි.
ශරීරයෙන් අවසාන වශයෙන් තුරන් වෙන්නෙ ඇසීමයි.
ඔබ භාවනා කිරීමේදී එක්කෝ ගැඹුරට, ඒත් නැත්නම් ඒ තරම් ගැඹුරු නොවෙන විදිහට භාවනා කිරීමේදී ඔබට කරදරයක් වෙන අවහිරයක් වෙන එක් දෙයක් නම් ශබ්දය විත්තිය ඔබ වැඩි දෙනෙක් දන්නා කාරණයක්. කාමරයෙන් පිටත බබෙක් හඬන සද්දෙට කෙනෙක් කහින විට ඒ හින්දා නැගෙන කැස්සේ සද්දය ඔබට හිරිහැරයක්, අවහිරයක් වෙනවා. මෙහෙම වෙන්නේ මක්නිසාද කියන්න ඔබ දන්නවා. ඔබ උදේම අවදි කරන්න එලාම් ඔරලෝසුවක් පාවිච්චි කරන්නේ මේ නිසයි. බුදුරජාණන් වහන්සේ පවා, උන්වහන්සේගේ ඉගැන්වීම්වලදී දක්වා ඇත්තේ පස් ඉඳුරන්ගෙන් අවසාන වශයෙන් අතුරුදහන් වෙන්නේ, නිමක් දකින්නේ, ශබ්දය කියන කාරණාවයි. ඒ නිසා ඔබ මරණයට පත්වෙමින් සිටින විට ඔබෙන් අවසාන වශයෙන් අතුරුදහන් වෙන්නේ ශබ්දයයි. භාවනාවේ නියැලී සිටින තැනැත්තකු භාවනාවෙන් අවදි කරන්නේත්, මේ ඉන්ද්‍රිය අවදිකිරීමේදී ඔබේ ඇසීම අවදි කිරීමෙනුයි. ටික දවසකට පෙර, උතුරු පර්ත්වලදී පැවැත්වූ භාවනා වැඩ සටහනකට සහභාගිවූ කෙනෙක් භාවනා වැඩ සටහන නිමකළ පසුත් ගැඹුරු භාවනාවේම නියැලී සිටියා. සමහරවිට ඔහු එතන සිටිද්දී අප එතනින් යන්න ඉඩ තිබුණා. ඒත් එතැන පිරිසිදු කරන්න ගිය මා ඔහු දැක, දැන් ඉතින් යන්න වේලාව හරි බව පෙනුණත්, ඔහු තවමත් භාවනාවේම නියැලී බිම වාඩිවී සිටියා. ඔහු ගැඹුරු භාවනාවෙන් ඉවතට ගැනීම මගේ වගකීමක් වුණා. ඔහුගේ සිරුරෙන් අල්වා හොල්ලනවා වෙනුවට කනට කිට්ටු කර කතාකර, මම ඔහු අවදි කළා. පස් ඉඳුරන්ගෙන් අන්තිමට අතුරුදහන් වෙන්නේ ශබ්දයයි.
මරණාසන්නවූවකු සමග සිටින විට
මෙය තේරුම් ගත්තාම මරණයට පත්වීමේ ක‍්‍රියාවලියේදී කෙනකු මරණාසන්න මූර්ජාවට වැටී සිටින බවත් ඔහුගේ අවසානය ලංවී ඇති බවත් දැනගත්විට, මියයමින් සිටින තැනැත්තාට ඔබ කතා කරන දේවල් බොහෝ විට ඇසෙන්න ඉඩ තිබෙනවා. සෙලවීම ස්පර්ශ කිරීමට වඩා අවසාන වශයෙන් ශරීරයේ අතුරුදහන් වෙන්නේ ඇසීමයි. භාවනාවේ ගැඹුරට යනවිට ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, රස විඳීම, පහස විඳීම ආදි පස් ඉඳුරන් කෙමෙන් කෙමෙන් ඔබෙන් අතුරුදහන් වෙන බවත්, ඒ සමග ඔබට පුදුමාකාර පහසුවක්, නිදහසක් සිතේ සැනසීමක් දැනෙන බවත් භාවනාවේ නිරතවන ඔබ බොහෝ දෙනා දන්නා කාරණාවක්. පස් ඉඳුරන් අතුරුදහන් වෙත්ම ශරීරයේ වේදනා, රුදාවල්, අපහසුකම්වලින් අත්මිදෙන්න පුළුවන්කම ඔබට අත්විඳින්න ලැබෙනවා. අසනීප වී මරණයට පත්වීමේදී සිදුවෙන්නේ මෙයයි. වාසනාවකට වගේ දැන් නව වෛද්‍ය ක‍්‍රම අනුව මේ සඳහා මොෆීන් වැනි සිහි නැතිකරන බෙහෙත් සොයාගෙන තිබෙනවා. සමහර බෞද්ධයන් මරණාසන්න මොහොතට එළඹුනාම ඇතිවෙන දුක් වේදනාවන්ගෙන් මිදෙන්න කළ යුත්තේ කුමක්ද කියා මගෙන් අසනවා. මරණය පිළිබඳ ක‍්‍රියාවලිය පිළිබඳව සිත් කරදරකර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෝෆීන් වැනි සිහිනැතිකරන වේදනා සමනයක් භාවිතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.
මගේ මව පිළිබඳ අත්දැකීමක්
ඒ මක්නිසාද කිව්වොත්, මරණය පිළිබඳ ක‍්‍රියාවලියේදී, ඔබේ මනස, හයවන ඉන්ද්‍රිය, ක‍්‍රියාකාරී වෙන්නේ මොළයේ ක‍්‍රියාකාරිත්වය නතර වුණාම, තවත් විදියකින් කිව්වොත් ඔබ මොළයෙන් නිදහස් වුණාම, ඇත්තටම සිදුවෙන්නේ අන්තිම මිනිත්තුවේදී සමහර විට වැඩිපුර, නැත්නම් සමහරවිට අඩුවෙන් ඔබට පැහැදිලිකමක් නැත්නම් නිර්මලබවක් අත්විඳින්න ලැබෙනවා. මගේ අම්මාගේ අවසාන කාලයේ මා මෙය අත්දුටුවා. ඇය බොහෝ වියපත්වී සිටියදී මා ඇය බලන්නට ගිය අවස්ථාවේදී ඇයට කොහොමටවත් මා හඳුනාගන්න බැරිවුණා. මා කවුරුන්දැයි ඇය හඳුනාගත්තේ නැහැ. මා ඇය සමග කතාබහ කරමින් සිටියා. ඒත් ඇය මා කවුරුන්දැයි දැනගෙන සිටියේ නැහැ. පුදුමාකාර දෙයක් නම්, ඇය සමඟ ගතකළ පැය දෙකක් පමණ කාලයේදී ඇය Monastry (වන අරම, ආරන්නිය) නම් වචනය පමණක් භාවිතා කළා.
මේ කියන්නේ මොනවාදැයි මගේ සහෝදරයාට තේරුම් ගන්න පුළුවන් වුණා. මගේ මව එවේලේ කතාබහ කළ දේවල්වලට මේ පන්සල නැත්නම් ආරාන්නිය කිව් වචනය කොහොමටවත් ගැලපුණේ නැහැ. නමුත් මේ පැමිණි සිටින තැනැත්තා සහ ‘පන්සල’ අතර සම්බන්ධයක් තිබුණු බව ඇයට අවසාන අවස්ථාවේ පැහැදිලි වුණා. මේ වගේ අසනීපවලට ගොදුරු වී, මරණයට ආසන්නවූවන්ට ඔවුන්ගේ අවසාන අවස්්ථාවේදී යටපත්වූ මතකයන් අවදි වූ අවස්ථා බොහෝමයි. ඔවුන්ගේ මතකයන් අවදිවෙනවා. ඔවුන්ට මෙතෙක් අමතකව තිබූ දේවල් පැහැදිලි වෙනවා. නිරවුල් වෙනවා. හේතුව තමයි මනස. බොහෝ කාලයක් මනස පාවිච්චි කිරීමට මොළය උදව් වුවත්, මොළය පාවිච්චි නොකර මනස පාවිච්චි කිරීමට හැකිවෙනවා. ජීවිතයේ අවසාන අවස්ථාවේදී මේ විදිහට මොළය මැරුණත් මනස සිරුරෙන් වෙන් වී ක‍්‍රියාකාරී වෙනවා.
අවසාන හුස්ම අදින මොහොතේ අවදිවී අවට බැලීම
දැන් මම මේ පන්සලට එන කෙනකු, සිය පියාගේ අවසාන මොහොත ගැන මට පැවසූ අත්දැකීමකික් ඔබට කියන්නම්. මේ කතාව කියූ තැනැත්තී සමහරවිට අදත් මෙතෙන ඉන්න ඉඩ තිබෙනවා. ඇය පර්ත්වල වාසය කරන කෙනෙක්. ඇගේ පියාගේ මරණාසන්න මොහොතේදී ඇයත්, ඇයගේ සහෝදරියක් ඇඳ දෙපසට වී සිටියා. මරණාසන්නව සිටි පියා සිහිසන් නැතිව සිටි අතර, ඔවුන් ඔහුගේ මරණය සිදුවෙනතුරු දෙපසට වී බලා සිටියා. අන්තිම හුස්ම හෙලමින් සිටි මොහොතේ එක් සහෝදරියක් ඇගේ පියාගේ අත අල්ලාගෙන සිටියා. මරණය කොයි මොහොතේදී සිදුවෙනවාදැයි ඔවුන් දැන සිටියේ නැහැ. මම ද මේ විදිහට මරණාසන්න සිටින ඇත්තන්ගේ අවසාන හුස්ම අදිනවා බලාගෙන සිටි අවස්ථා එමටයි. අවසාන මොහොතේ මේ කියන තැනැත්තා පිළිබඳ අමුතු යමක් සිදුවුණා. ඔහු අන්තිම හුස්ම හෙලීම නවතා, ඇස් දෙක හැර බැලුවා. ඉන්පසුව ඇඳ දෙපස සිටි සිය දූවරුන් දිහා  ඕනෑකමින් බැලූවා. මේ මොහොතේ කල්තියා කිසිම සූදානමක් නැතුව, එවේලේ ඇතිවූ සිතේ හැඟීම් නිසා මේ දූවරුන් දෙදෙනා ‘‘තාත්තේ, අපි ඔයාට ආදරෙයි’’ කියා කිව්වා. ඉන්පසු ඔහු ඇස්දෙක පියාගත්තා. ඔහු මියගියා. මේ සිදුවූ දේ ගැන පුදුම හිතෙන්න පුළුවන්. මිය ගිය තැනැත්තා හුඟාක් වෙලාවක් මරණාසන්නව සිහිසන්ව නැතිව සිටියා. අවසාන මොහොතේ ඔහු ඇස් හැර බැලුවා. දූවරුන් දෙදෙනාට අවසාන වචනය කියන්න ඉඩ ලැබුණා.
ශරීරයෙන් වෙන්වී සිටිමින් මනසට සිතීම හා වෙනත් ක‍්‍රියාකාරකම් ඉටුකිරීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම මනසට මොළයෙන් බැහැර වී ස්වාභාවිකව ක‍්‍රියාකාරි වෙන්නට පුළුවන් හැකියාවක් තිබෙනවා. ඔබේ මරණාසන්න මොහොතේ සිදුවෙන්නේ මෙන්න මේකයි. ඔබේ මනස නැත්නම් ඔබේ සිත, මොළයෙන් නිදහස් වී ක‍්‍රියාකාරී වීමයි. එවිට අවසාන මොහොතේ සියල්ල නිරවුල් වෙනවා.
මේ පිළිබඳ නොයෙකුත් සාක්ෂි පදනම් කරගත් සිද්ධි වාර්තා වී ඇති අතර, එවැනි වාර්තාවලින් ඔබේ ජීවිතයේ අවසාන මොහොතේ මනස ක‍්‍රියාකාරී වෙන්නේ කෙසේද යන්න අපට පැහැදිලි වෙනවා. මගේ මවගේ අවසාන මොහොත, මා අත්දුටු නිසා, මරණාසන්න වූ තැනැත්තකු සිය අවසාන මොහොතේ කිසියම් නිරවුල්තාවයකට තවත් විදියකට කිව්වොත් නිර්මලතාවයකට පත්වෙන හැටි මා දැක්කා.
මරණාසන්නවූවන්ගේ අත්දැකීම් (Nearly Death Experience)
හදිසි අනතුරුවලින් ක්‍ෂණිකව මියගිය තැනැත්තන් මරණයට පත්වීමෙන් පසු මනස ශරීරයෙන් වෙන්වී ගොස් සිදුවෙන දේවල් නිරීක්ෂණය කරමින් සිටීම පිළිබඳව අප‍්‍රමාණ සාක්ෂි තිබෙනවා. සිය මරණාසන්න අත්දැකීම් ඉංග‍්‍රීසියෙන් සඳහන් කරන විදිහට භැ්රකහ ෘැ්එය ෑංචැරසැබජැ  ගැන සඳහන් කරන බොහෝ දෙනෙක් මේ සමාන අත්දැකීම් අනාවරණය කර තිබෙනවා. මරණයට පත්වීමෙන් පසුව ශරීරයෙන් වෙන්වී ගොස්, ශරීරයක් නැතුව ඇසීම හා මනස හා දැකීම අත්විඳින්නට පුළුවන් වූ තැනැත්තන් විසින් සිය මරණාසන්න අත්දැකීම් සම්බන්ධව පසුව කළ ප‍්‍රකාශවලින් මේ බව සනාථ වෙනවා. තමන්ට ශරීරයක් නැතත්, තමන්ගේ මළ සිරුර මේසයක් මත නැත්නම් මොටර් රථයක බාවා තිබියදී සිදුවෙන දේවල් දැකගන්නට, අසන්නට පුළුවන් ව වූ බව මේ අය පවසනවා. මේ අය තාවකාලික මරණයට පත්වී, පසුව ප‍්‍රාණය ලැබ, ජීවත්වීමේ වාසනාව ලැබුවාට පසු, තාවකාලික මරණය සිදුවූ කාලපරිච්ඡේදය පිළිබඳ තමන් අත්දුටු දේවල් විස්තර කර තිබෙනවා. මේ ඇත්තෝ බෞද්ධයන්ම නොවෙයි. ලෝකයේ නන්දෙස ජීවත් වන විවිධ සංස්කෘතිවලට අයත් ඇත්තන්වීම විශේෂ කාරණයක්.
මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බලන්නට කැමැති කෙනෙක් ඇත්නම් මහාචාර්ය පිම් වැන් ලෝමල්ගේ (Pim Van Lommel)  වෙබ් අඩවියට පිවිසෙන්න. මේ මහාචාර්යවරයා ඕලන්දයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු විසින් මරණාසන්න වූවන්ගේ අත්දැකීම් අලලා කළ පර්යේෂණවලින් අනාවරණය වූ සිද්ධි රාශියක් තිබෙනවා. කිසියම් හේතුවක් නිසා මරණයට පත් වී සිරුර මේසයක් මත හෝ වෙනයම් දෙයක් මත බාවා තිබියදී මනස සිරුරෙන් වෙන්ව ඉහළට පාවී ගොස් තමන්ගේ අත්හැර දමා ආ සිරුර දකිමින්, සිදුවෙන දේවල්වලට ඇහුන්කන්දෙමින් සිටි තැනැත්තන්ගේ අත්දැකීම් මේ කතාවලින් අනාවරණය වෙනවා.

බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.

සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

Friday, June 1, 2012

මරණයෙන් පසු අපට සිදුවෙන්නේ කුමක්ද?


ඉංග‍්‍රීසියෙන් Reincarnation නැත්නම් Rebirth එය නමින්ද සිංහලෙන් පුනරුත්පත්තිය නැත්නම් නැවත ඉපඳීම නමින්ද හඳුන්වන සංසිද්ධිය මුල්කොට ලියැවී ඇති පත පොත රාශියකි. ඉදිරිපත්වී ඇති මතවාද හා මතිමතාන්තරද අප‍්‍රමාණය. සිදුකර ඇති පර්යේෂණ හා විමර්ශන ද එමටය. එම නිසා, මෙම ලිපිය කියවන ඔබ දැනුවත් මෙම විෂය පිළිබඳ කිසියම් මතයක එල්බ සිටින්නට ඉඩ කියයි. නොඑසේ නම් මේ පිළිබඳව තවදුරටත් කරුණු සෙවීමේ කුතුහලයෙන් පසුවෙන්නට ඉඩ තිබේ.
ඒ කෙසේ වුවත් කේම්බි‍්‍රජ් වැනි ලෝපතල විශ්වවිද්‍යාලයකින් ‍සෛද්ධාන්තික භෞතික විද්‍යාව හැදෑරූ, ඉනික්බිති අවුරුද්දක කාලයක් විද්‍යා ගුරුවරයකු ලෙස ගුරු වෘත්තියේ යෙදී සිටි, ඉන් අනතුරුව තායිලන්තයට ගොස් අවුරුදු නවයක කාලයක් වනගත සම්ප‍්‍රදායට අනුව මහණදම් පිරූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, එමෙන්ම අප‍්‍රමාණ අත්දැකීම් ඇති අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පුනරුත්පත්තිය නැත්නම් නැවත ඉපදීම පිළිබඳව පළකරන අදහස් නිසැක වශයෙන් මෙම විෂය පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරනු ඇත. නැවත ඉපදීම පිළිබඳ ඔබේ සිතේ යම් සැකයක් ඇත්නම් එය දුරලීමටද උන්වහන්සේ ඔබට උදව් වෙනවා ඇත. එමෙන්ම නැවත ඉපදීම ගැන දැනගත යුතු දේවල් දැන වර්තමාන ජීවිතය සාර්ථක කරගැනීමටත්, මරණයට නොබියව මුහුණ පෑමටත් ඔබට, මහත් ආලෝකයක් හා ශක්තියක් ලබා දෙනු ඇත.
ඒ අනුව ජීවිතයට දහම් පාසල සඟරාවට සිනාසෙන සුදු හාමුදුරුවෝ නමින් අප සපයන ලිපි මාලාවේ ඉදිරි ලිපි කිහිපය අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ අපේ මරණයෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද? මැයෙන් ඉදිරිපත් කළ දේශන ඇසුරෙන් සකස් වේ.
අපේ මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද?
ඉහත මාතෘකාව යටතේ උන්වහන්සේ පැවැත්වූ දේශනයේදී දැක්වූ අදහස් කිහිපයකින් මෙම ලිපි මාලාව ආරම්භ කරන්නෙමු.
‘‘ඔබට ඔබේ මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව ගැඹූරු භාවනාවන්හි නිරතවී සිටින විට මනා වැටහීමක් ලබාගත හැකිවෙනවා. මේ හැර මරණයෙන් පසුව ඔබට සිදුවෙන්නේ කුමක්ද පිළිබඳව සාක්ෂි පාදක කරගත් යම් යම් අනාවරණ තිබෙනවා. තාවකාලිකව මරණයට පත්වී, මනස සිරුරෙන් වෙන්වී, ආපසු මනස සිරුරට එක්වූ තැනැත්තන්, එම විරාමය නැත්නම් තාවකාලික මරණය හා නැවත ප‍්‍රාණය ලැබීම අතර කාලය තුල ලත් අත්දැකීම් පිළිබඳ අනාවරණවලින් මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්ද පිළිබඳව අවබෝධ කරගැනීමට අප‍්‍රමාණ සාක්ෂි තිබෙනවා. ඒ හැර ස්වල්ප දෙනකුට ඔවුන්ගේ පෙර ජන්මය පිළිබඳ මතකයක් තිබෙනවා. මෙය සමහරවිට සමහරුන්ට නිරායාසයෙන්ම ලැබෙන්නක්. තවත් සමහරුන්ව පුහුණු කිරීමෙන් ලඟාවිය හැකි තත්ත්වයක්.’’
මරණයට පත්වීමට ආසන්න වූ විට ඔබට සිදුවන්නේ කුමක්ද?ජීවිතය කියන්නේ අඛණ්ඩ ගමනක්. ඔබ රාත‍්‍රියේදී නින්දට ගොස් පසුදා උදේ අවදි වනවිට උදේ අවදි වුණේ රාත‍්‍රියේ නින්දට ගිය පුද්ගලයාමයි. සමහරවිට නින්දට යන්නට පෙර සිටියාට වඩා තරමක් වයස්ගතවී තිබුණත් උදේ අවදිවන්නේ රාත‍්‍රී නින්දට ගිය තැනැත්තාමයි. ඔබ මරණයට පත්වූවාට පසුවත් සිදුවෙන්නේ මෙයම තමයි.’’
‘‘අප මරණයට පත්වීමට ආසන්නව සිදුවෙන්නේ කුමක්ද කියා විමසීමේදී මා අවධානය යොමු කරන්නේ අනතුරකින් නැත්නම් ශල්‍යකර්මයක් මැද්දෑවේ සිදුවූ හදිසි මරණයක් ගැන නොව අසනීපයකින්, වියපත්වීමකින් නැත්නම් රෝගාතුර වීමකින් වැනි දෙයකින් සිදුවෙන සෙමින් මරණයට පත්වීමක් ගැනයි. එය සිදුවෙන්නේ අපේ පංචේන්ද්‍රිය, ඒ කියන්්නේ ඇසින් දැකීම, කණෙන් ඇසීම, නාසයෙන් සුවඳ දැනීම, දිවට රසය දැනීම, කයෙන් පහස ලැබීම ආදිය එකිනෙක අකර්මන්‍ය වීමෙන් නැත්නම් එම ඉඳුරන්ගේ ක‍්‍රියාකාරීත්වය ශරීරයෙන් වෙන්වීමෙන්. බෞද්ධ භික්‍ෂුවක් විදියට බොහෝ දෙනකු මරණාසන්නව සිටි අවස්ථාවලදී මරණය සිදුවෙන්නේ කෙසේදැයි දැක බලා ගැනීමට මා භාග්‍යවන්ත වී තිබෙනවා.
මරණය පසිඳුරන් අතුරුදහන් වීමෙන් සිදුවෙන ක‍්‍රියාවලියක්
මරණය සිදුවෙන්නේ, විශේෂයෙන්ම වියපත් වූවකුගේ, රෝගාතුරවූවකුගේ, එහෙම නැත්නම් කිසියම් ලෙඩක් නිසා මරණාසන්න වූවන්ගේ මරණය සිදුවෙන්නේ සෙමින්. මම මුලින්ම මේ විදිහට සිදුවෙන මරණ දැක්කාම මරණය සිදුවෙන්නේ මෙන්න මේ වේලාවටයි. අටටයි නැත්නම් නමයටයි කියා කියන්න බැරි මිනිත්තු ගණනක් තිස්සේ සිදුවෙන ක‍්‍රියාවලියක් පටන් අරගෙන සෙමින් සෙමින් අවසානයට පත්වෙන ක‍්‍රියාවලීන්  හිටිහැටියේ සිදුවන දෙයක් නොව ක‍්‍රියාවලියක් යැයි මා කියන්නේ මේ නිසයි. මෙය මුළු ජීවිතයම තේරුම් ගැනීමට බොහෝම ප‍්‍රයෝජනවත් වෙනවා. තව විදියකින් කිව්වොත් තවත් ඉතින් ඇසීමක්, දැකීමත්, ගඳ සුවඳ දැනීමත්, රස විඳීමත්, ස්පර්ශයත් සිරුරට දැනෙන්නේ නැහැ. කෙනකු මරණයට පත්වූ බව අප දැනගන්නේ මෙන්න මෙහෙමයි.
ඒත් අපි කෙනෙක් මැරුණය සිතමින් හඬා දොඩා වැළපෙද්දිත් ඔහු හෝ ඇය තවමත් ජීවත්වෙමින් සිටින්න පුළුවන්. අපි ඒ තැනැත්තා මරණයට පත්වූවායැයි තීරණය කළත්, හෙදියන් නැත්නම් වෛද්‍යවරුන්ට මරණය කරා ආසන්න වෙමින් සිටින තැනැත්තාගේ ඇස්වල ජීවයක් දකින්න පුළුවන් වෙන්න ඉඩ තිබෙනවා.
භාවනාවේදී සිදුවෙන්නේ මේකම තමයි
භාවනාව තුළින් මා වටහාගත් එක් දෙයක් තමයි, භාවනාවේදී සිදුවෙන්නේ මෙන්න මේ ක‍්‍රියාවලියමයි කියන එක. භාවනාවේ ගැඹුරට යනවිට ඔබේ සිරුරෙහි ම පස් ඉඳුරන්ම සිරුරෙන් අතුරුදහන් වෙනවා. ඔබ භාවනාව සඳහා හිඳගත්විට ඔබට මේ වගේ  අත්දැකීමකට, ආසන්න අත්දැකීම් අත්විඳින්න පුළුවන් වෙනවා. ටිකෙන් ටික ඔබට ඔබේ අත්, පය, සිරුර එහා මෙහා කරන්නට බැරිව සිරුර ඔබෙන් අතුරුදහන් වෙනවා. සෙමින් සෙමින් මරණයට පත්වීමේදී සිදුවෙන්නෙ මේකම තමයි. හැබැයි ඔබ භාවනා කිරීමේදී මිය යන්නේ නැහැ. ඔබට භාවනාව නිමකොට සිහි එලවා ගන්න පුළුවන්  වෙනවා. නමුත් මරණයේදී එය නිමක් දකිනවා. පස් ඉඳුරන්ව සිරුරෙන් අතුරුදහන්වී අවසානයට පත්වෙනවා. සිරුර පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගත් වින්දනයන් සහමුලින්ම නැත්තටම නැතිවී යනවා. මේ විදියට භාවනාව නිසා පසිඳුරන් ඔබේ ශරීරයෙන් අතුරුදන්වීමෙන් ඔබට විශාල සැහැල්ලූවක්, සතුටක්, සැනසීමක් අත්විඳින්න ලැබෙනවා.   
ගැඹුරු භාවනාවේදී සිදුවූ සැබෑ සිද්ධියක්.
ගැඹුරු භාවනාවේදීත් සිදුවෙන්නේ මෙයම තමයි. මා මේ සම්බන්ධ සිද්ධියක් දැන් ඔබට කියන්නම්. මා මේ කියන්න යන්නේ මෙහි අපේ දායකයකු සම්බන්ධ සිද්ධියක්. අද සැඳෑවේ නම් ඔහු මෙහි ඇවිත් නැහැ. ඔහුගේ අවසර ඇතිව මම මේ කතාව මගේ පොතකද පළකළා.
ඔහු ඉතා ගැඹුරු භාවනාවන්හි නියැලෙන කෙනෙක්. දවසක් ගෙදර, කාමරයේදී ගැඹුරු භාවනාවකට සමවැදී සිටි ඔහු ගැන විපරම් කළ ඔහුගේ භාර්යාව තම සැමියා කිසිම සද්දයක් නොකර නිසොල්මන්වී සිටින හැටි දැක්කා. ඇඟපත අල්ලා සෙලවූවත් ඔහු අවදි වුණේ නැහැ. තම සැමියා මරණයට පත්වෙන්නට ඇතැයි සිතූ ඇය, ගිලන් රථයක් කැඳවා ඔහු චාල්ස් ගාර්ඩන් රෝහලට රැගෙන ගියා. රෝහලේදී ECG හා EEG  පර්යේෂණවලින් ඔහුගේ හෘද වස්තුවත්, මොළයත් සක‍්‍රීයව තිබෙනවාදැයි පිරික්සුවත් ඒවා අකර්මන්‍ය වී තිබුණා. පරීක්‍ෂණයේදී ELG හෘදවස්තුව දිගු වේලාවක් තිස්සේ ස්පන්දනය නොවන බවත්, EEG පරීක්‍ෂණයේදී මොළය අක‍්‍රියව ඇති බවත් අනාවරණය වුණා. ඉන්පසු විදුලිසැර වැද්දීම්, පපුව තෙරපීම වැනි නොයෙකුත් හදිසි ප‍්‍රතිකාර කළත් ඔහු ජීවත්වෙන ලකුණක් දැක ගන්නට ලැබුණේ නැහැ. මේ අතරවාරේ ඔහු, ඔහුගේ භාවනාව නිමකොට, පියවි සිහියට එළඹුණා. ඔහු භාවනාව නිමකළ සැනෙන් ECG යන්ත‍්‍රයත්, ක‍්‍රියාකාරී වෙන්නට පටන් ගත්තා. ඔහු වටපිට බලනවිට තමා රෝහලක සිටින්නේ මක්නිසාදයැයි විශ්මයට පත්වුණා. වෛද්‍යවරු බොහෝම කඩිනම් පරීක්‍ෂණයක් කළත් ඔහු ගැන කියන්නට කිසිම වරදක් නැති බව හෙළිවුණා. ඉන්පසු ඔහු ආපසු ගෙදර ගියා. ඇත්තටම ඔහු රෝහලේ සිට ආපසු පයින්ම ගෙදර ගියා. පයින් ආ හැකි තරමට ඔහු නිරෝගීව සිටියා.
විශ්මයජනක කාරණය නම් මේ කියන මුළු කාලය තුළ ඔහු හොඳ සිහියෙන්, සෝදිසි ඥාණයෙන් යුක්තව සිටීමයි. මා මේ කතාව කිව්වේ මේ කතාවට සම්බන්ධ තැනැත්තා මෙහි එන යන අයකු කියාත්, ගැඹුරු භාවනාව තුළින් සිදුවෙන්නේ කුමක්දැයි හඳුනාගැනීමට මේ කතාව ප‍්‍රයෝජනවත් වන නිසාත්ය. මේ විදිහට මොළයේ ක‍්‍රියාකාරීත්වය නතර වූ විට සිදුවෙන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙවැනි සාක්ෂි අප‍්‍රමාණව තිබෙනවා. මෙවැනි අවස්ථාවල තාවකාලිකව මරණයට පත්වීමක් සිදුවෙන නිසා අපි මෙවැනි අවස්ථා මරණාසන්න අත්දැකීම් ලබාදෙන (Near Death Experience) අවස්ථාව ලෙස හඳුන්වනවා. දීර්ඝ කාලීන ලෙස, සහමුලින්ම මරණයට පත්වීම, අපි මරණය නමින් හඳුන්වනවා. මොළයේ කි‍්‍රයාකාරීත්වය නතර වුණාම සිදුවෙන්නේ කුමක්ද යන්න ඒත්තු ගැනීමට මේ මඟින් යම් යම් සාක්ෂි අපට ලබාදෙනවා. මොළයේ ක‍්‍රියාකාරීත්වය නතරවීමෙන් සිදුවෙන තාවකාලික මරණය පිළිබඳ වැදගත්ම කාරණය නම් එය ඉතා ආනන්දජනක අත්දැකීමක් වීමයි. ප‍්‍රමෝදජනක අත්දැකීමක් වීමයි. මේ අත්දැකීම අත්විඳි සියල්ලන්ටම එය එසේමයි.

බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.
සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

Wednesday, May 16, 2012

නව අවුරුදු අධිෂ්ඨානය - 2 කොටස



නව වර්ෂය උදාවීම සමඟ ප‍්‍රකාශයට පත් වූ ‘ජීවිතයට දහම් පාසල’ සඟරාවට සිනාසෙන සුදු හාමුදුරුවෝ ලිපි පෙළ යටතේ අප සැපයූ ලිපියේ මාතෘකාව නව අවුරුදු අධිෂ්ඨානයයි. සිනාසෙන සුදු හාමුදුරුවෝ හෙවත් අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් 2009 වර්ෂය උදාවීම නිමිත්තෙන් පර්ත් නුවර බෝධියානා ධර්ම මධ්‍යස්ථානයේදී Reasonable Resolutions නැතහොත් සාධාරණ අධිෂ්ඨාන මැයෙන් පැවැත්වූ දේශනයකින් උපුටාගත් කොටස් එම ලිපියෙහි ඇතුලත් විය. පැයක පමණ කාලයක් පැවැත්වූ දීර්ඝ දේශනයකින් උපුටාගත් කොටස් පමණක් ඇතුලත් එම ලිපි පෙළේ දෙවන ලිපිය හෙවත් අවසාන ලිපිය අපි මෙවර ඉදිරිපත් කරන්නෙමු.
අධිෂ්ඨානය කියන්නේ අභිමතාර්ථවලටයි. 
අවුරුද්දක් අවසන්වී තවත් අවුරුද්දක් උදාවීම වැනි සංක‍්‍රාන්ති අවස්ථාවල ඉදිරිකාලය සඳහා අධිෂ්ඨාන ඇතිකර ගැනීම සිරිතක්ව ඇති බව පවසන උන්වහන්සේ අධිෂ්ඨාණ යන්න හැදින්වීමට goalsයන යෙදුමද භාවිතා කරයි. goals යන යෙදුම සඳහා අභිමතාර්ථ නැතිනම් අනාගත අපේක්‍ෂා නම් සිංහල යෙදුම උචිත යැයි අපි සිතන්නෙමු. අධිෂ්ඨාන නැත්නම් අනාගත අභිමතාර්ථවල පිහිටුවීම ගැන පවසන බ‍්‍රහ්මවංසෝ හාමුදුරුවෝ අනාගතයේ ඉටුකර ගැන්මට අපේක්‍ෂා කරන අධිෂ්ඨාන, සාධාරණ විය යුතුවාසේම, ඉටුකරගත හැකිවූත්, ප‍්‍රයෝජනවත් වියයුතු වූත්,අධිෂ්ඨාන විය යුතු බව අවධාරණය කරයි.
සාධාරණ නොවූ, ඉටුකර ගත නොහැකි එමෙන්ම, ප‍්‍රයෝජනවත් නැති අධිෂ්ඨාන ඇතිකර ගත්විට එවැනි අධිෂ්ඨාන ඉටු නොවූ විට සිතේ කළකිරීමක්, බලාපොරොත්තු කඩවීමක් ඇතිවන බවද උන්වහන්සේ පවසයි. ‘‘මම උදාවූ වර්ෂයේදී හොඳට භාවනා කරනවා. මම උදාවූ වර්ෂයේදී දවසට පැය ගණනක් භාවනා කරනවා.’’ දැඩි අධිෂ්ඨාන ඇතිකර ගැනීම නිසරු, අමන ක‍්‍රියාවක් බව පවසන උන්වහන්සේ, වැදගත් වන්නේ භාවනා කරන්නේ කුමක් සඳහාද යන්න බව පවසයි. භාවනා කරන්නේ සන්සුන් සිතින්, හොඳ සිහියෙන්, මෛත‍්‍රියෙන් හා කරුණාවෙන් යුත් ජීවිතයක් ලබන අවුරුද්දේ ගතකිරීමට නිසා අධිෂ්ඨාන ඇතිකර ගත යුත්තේ ඒ සඳහා බව පවසයි. එය භාවනාවෙන් අපේක්‍ෂා කරන ප‍්‍රාප්තියයි. භාවනාව යනු ඒ සඳහා ලඟාවන ක‍්‍රියාවලිය හෙවත් මාර්ගයයි. අධිෂ්ඨාන ඇතිකරගත යුත්තේ අවසානයේදී එළඹීමට අපේක්‍ෂා කරන ප‍්‍රාප්තිය ගැන මිස ඒ සඳහා ලඟාවන මාර්ගය නැත්නම් ක‍්‍රියාවලිය ගැන නොවන බවද උන්වහන්සේ පවසයි. ‘‘ලබන අවුරුද්දේ ලොතරැයියක් දිනනවාමයි. ලබන අවුරුද්දේ තව තවත් ධනවත් වෙනවාමයි ලබන අවුරුද්දේ තව තවත් කීර්තිය, ගරු නම්බු රැුස්කර ගන්නවාමයි’’ වැනි අධිෂ්ඨාන ඇතිකර ගනුයේ නිසරුකම පිළිබඳව උන්වහන්සේ පැවසූ ඔවදන් අපි පසුගිය ලිපියේදී සාකච්ඡා කළෙමු.
තව තවත් ධනය නොව උපයාගත් ධනය සතුටෙන් භුක්ති විඳින්න.
තමා දන්නා බොහෝ ධනවතුන් අසතුටෙන් සිටින බවත් උපයාගත් ධනය නැතිවීම් ගැන බයෙන් සිටින බවත් තව තවත් ධනය සෙව්වේ අතෘප්තියෙන් සිටින බවත් උන්වහන්සේ පවසයි. ‘‘ඔබට තව තවත් ධනය අවශ්‍යව තිබෙනවා නම් ඔබ දැනටමත් උපයාගෙන සිටින ධනයෙන් වින්දනයක් ලැබීම නැත්නම් සැප පහසුකම් ලැබීම නතර වේ’’ යැයි නවසීලන්තයේ කියමනක් තිබෙන බව පවසන උන්වහන්සේ දැනටමත් උපයාගෙන තිබෙන ධනය ප‍්‍රයෝජනයට ගෙන, එම ධනයෙන් වින්දනයක් ලැබීමට, තව තවත් ධනය ඉපයීම ගැන සිතීම බාධාවක් බව එම කියමනේ අර්ථය බව පවසයි. අතෘප්තියෙන් තව තවත් ධනය ඉපයීම ගැන වෙහෙසීම යනු දැනටමත් උපයාගෙන තිබෙන ධනය අපතේ යැවීමකි.
කටේ එක කටයි, අතේ තවත් කටක්
මේ කියමන සනාථ කිරීමට ඔබට කල හැකි කදිම පරීක්‍ෂණයක් උන්වහන්සේ යෝජනා කරයි. ඔබ දහවල් හෝ රාත‍්‍රී හෝ භෝජනය ගන්නා විට අතින් කෑම කන්නේ නම්, එක කෑම කටක්, අනා කටේ දමා ගන්නා අතර, ඊලඟ කෑම කට පිඟානේ සූදානම් කර ගැනීමටත් වෙහෙසෙන්නේ නම් ඔබ දැන් කටට දමාගත් කෑම කටෙහි රසය, වින්දනය, තෘප්තිය නිසියාකාරව ඔබට ලබාගත නොහැකියි. ඒ නිසා එක්වරකට කල යුත්තේ එක දෙයයි. කටට දමාගත් කෑම කටෙන් රසය විඳීම පමණයි. උපයාගත් ධනය හරියාකාරව පරිභෝජනය නොකර, පිඟානේ තවත් කෑම කටක් ලක ලැහැස්ති කරන්නා සේ, තව තවත් ධනය ඉපයීමට වෙහෙස වෙන්නාට සමාන බව උන්වහන්සේ පවසයි. ‘‘ධනය උපයාගත් විට එම ධනය පරිහරනය කරමින් සැප විඳින්න. විවේක, විනෝද වන්න. එසේ නොකොට තව තවත් ධනය ඉපයීම ගැන සිතන්නා කවදාවත් උපයා ගත් ධනයෙන් හරි හමන් සැපක් නොවිඳ අතෘප්තියෙන් හා අසතුටෙන් පසු වේ.’’
සැලකිලිමත් වීම නැත්නම් රැක බලාගැනීම නව අවුරුදු අධිෂ්ඨානයක් කරගන්න.
නව අවුරුදු අධිෂ්්ඨාන පිළිබඳ මෙම දේශනයේදී අජාන් බ‍්‍රහ්මවංසෝ හාමුදුරුවෝ වැඩි වශයෙන් අවධාරණය කළේ ඉංග‍්‍රීසියෙන් Caring යනුවෙන් හඳුන්වන සිංහලෙන් සැලකිලිමත් වීම, උවටැන් කිරීම, රැකබලා ගැනීම යන අර්ථ දෙන ක‍්‍රියාව පිළිබඳ අධිෂ්ඨානයයි.
‘‘වෛද්‍යවරු, හෙදියන්, මනෝ විද්‍යඥයන්, මනෝ චිකිත්සකයන් වැනි රෝගීන්ට ප‍්‍රතිකාර කරන අය තමන්ගෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගීන් සුවපත් කිරීමට අධිෂ්ඨාන කරගත්තොත් එයින් ඇතිවන්නේ කළකිරීමක්. බලාපොරොත්තු කඩවීමක්. බොහෝ රෝගීන් සුවපත් කරන්නට නොහැකිවීම එයට හේතුවයි. මේ නිසා සුවපත් කිරීම  (Cure) වෙනුවට රෝගීන් ගැන සැලකිලිමත් වීම, ඔවුන් රැක බලාගැනීම, ඔවුන්ට උවටැන් කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි. එවිට සිත කළකිරෙන්නේ නැහැ. සමහර විට සැලකිලිමත් වීම නිසියාකාරව රැක බලාගැනීම නිසා, අතුරු ඵලයක් වශයෙන් රෝගීන් සුවපත් වෙන්නත් ඉඩ තිබෙනවා.’’ යැයි උන්වහන්සේ පවසයි. පුද්ගලයන් ගැන සැලකිලිමත් වෙමින් ජීවත් වීමට නව අධිෂ්ඨානයක් ලබාදෙන බව පවසන උන්වහන්සේ ගිලනුන්ට පමණක් නොව වෙනත් අය කෙරෙහිද සැලකිලිමත් වීමේ වටිනාකම විස්තර කරමින් අප සැලකිලිමත් විය යුත්තේ, රැකබලා ගත යුත්තේ කවුරුන්ද යන ප‍්‍රශ්නයට පිළිතුරක් සැපයීමට මතු විස්තර වන ගල් ගුහාවේ විසූ හාමුදුරුවන් හත්දෙනාගේ කතාව ගෙනහැර පෑවේය.
ගුහාවේ වැඩ විසූ හාමුදුරු හත්දෙනාගේ කතාව
වනාන්තරයක් මැද පිහිටි ගල් ගුහාවක හාමුදුරුවරුන් හත්දෙනෙක් භාවනා කරමින් සිටියෝය. ‘‘සියලූ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා’’ යැයි මෛත‍්‍රී භාවනාවේ නියැලී සිටි මේ හාමුදුරුවරුන් හත්දෙනාගේ නායක හාමුදුරුවෝ තර්ක විතර්කයෙහි, දක්‍ෂ, නැණ නුවණින් හෙබි හාමුදුරු කෙනෙකි.
දෙවැන්නා උන්වහන්සේගේ සහෝදරයාය. තුන්වැනි හාමුදුරුවෝ නායක හාමුදුරුවන්ගේ කල්‍යාණ මිත‍්‍රයාය. සිවුවැන්නා නායක හාමුදුරුවන්ගේ සතුරෙකි. නිතරම නායක හාමුදුරුවන්ට සතුරුකම් කරන හාමුදුරු කෙනෙකි. පස්වැන්නා ඉතාම වියපත් අපවත් වෙන්න ඔන්න මෙන්න කියා සිටි වයසක හාමුදුරු කෙනෙකි. සයවැන්නා බරපතල ව්‍යාධියකින් පෙලූනු රෝගියෙක්. ඇත්තටම කිව්වොත් උන්වහන්සේද මරණාසන්නය. සත්වැන්නා කිසිම කමකට නැති කිසිම වැඩක් හරියට කරන්නේ නැති හාමුදුරු කෙනෙකි. සිවුර ඇන්දත් වැරදි විදියටය. පිරිත් කිව්වත් වරද්ද වරද්දවා උන්වහන්සේ නම් කිසිම ‘රහක්’ නැති විදියේ හාමුදුරු කෙනෙකි. මේ හත්දෙනා ගල්ගුහාවේ වැඩ වසමින් භාවනා කළෝය. මං පහරමින් සිටි පල්හොරු කණ්ඩායමක් මේ වනාන්තරයට රිංගා ඇවිදිමින් සිටි අතරවාරයේ මේ ගුහාව දුටුවෝය. ‘‘අපේ මූලස්ථානය කරගන්න කියාපු තැන. ගම්වලට ගිහින් මංකොල්ල කන හොරබඩු ගෙනල්ල හංගන්න කියාපු තැන.’’ යැයි සිතා ගුහාවට රිංගූ පල්හොරුන්ට භාවනාවේ නියැලී සිටි හාමුදුරුවරුන් හත්දෙනා දැකගත හැකිවිය. ‘‘අපි තොපි හත්දෙනාම මරනවා. මරලා මේ ගුහාව අත්පත් කරගන්නවා’’ හොර නායකයා කෑගැසුවේය. ‘‘එහෙම කරන්න එපා. අපි භාවනා කරන හාමුදුරුවරු. අපට හිරිහැර කරන්න එපා’’ නායක හාමුදුරුවන් හොරුන්ට කරුණාවෙන් කතා කළ විට දමනය වූ හොරු මෙසේ කීවෝය.
‘‘හොඳයි, ඔබ වහන්සේගේ ඉල්ලීම නිසා අපි හත්දෙනාම මරන්නේ නැහැ. ඒත් අනිත් අයට අනතුරු හඟවන්න එක හාමුදුරු කෙනෙක් විතරක් මරනවා. අනිත් අය නිදහස් කරනවා. මරන්නේ කවුද? කියලා තෝරා දෙන එක ඔබ වහන්සේට බාර දෙනවා.’’
දැන් නායක හාමුදුරුවන්ට බාරදූර වගකීමක් පැවරී ඇත. නායක හාමුදුරුවන් වූ තමා, තමාගේ එකකුස උපන් සහෝදරයා, තමාගේ කල්‍යාණ මිත‍්‍රයා, මැරෙන්න ඔන්න මෙන්න කියා සිටින වයසක හාමුදුරුවෝ, ගිලන් මරණාසන්න වී සිටින හාමුදුරුවෝ හා කිසිම කමකට නැති හාමුදුරුවන් යන හත්දෙනා අතුරින් මරණයට නියම කරන්නේ කවුරුන්ද?
මේ ලිපිය කියවන ඔබගේ උත්තරය කුමක්ද?
උත්තර ලියන්න.
තමන් මේ ප‍්‍රශ්නය ඇසූ බොහෝ දෙනාගෙන් වැඩි දෙනෙක් නායක හාමුදුරුවන් ආත්ම පරිත්‍යාගයෙන් මරණයට මුහුණ දිය යුතු බව පවසන නමුත් එය වැරදි උත්තරයක් බව බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පවසයි. ඉතිරි හය දෙනාගෙන් කවරෙකු හෝ මරණයට පත්කිරීමට භාරදීම ද වැරදි බව උන්වහන්සේ පවසයි.
නිවැරදි උත්තරය
තමා හෝ වෙනත් කිසිම හාමුදුරු කෙනෙකු මරණයට පත් කිරීමට තමන් අකමැති බව ප‍්‍රඥාවන්ත නායක හාමුදුරුවෝ පැවසූ සේක.
මක්නිසාද යත්
අප තමා කෙරෙහි මෙන්ම අනුන් කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. කරුණාවෙන්, දයාවෙන්, මෛත‍්‍රීයෙන් පැවතිය යුතුය. ඒ සැලකිල්ල, දයාව, මෛත‍්‍රීය, කරුණාව අනුන්ට මෙන්ම තමන්ටද ඒ අයුරින්ම දැක්විය යුතුයි.
නව අවුරුදු අධිෂ්ඨානය
මටත්, මගේ භාර්යාව, දරුවන්, පවුලේ ඇත්තන්, මිතුරන් හා සියලූ සතුන් කෙරෙහිත් ඉදිරි වර්ෂයේදී සැලකිලිමත් වීම, දයාවෙන්, කරුණාවෙන් හා මෛත‍්‍රියෙන් පැවතීම මගේ අවුරුදු අධිෂ්ඨානයයි.


බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.
සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම  පෙබරවාරි කලාපයෙන්)

Friday, May 11, 2012

නව අවුරුදු අධිෂ්ඨානය - 1 කොටස



අජාන් බ‍්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේගේ දේශන ඇසුරෙන් අප ජීවිතයට දහම් පාසල සඟරාවට සපයන ලිපි මාලාවේ මෙවර ලිපියට මාතෘකාව වන්නේ ‘නව අවුරුදු අධිෂ්ඨානය’ යන්නයි. 2009 ජනවාරි 2 වැනිදා නම් අවුරුද්ද උදාවීම නිමිති කොට උන්වහන්සේ ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර බෝධියාන ධර්ම මධ්‍යස්ථානයේදී  Resonable Resolution හෙවත් සාධාරණ අධිෂ්ඨාන නම් මාතෘකාවෙන් පැවැත්වූ දේශනයෙන් උකහාගත් වැදගත් කරුණු මෙම ලිපියෙහි ඇතුළත් වේ.
උන්වහන්සේ සිය දේශනය ඇරඹුවේ මෙසේය.
‘‘නව අවුරුද්දක් උදාවුණා. අපි හැදී වැඩුණු බටහිර රටවල සංස්කෘතිය අනුව නව වර්ෂයක් උදාවීම වැනි අවස්ථාවල ඊලඟ අවුරුදු සඳහා අධිෂ්ඨානය ඇතිකර ගන්නවා. මේ විදිහට යම් යම් සංක‍්‍රාන්ති අවස්ථාවල, එනම් අවුරුද්දකින් තවත් අලූත් අවුරුද්දකට මාරුවීම වැනි අවස්ථාවල මේ විදිහට අධිෂ්ඨාන ඇතිකර ගැනීම චාරිත‍්‍රයක්, නැත්නම් පුරුද්දක් වී තිබෙනවා. අපි මොනවද කරන්න  ඕන, අප ළඟාකර ගන්න යන්නේ කුමක්ද? ඒ සඳහා අපි මොනවද කරන්න යන්නේ කියා කල්තියා තීරණය කිරීම මඟින් මෙසේ අධිෂ්ඨාන ඇතිකර ගැනීම අනාගත අභිමාර්ථ පිහිටුවා ගැනීමක් නැතිනම් අනාගත අපේක්‍ෂා කල්තියා තීරණය කිරීමක් කියා හඳුන්වන්න පුළුවන්.
බුද්ධාගමට අනුව අභිමතාර්ථ පිහිටුවාගැනීම නැත්නම් අනාගත අධිෂ්ඨාන තීරණය කිරීම ගැනයි මම කතා කරන්න යන්නේ. සමහරු බුද්ධාගමට අනුව බෞද්ධයන් සැමවිටම වර්තමාන මොහොතෙහි පසුවන නිසා ඔවුන්ට අනාගත අධිෂ්ඨාන නැතැයි සමහරු සිතනවා. මම නිරතුරුවම වර්තමාන මොහොතේ පසුවන තැනැත්තෙක්. එසේ වුවත් මම ද යම් යම් අධිෂ්ඨාන ඇතිකර ගන්නා අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදිහට අද උදේ සර්පන්ටයින් අපේ, වන අරණේ භාවනා වැඩ සටහනක් මෙහෙය වූ මා, අද සවස මේ දේශනයට ආ යුතුයැයි අධිෂ්ඨාන කරගත්තා. මේ විදිහට සමහර වේලාවට අධිෂ්ඨාන ඇතිකර ගන්නා අතර අනාගත අධිෂ්ඨාන නැති වෙලාවල් ද තිබෙනවා.
අධිෂ්ඨාන සාධාරණ හා ඉටුකරගත හැකි අධිෂ්ඨාන විය යුතුයි. 
මේ නිසා අභිමතාර්ථ හෙවත් අධිෂ්ඨාන ඇතිකර ගන්නේ කවර නම් වේලාවල්වල ද අධිෂ්ඨානවලින් තොරව සිටින්නේ කවර නම් වේලාවලද යන්න වැදගත් කරුණක්. කෙසේ වුවත් අධිෂ්ඨාන ඇතිකර ගන්නවා නම් ඒවා සාධාරණ අධිෂ්ඨාන විය යුතුයි. ඒ වගේම එසේ ඇතිකර ගැනීමට වටිනා අධිෂ්ඨාන විය යුතුයි. බොහෝම ඉහළ, ඒ කියන්නේ ඉෂ්ට කරගන්නට අමාරු විදියේ අධිෂ්ඨාන ඇති නොකර ගත යුතුයි. එසේ ඉහළ අධිෂ්ඨාන ඇතිකර ගත්තාම ඒවා ඉෂ්ට කරගන්න බැරිවුණාම බලාපොරොත්තු කඩවීම්, සිත් තැවුල් ඇතිවෙනවා. එතකොට හිත සවුත්තු වී, ඉච්ඡා භංගයක් ඇතිවෙනවා. හිතේ සතුට නැතිවී යනවා. කවුරුත් සතුටෙන් සිටිනවා දකින්න අපි කැමැතියි.
මේ නිසා ඉටුකරගත හැකි සාධාරණ අධිෂ්ඨාන ඇතිකරගත යුතුවා මෙන්ම එම අධිෂ්ඨාන ප‍්‍රයෝජනවත් අධිෂ්ඨාන විය යුතුයි. මා තරුණ කාලයේ කියවූ ප්ලේටෝ නම් දාර්ශනිකයාගේ සමූහාණ්ඩුව නම් පොතෙහි සඳහන් ඔහුගේ ගුරුවරයා වූ සොක‍්‍රටීස් ඔහුට දුන් අවවාදයක් මට මෙහිදී මතක් වෙනවා. මෙන්න මේකයි එම අවවාදය.
‘‘මෝඩ මිනිසුන්ට සැමවිටම ධනවත් ඒවගේම කීර්තිමත් පුද්ගලයන් වෙන්න  ඕන වෙනවා.’’
ධනවත් වීම ඒවගේම කීර්තිමත් වීමට අධිෂ්ඨාන ඇතිකර ගැනීම නොකළම යුතු දෙයක් යැයි මා ද සිතනවා. ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයන්, නැත්නම් කීර්තිමත්ම පුද්ගලයන් අතරට එක්වෙන්න ඔබට ද  ඕනෑවී තිබෙනවාද? ඒ වගේ අය අතරට ගොස් ඔවුන්ගේ සැබෑ තත්ත්වය සෝදිසි කර බලන්න. ඔවුන් ඔබ හිතන විදිහේ සතුටක්, තෘප්තියක් භුක්ති විඳින්නේ නැහැ. සොක‍්‍රටීස්ද මෙය තේරුම් ගත්තා. ඉතාම ඉහළ මට්ටමේ ධනවතෙක්, ඉතා ඉහළ මට්ටමේ කීර්තියක් ඇති කෙනෙක් වෙන්න  ඕනෑ නැහැ. ඒ වගේම ඉතාම දිළින්ඳෙක්, ඒ වගේම කිසිම කෙනෙක් නන්නාඳුනන කෙනෙක් වෙන්නත් අවශ්‍යත් නැහැ. මේ අන්ත දෙක මැද්දෙන් මධ්‍යම මට්ටමෙන් සිටියාම ඇති. ඔබේ මිත‍්‍රයන් ඔබට කැමැති නම් ඒ කීර්තිය හොඳටම ඇති. වැඩි දෙනෙක් දන්නා කීර්තිමත් චරිතයක්ම වෙන්න අවශ්‍ය නැහැ.
සමහරුන්ට චිත‍්‍රපටි නළුවන්, නිරූපිකාවන් වගේ බොහෝම ප‍්‍රසිද්ධ චරිත වෙන්න අවශ්‍ය වෙන්නේ ඇයිද; කියා මට නම් හිතන්න බැහැ. වෙන එකක් තියා කෙනකුට බොහෝම ප‍්‍රසිද්ධ, කීර්තිමත් හාමුදුරු කෙනෙක් වෙන්න අවශ්‍ය වෙන්නේ ඇයිද, කියා මට නම් හිතාගන්න බැහැ. මම නම් කිසියම් ප‍්‍රමාණයක් ප‍්‍රසිද්ධ ඒ වගේම කීර්තියක් ඇති හාමුදුරු කෙනෙක්. මා ගැන Facebook එකේ සඳහන්ව ඇති බවත්, 15000 ක් විතර මා ගැන විමසා ඇති බවත් එක් කෙනෙක් මට කිව්වා. ඒත් මම නම් ඒක කවදාවත් දැක්කේ නැහැ. ඔවුන් මා ගැන මොනවා කියනවාදැයි මා දන්නේ නැහැ. නමුත් මේ ප‍්‍රසිද්ධිය, කීර්තිය සමහර වෙලාවට මට කරදරයක් වෙලා තිබෙනවා.
මට මගේ පාඩුවේ කොහේවත් යන්න බැහැ. ඔබ බොහෝ දෙනෙක් දැන සිටින විට ඔබ දකින අය ඔබ හමුවන්නට ඇවිත් නොයෙක් ප‍්‍රශ්න අසනවා. මේ පිළිබඳ මා බොහෝම අසීරුවට පත්වූ අවස්ථාවක් ගැන මම දැන් ඔබට කියන්නම්.
වැසිකිලියට ගියත් කීර්තියෙන් බේරිල්ලක් නැහැ. 
එක්සත් ජනපදයේ හා කැනඩාවේ ධර්මදූත මෙහෙවරක නියැලී ලොස් ඇන්ජලිස්වල සිට දින ගණනාවක් වෙහෙස මහන්සි වී මා බොහෝ තෙහෙට්ටුවට පත්වී ආපසු සිංගප්පූරුවට ආවා. ආපසු ඔස්ටේ‍්‍රලියාවට එන්න සිංගප්පූරුව ගුවන් තොටුපලේ බැස, පැය දෙකක් එහි ගත කරන වෙලාවේ, නැවතත් බොහෝ දෙනෙක් මා බැහැදැක භාවනාව ගැන, ඔවුන්ගේ දරුවන් ගැන, පවුලේ ප‍්‍රශ්න ගැන මා සමඟ කතාකර මා වෙහෙස කිරීම මඟ හරින්නට සිතාගත් මම සිංගප්පූරුවේ ගුවන් තොටුපලේ වැසිකිලියට වී සිටියා. මා හඳුනාගෙන එක දිගට ප‍්‍රශ්න කිරීමෙන් හෙම්බත් වී සිටි මා අස්වැසිල්ලක් ලබාගත හැකි එනම් ස්ථානය වැසිකිලිය යැයි සිතාගෙන වැසිකිලිය ඇතුළට වී සිටියා. සිංගප්පූරු ගුවන් තොටුපලේ වැසිකිලි ගැන දන්නවා නම් හැම වැසිකිලියකම සුද්ධ පවිත‍්‍ර කරන්න, භාරකරුවකු සිටින බව ඔබ දන්නවා. මා වැසිකිලියේ සිටින පිරිමින් විසින් යන වැසිකිලියේ භාරකාරයා මා හඳුනාගෙන, ‘‘ආ...... අජාන් බ‍්‍රහ්මවංසෝ’’ කියමින් කෑ ගැසුවා. ඊට පස්සෙ ඔහු භාවනාව ගැනත් වෙනත් නොයෙකුත් දේවල් ගැනත් මගෙන් නොකඩවා ප‍්‍රශ්න අසන්න පටන් ගත්තා. ඔබ ගැන කීර්තියක්, ප‍්‍රසිද්ධියක් තිබුණොත් වැසිකිලියට රිංගලාවත් ඔබට අස්වැසිල්ලක් ලබාගන්න බැරිවෙන විත්තිය මේ කතාවෙන් පේනවා. ඔබ කිසිවකු දන්නේ නැතිනම් ඔබට නිදහසේ නිවිහැනහිල්ලේ ඉන්න පුළුවන්.
මේ නිසා ජීවිතය පිළිබඳ අධිෂ්ඨාන ඇතිකර ගැනීමේදී කීර්තිමත් වෙන්න, ප‍්‍රසිද්ධිය ලබාගන්න අධිෂ්ඨාන කරගන්න එපා.
ධනවත් වීම ගැන ද සිහින මවන්න එපා.
ඒ වගේම ධනවත් වීම, ලොතරැයි ටිකට් එකක් දිනා කෝටිපතියෙක් වීම ගැන අධිෂ්ඨාන ඇතිකර ගන්න එපා. මම ධනවත් අය බොහෝ දෙනෙක් ගැන දන්නවා. ඔවුන් වැඩි දෙනෙක් අසාර්ථක පුද්ගලයන්. ඔවුන් හිතේ බයෙන් පසුවෙනවා. ඔවුන්ගේ ධනය නැතිවේවි යැයි හැම තිස්සේම බියෙන් පසුවෙනවා.
මේ වගේ අන්තයටම ගිය කෙනෙක් ගැන මගේ අත්දැකීමක් මම දැන් ඔබට කියන්නම්. පර්ත් නුවර පදිංචිව සිටි, ගඟ අයිනේ විශාල මන්දිරයක පදිංචිව සිටි කාන්තාවක් ඇගේ ගෙට ආශිර්වාද කරන්න, පිරිත් කියන්න කියා මට ආරාධනා කලා. ඇය විසූ මන්දිරය කාමර ගණනාවකින් යුක්ත විශාල මන්දිරයක්. මේ මන්දිරය කොයිතරම් විශාලද කිව්වොත් ‘වැසිකිලිය කොහේද?’ කියා මා ඇසුවාම ඇය වැසිකිලිය තිබෙන තැන සිතියමකින් ඇඳ පෙන්වූවා. ඈ විසූ මන්දිරය ඒ තරම් විශාලයි. ‘‘ඔබ  මේ විශාල මන්දිරයේ කා සමඟද සිටින්නේ?’’ කියා මා ඇසුවාම ‘‘මම තට්ට තනියම ඉන්නවා’’ ඇය උත්තර දුන්නා. ‘‘මට මගේ නෑදෑ මිත‍්‍රයන් කවුරුවත් කිට්ටු කර ගත්තේ නැහැ. ඒ අය සල්ලි ඉල්ලනවා. මට මගේ නෑදෑයන්, මිත‍්‍රයන් ගැන බයයි.’’
ඇය බයෙන් වෙවුලමින් සිටියා, සල්ලි තිබුණත් ඒ තරම් හුදකලාවේ සිටි කෙනෙක් මට මගේ ජීවිත කාලයේදීම හමුවී නැහැ.
බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.
සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම ජනවාරි කලාපයෙන්)