Showing posts with label රංජිත් වික‍්‍රමසිංහ. Show all posts
Showing posts with label රංජිත් වික‍්‍රමසිංහ. Show all posts

Saturday, June 2, 2012

වෙස්වලාගත් ආශිර්වාද


සෑම කළු වලාවකම රිදී රේඛාවක්ද, ඉඩෝරයට පසුව වැස්සද, කන්ද නැඟි පසුව පල්ලමක්ද ඇත. මේවා හුදෙක් නිකම්ම කියමන් පමණක් නොවේ.
කෙනකුගේ ජීවිත කාලය සමාන්තර රේඛාවක් සේ කිසිදින ගෙවෙන්නට නැත. එහි නැඟීම් මෙන්ම බැසීම්ද පවතී. යම් යම් දුර්භාග්‍ය සහිත කාලපරිච්ඡේදයන් පසු කරන පුද්ගලයෝ උදාවෙන අනාගතය සාර්ථකව ගත කරති.
අවාසනාව පසුපස හඹා ආ වාසනාව පිළිබඳ එක් සත්‍ය කතාවක් මෙහි සඳහන් කළ යුතුය. අවුරුදු විසිපහකට පමණ පෙර සෙල්ලකතරගමදී පස් වියැති කුඩා දැරියක් පාරේ ගිය වාහනයක ගැටිණි. මීටර් විස්සක පමණ දුර දැරිය විසි වී ගියාය.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් කලබලයට පත් දැරියගේ පියා වාහනය පදවාගෙන ආ පුද්ගලයාට තර්ජනය කරමින් පහරදීමට සැරසිණි.
‘‘කලබල වෙලා වැඩක් නැහැ. අපි දරුවා ගැන බලල ඉඳිමු. වාහනය පදවාගෙන ආ තැනැත්තාගේ ඉල්ලීම විය. වාසනාවකට මෙන් දැරියට සුළු සීරුමක් හැරුණු විට බරපතල හානියක් සිදුවී නොතිබිණි. දැරියගේ පියා වන්දියක් ලෙස යම් මුදල් ප‍්‍රමාණයක් ඉල්ලා සිටියද
‘‘නැහැ අපි දරුවා රොහලට රැගෙන යමු.’’
පසුව රෝහලේදී සිදුකළ පරීක්ෂණයෙන් දැරියට කිසිදු අවදානම් තත්වයක් නොමැති බැව් සහතික කෙරිණි. එම අවාසනාවන්ත සිදුවීම පසුපස කුඩා දැරියගේ වාසනාව රැඳී තිබූ සේය. එදා අනතුරට මුහුණ දුන් කුඩා දැරිය අද තරුණියකි. ඇයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එදා සිට අද දක්වා සියළු බරපැන දරනු ලබන්නේ වාහනය පදවාගෙන ආ මහතා විසිනි.
දැරියගේ පියා ඉල්ලා සිටි මුදල ලබා දී ඇඟ බේරාගෙන යාමට ඔහුට අවස්ථාව තිබිණි. එහෙත් මොළයෙන් දෙන පණිවුඩයට වඩා හදවතේ පණිවුඩය බලවත් විය.
මේ ලෝකය කාරුණික පුද්ගලයින්ගෙන් පිරී ඇති බැව් මම සිතමි. මෙවන් ත්‍යාගශීලින් ස්වල්ප දෙනකු පිළිබඳව මම පෞද්ගලිකව හඳුනමි. මා ඉහත සඳහන් කළ මහතා යම් දරුවකු වෙනුවෙන් උපකාරයක් කළ විට මෙසේ පවසනු ඇසීමි.
‘‘මා මේ උදව්ව ඔබ වෙනුවෙන් කරනුයේ ඔබෙන් ප‍්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන් නොවේ. නමුත් ඔබ යම් දවසක මා ඔබට උපකාරී වූවා සේ තවත් දුප්පත් ළමයකුට උපකාර කළ යුතුයි.’’
මෙවන් අයුරින් ධන පරිත්‍යාග කිරීම පිණිස ඔබ සතු වත්කම ප‍්‍රමාණවත් නොවිය හැක. එහෙත් ඉතා සුළු වශයෙන් හෝ තවත් කෙනකුට හට උපකාරී වීම ඔබට කළ හැකිවනු ඇත. ඔබේ සිනහමුසු මුවඟින් පිරිනැමෙන සුභ පැතුම තවකකු දිරි ගන්වයි. ඔබ විසින් පිරිනමනු ලබන දෙයම පෙරළා ඔබ වෙත පිරිනැමෙනු ඇත.
 
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

Friday, June 1, 2012

හොඳම දවස අදයි


වින්සන්ට් පීල් මහතා හමුවීමට උදෑසනම එක්තරා පුද්ගලයකු පැමිණ සිටියේය.
‘‘මට හරියට ප‍්‍රශ්න තියෙනවා. මේ දවස්වල කරන කිසිම වැඩක සාර්ථකත්වයක් දකින්න නැහැ. හැමදාම උදේ අවදිවෙන්නේ හිසේ ලොකු බරක් තියාගෙනයි.’’
ඔහුගේ මැසිවිලි හා දුක්ගැනවිලි සියල්ල සන්සුන්ව අසා සිටි වින්සන්ට් පීල් මෙසේ පැවසීය.
‘‘අද ඉතා සුබ දවසක් බව සමහර විට ඔබ දැනගෙන හිටින්න නැතුව ඇති.’’
‘‘ඇත්තටම අද සුබ දවසක්ද? මම ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ.’’
‘‘දැන් මම සූදානම්ව හිටියේ හිත ගත දෙකම සන්සුන් කරවන අන්දමේ අභ්‍යාසයක් ප‍්‍රගුණ කරන්නයි. මෙය ඉතාම පැරණි අභ්‍යාසයක්. නවීන අය බොහෝ දෙනකු මේ ගැන දන්නෙ නැහැ. ඔබත් ඇයි මේ ක‍්‍රමය අත්හදා නොබලන්නේ?’’
තියෙන කරදර මදිවාට තව මොන අභ්‍යාසද යනුවෙන් අමුත්තාට සිතිණි. උදෑසන ලාහිරු රැස් සහිත ගෙමිදුලේ හාන්සි පුටු දෙකක් විය. වින්සන්ට් මහතා එක් පුටුවක සුවපහසු ලෙස හාන්සි වී අමුත්තාටද ඇරැුයුම් කළේය.
‘‘දැන් ඊළඟට මොනවද කරන්න ඕනෑ?’’
අමුත්තා විමසීය.
‘‘කිසිම දෙයක් අමුතුවෙන් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. හොඳ සැප පහසුවට ඔය පුටුවේ දිගා වෙලා අර ලස්සන අහස දිහා බලන්න. මේ පිරිසිදු නැවුම් වාතය පෙනහළු පුරා හුස්ම ගන්න. දැනට එපමණයි.’’
‘‘මේක අභ්‍යාසයක් නොවෙයිනේ? සාමාන්‍යයෙන්  ඕනෑම කෙනකු කරන දෙයක්නේ?’’
‘‘මෙහිදී ඔබ නොදන්න විශේෂත්වයක් තිබෙනවා. ඔබ සාමාන්‍යයෙන් නිවසේදී කරන්නේ පුටුවේ හිඳගෙන ප‍්‍රශ්නවලින් ඔලූව පුරවාගන්න එකයි. එහෙත් දැන් අපි කරන්න හදන්නේ අපේ ප‍්‍රශ්න එකින් එක ඉහළ හිස් අහසේ අනන්තයටම මුදාහරින එකයි. ඔබේ ගැටළුව හිස මතින් ගුවනට මනසින් විද දමන්න. එය කුඩා තිතක් බවට පත්වී නොපෙනී යන තුරුම.’’
අමුත්තා නිහඬවම හිස් අනන්තයට සිය දෙනෙත් යොමන්නට විය. අඩහෝරාවක් පමණ එසේ ගතවන්නට ඇත. උණුසුම් තේ බඳුන් රැගෙන සේවකයකු පැමිණ සිටියේය. අමුත්තාගේ විඩාබර කනස්සලූ පෙනුම පහවී ගොස් තිබිණි.
‘‘ඇත්තටම එය ඵලදායකයි.’’
‘‘මේ අපූර්ව විශ්ව ශක්තියෙහි ඔබව සුවපත් කිරීමට බලය තිබෙනවා. අද දිනය ඉතා ශුභ දිනයක් බව මා පැවසුවා මතකද? බලන්න. ඔබත්, මමත් ජීවත් වන්නේ අද. මේ මොහොතෙදි අප කිසිම උපද්‍රවයක් නැතිව සුවසේ හුස්ම ගනිමින් ඉන්නවා. අනෙකුත් හැම ප‍්‍රශ්නයක්ම පවතින්නේ ජීවිතයට ඉතාම පහළින්. එම ගැටළු විසඳාගැනීමට විශ්ව ශක්තිය ආධාර කරගැනීමේ එක් අභ්‍යාසයක් තමයි ඔබ දැන් ප‍්‍රගුණ කළේ?’’
‘‘අද ඉතා ශුභ දිනයක් බව ඔබ පැවසූයේ පෙරදිග ජ්‍යෙතිෂ ශාස්ත‍්‍ර ගැන ඔබගේ විශ්වාසය තිබෙන බැවින්ද?’’
‘‘නැහැ. මා එය හදාරා නැහැ. එහෙත් උදාවන හැම දිනයක්ම ඉතා ශුභ දිනයක් බවට පත්කරගැනීමේ මන්ත‍්‍රයක් මා උදෑසන තුන්වරක් ජප කරනවා.’’
‘‘ඇත්තටම මා එය ඉගෙන ගැනීමට කැමැතියි.’’
විශ්වයේ මහිමයෙන් මා ලැබූ මේ දිනයෙහි ප‍්‍රීතියෙන් හා සතුටින් ගත කරමි.
‘‘ඔය තමයි මා ජප කරන මන්තරේ. ප‍්‍රීතියෙන් හා සතුටින් ජීවත්වීමේ පුරුද්ද ඇතිකර ගන්න මාගේ මිත‍්‍රයා, එවිට උදාවන හැම දවසක්ම ශුභ දවසක් වේවි.’’
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

හදවත දිනන රහස


‘‘මා අකමැති කිසිම පුද්ගලයකු මා හට මෙතෙක් මුණගැසී නොමැත.’’
ධනාත්මක චින්තකයකු වන වින්සන්ට් පීල් නම් අමෙරිකානු ජාතිකයා එසේ පවසා ඇත. ඔහු එවකට ජීවත් වූ සමාජයේ ඉතා ජනප‍්‍රිය පුද්ගලයකු විය. ඉතා ධනවත් ව්‍යාපාරික මිතුරු පිරිසක් ඔහුගේ ඇසුර නිරතුරුවම පැතූහ.
වින්සන්ට් පීල් මෙතරම් ප‍්‍රියමනාප වූයේ ඇයි? ඔහු හැමදෙනාගේම හදවත් දිනා ගත්තේ කෙසේද?
ඔහු සෑම දෙයක් පිළිබඳවම සුභවාදී ආකල්ප දැරූවෙකි. එක් තද වැසි සහිත දිනයක තම අසල්වැසියාගේ ගරාජය තුළට වැසිදිය සමග රොන්මඩ ගලාවිත් එතුළ වූ සියල්ල අපවිත‍්‍ර වී තිබිණ. අසල්වාසී ටොම් මේ පිළිබඳ මහත් කනස්සල්ලට පත්වී සිටියේය.
‘‘මේ බලන්න ටොම්, ඔබ හුඟ කාලෙකින් ගරාජය ශුද්ධ පවිත‍්‍ර කරල නැහැ. දැන් ඔබට හොඳ අවස්ථාවක් ඇවිත් තියෙන්නෙ මේක පිරිසිදු කරල දමන්න.’’
වින්සන් සිය අසල්වැසියා ධෛර්යමත් කරවීය.
‘‘මා හට මුණගැසුණු සෑම පුද්ගලයකු
තුළම තිබෙන හැකියාවන් මම හඳුනාගත්තා. ඔවුන් හට ජීවිතයේ සුභවාදී පැත්ත පෙන්වා දුන්නා. ඔවුන් ධෛර්යමත් කළා.’’
‘‘මිතුරුදමක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ඔබ සතයක්වත් වැය කළ යුතු නැහැ. වැඩි මහන්සියක්ද දැරිය යුතු නැහැ. එහෙත් ආත්මාර්ථකාමී බවින් තොරවම ඔබ ඔවුන් ප‍්‍රිය කළ යුතුයි.’’
වර්ෂ 1953 දී (Guidepost) ගයිඞ්පෝස්ට් නම් මාසික සඟරාවේ ඔහු එසේ සඳහන් කොට තිබිණි. හදවත් දිනන රහස් පියවර දහයක් ලෙස එහි සඳහන් විය.
1. කෙනකුගේ නම මතක තබා ගන්න.  ඕනෑම අයකු හට තමාගේ නම ඉතා වැදගත්.
2. සැමවිටම සැහැල්ලූ ගති පැවතුම් ඇතිකර ගන්න. එවිට ඔබ ළඟ සිටින්නා අසීරුවට පත් නොවේ.
3. අනවශ්‍ය ලෙස හදිසිකාරයකු නොවන්න. එවිට ඔබේ දෛනික කටයුතු පහසු වෙනවා මෙන්ම ඔබේ මිතුරන්ද සැහැල්ලූවට පත්වනු ඇත.
4. ඔබේ අදහස පමණක් ඉස්මතු වන සේ කටයුතු නොකරන්න. සාවධානව අන් අයගේ අදහස්වලටද ඇහුම්කන් දෙන්න. ඔබට රස දේ තව කෙනකුට
වස විය හැකිය.
5. ප‍්‍රිය මනාප බව ඇතිකර ගැනීමට හුරුවන්න. ඔබේ කාරුණික, සංවේදී බව වඩාත් ප‍්‍රියමනාප පුද්ගලයකු බවට පත්කරයි.
6. ප‍්‍රසිද්ධියේ නාසය සීරීම්, කෙළ ගැසීම් වැනි පුරුදු ඔබගේ චරිතයෙන් ඈත් කර දමන්න.
7. ඔබේ දුර්ගුණයන් තිබේ නම් එයින් ක‍්‍රමක‍්‍රමයෙන් අත්මිදෙන්න. මැසිවිලි නැගීම් හා නෝක්කාඩු කීම් ඔබේ මුවින් පිටවීම වළක්වා ගන්න.
8. ඔබ අවංකවම මිනිසුන් අගය කිරීමට හුරුවන තුරුම එය නොකඩවා කරගෙන යන්න.
9. කෙනකුගේ සුළු ජයග‍්‍රහණයකදී පවා සුභ පැතීමට අමතක නොකරන්න. එමෙන්ම කෙනකුගේ විපතකදී අවංකවම ශෝකය ප‍්‍රකාශ කරන්න.
10. යහපත් දෙයක් ඔබේ මිතුරන් හට දිය හැකි බව විශ්වාස කරන්න. ධෛර්යමත් කිරීමෙන් හා යහපත් දේ පෙන්වා දීමෙන් ඔවුන් ශක්තිමත් කළ හැකිය. ඔවුන් විසින් පෙරළා ලබා දෙනු ලබන ගෞරවනීය ලයාන්විත බව ඔබව ශක්තිමත් කරනු ඇත.
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම පෙබරවාරි කලාපයෙන්)

Monday, May 14, 2012

සුවබර නින්දකට...


‘‘සුවබර නින්ද පෙම්වතිය සේම මිහිරිය’’
මෙය වංග මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් විසින් පවසන ලද්දකි.
එය සත්‍යයකි. නින්ද යනු ගතෙහි විඩාවන් මෙන්ම, සිතේ පීඩාවන්ද නිවා දමන මාහැඟි ඔසුවකි.
වෛරය වින්දනය කරමින් යහන් ගතවන පුද්ගලයාට නින්ද කිසිසේත් සුවදායක නොවේ. ඔහු වියරු සිහින දකියි. නින්දේදී පවා දත්මිටි කමින්, අතමිට මොළවමින් වෛරය පෝෂණය කරමින් වෙහෙසට පත්වෙයි. පසුදිනට පහන් වූ පසුවද සුභ උදෑසනක අසිරිය ඔහුට අහිමි වේ.
හෙට දින විසඳීමට ඇති ගැටළු රාශියක් හැම පුද්ගලයකු හටම තිබේ. ලොව ධනවත්ම පුද්ගලයාට මෙන්ම අන්ත දුගී යාචකයා හටද එය පොදුය. ධනවතා තම ධනය ආරක්‍ෂා කර ගැනීමට ක‍්‍රමෝපායයන් සිතමින් නිදාගැනීමට උත්සාහ කරන අතර අන්ත දුගී යාචකයා පසුදින උදයේ කුස පුරවාගන්නා අයුරු සිතමින් නින්දට යයි.
සාමකාමී සුවබර නින්දේදී උඩු සිත නිද්‍රාවට පත්වී යටි සිත අවදි වේ. ඔබේ එදිනෙදා ගැටළුවලට විසඳුම්
ලබාදීමට යටිසිත සමත් වේ. එහෙත් වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, තණ්හාවෙන් මනස පුරවාගෙන නින්දට පිවිසීමෙන් ඔබට කිසිඳු ප‍්‍රයෝජනයක් නොලැබෙනු ඇත. අවදි වූ පසුවද පෙරදින ඔබ අත්විඳි විඩාව එලෙසම පවතියි. ඔබේ ගැටළුවද විසඳුම් රහිතව එලෙසම පවතිනු ඇත.
ඔබගේ සිතෙහි පවතින බර පොදිය නින්දේදී පවා හිස මත තබාගෙන හිඳීම නිශ්ඵල දෙයකි. නින්දට පිවිසීමට පෙර එම බර පොදිය පසෙක තැබිය හැකිය. ඔබට අවශ්‍ය නම් පසුදින අවදි වූ පසුව එම බර පොදිය නැවත හිස මත තබා ගත හැකිය. බොහෝ දෙනකු තම පීඩාකාරී බර පොදිය පසෙක තබා නින්දට පිවිසීමට අකමැතිය.
එහෙත් විශ්වාසයෙන් යුතුව යමක් සඳහන් කළ යුතුය. කරුණාකර ඔබේ බර පොදිය තාවකාලිකව හෝ පසෙක තබා මිහිරි සුවබර නින්දකට පිවිසීමට උත්සාහ කර බලන්න. පසුදින නොවැරදීම ඔබේ බර පොදිය සැහැල්ලූ වී තිබෙනු දැක ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය.
නින්ද සුවදායක වීමට නම් මනස හිස්කර ගත යුතුය. සන්සුන් කර ගත යුතුය. කූඩයක පුරවා තිබෙන භාණ්ඩ එකින් එක ඉවත් කර දමන්නාක් මෙන්, සිතේ පිරී පවතින ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මෙන්ම කෙනකුගේ ප‍්‍රධාන ගැටළුව වන අගහිඟකම් ආදියද නින්දට ප‍්‍රවේශවීමට පෙර තාවකාලිකව හෝ පසෙකට දමන්න. හෙට උපදින නැවුම් දිනයේදී ඔබේ ගැටලූ සියල්ලටම විසඳුම් ලැබෙන බව විශ්වාස කරමින් නින්දට පිවිසෙන්න. ඔබේ පරම හතුරාට පවා සුවබර නින්දක් ප‍්‍රාර්ථනා කරන්න. එවිට වෛරයේ බැම්ම බිඳී යනු ඇත. ඵලදායී බීජයක් රෝපණය කිරීම පිණිස මනස නැමති භූමිය, වල් පැල උදුරා දමා සකස් කොට ඇත.
ඔබේ යහපත් සිතුවිල්ල යටිසිතේ ධාරණය වී ඔබේ හිසමත මෙතෙක් රැඳි බර පොදිය ක‍්‍රමයෙන් සැහැල්ලූ කර දෙනු ඇත. අත්විඳීමෙන්ම ප‍්‍රත්‍යක්‍ෂ කර ගන්න.
සියල්ල කර්මයට අනුව සිදුවේයයි සිතමින් නිකරුණේ සිටීම මිනිසත්කමට තරම් නොවේ. ඔබේ සිතුවිලි යහපත් අතට යොමු කිරීමෙන් කර්මයද යහපත් කළ හැකි වනු ඇත.
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම ජනවාරි කලාපයෙන්)