Showing posts with label පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි.. Show all posts
Showing posts with label පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි.. Show all posts

Saturday, June 2, 2012

කාලේ තාලේ


කාව්‍යශාස්ත‍්‍රවිනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම්
ව්‍යසනේන ච මූර්ඛානාම් නිද්‍රයා කලහේන වා  


(ඥානවන්තයින්ගේ කාලය ගතවෙන්නේ නිර්මාණයෙන්, ශාස්ත‍්‍රීය කටයුත්තෙන් හා විනෝදාශ්වාදයෙන්.
හැබැයි අඥානයින්ගේ කාලය ගත වෙන්නේ විනාශයක් කිරීමෙන්, නිදා ගැනීමෙන් හා කලකෝලාහල කිරීමෙන්.)


කාලේ කියන්නේ අපි හිතාමතා ගත කරන දෙයක් නෙවෙයි. නිරායාශයෙන් ගතවෙන දෙයක්. සමහරුන්ට කාලේ මදි එක ප‍්‍රශ්නයක්. සමහරුන්ට කාලේ ගෙවන එක ප‍්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නිදිවරන්නාට? දිගයි කියලා. (දීඝා ජාගරතෝ රත්ති.) නින්ද නැති වෙලාවට? ගෙවන්න කොච්චර අමාරුද? ඒත් වැඩ ගොඩක් තියෙන වෙලාවට දවසකට පැය විසි හතරත් මදි. ඒත් ඉතිං අපට  ඕන  ඕන විදියට කාලේ වෙනස් වෙන්නේ නැහැනේ. ඒකනේ ඉතිං කාලේ තාලේ.
එක එක්කෙනා කාලේ ගත කරන විදිහ වෙනස්. මෙතනදි මේ කියන කරුණු ලෙඞ්ඩුන්ටයි අසරණයින්ටයි අදාල නෑ. එත් අදාල වෙන්නේ කාට කාට ද කියලා බලමු.
ධීමන්තයෝ (ඒ කියන්නේ රටට, ජාතියට වැඩක් කරන මිනිස්සු) කාලේ ගත කරන්නේ එක්කෝ මොනවාහරි නිර්මාණය කර කර. සමහර විට බඩුවක් මුට්ටුවක් හද හදා, සමහර විට නිෂ්පාදනයක් කරමින්, සමහර විට නව නිපැයුමක් කරමින්, සමහර විට නිෂ්පාදනයක් දියුණු කරමින්. ඒ කොයිකෙන් වුණත් රටට නරකක් නෙවෙයි වෙන්නේ. එහෙමත් නැතිනම් ධීමන්තයෝ කාලය ගත කරන්නේ ශාස්ත‍්‍රීය කටයුත්තක් කරමින්. පොතක පතක වැඩක් කරමින්. ඒකත් වටිනා ව්‍යායාමයක්. එහෙමත් නැතිනම් ධීමන්තයන්ගේ කාලේ ගතවෙන්නේ යහපත් විනෝදයෙන්. කිසියම් රසාශ්වාදයක් ලබමින්. මේ යහපත් ව කාලය ගත කරන විධි කිහිපයක් පමණයි.
දැන් බලමු නිෂ්ප‍්‍රයෝජන ව කාලේ ගතවන විධි ගැන. අඥානයින්ගේ කාලේ ගතවන විධි ගැන. අඥානයිනගේ කාලේ ගත වෙන්නේ ව්‍යසන, නිද්‍රා, කලහ යන ක‍්‍රම තුනෙන්. විනාශයක් කරමින්, එහෙමත් නැතිනම් නිදාගනිමින්, එහෙමත් නැතිනම් කලකෝලාහල අඩ දබර කරමින්. මේ තුනෙන්ම රටටවත් සමාජයටවත් ඒක කරන අයටවත් හොඳක් වෙන්නේ නැ. වෙන තරමක් වෙන්නේ නරක ම තමා.

පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. 
සංස්කෘත අධ්‍යයන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

Friday, June 1, 2012

මෙන්න නියම නෑයෝ


‘‘සත්‍යං මාතා පිතා ඥානං
ධර්මෝ භූතා දයා සඛා
ශාන්තිඃ පත්නී ක්‍ෂමා පුත‍්‍රඃ
ෂඬේතේ මම බාන්ධවාඃ’’


(මව සත්‍යයයි. පියා ඥානයයි. දැහැමි බව සහෝදරයායි. දයාව මිතුරායි. ශාන්තිය භාර්යාවයි. ඉවසීම පුත‍්‍රයායි.
මේ මාගේ හැබෑ නෑයෝය.)


අපට නෑදෑයෝ ඉන්නවා. ඒත් ඒ හැම නෑදෑයෙක් ම ඇත්ත ම නෑදෑයෙක්ද කියලා දැනගන්න එක වටිනවා නේද? සමහරු නම් කියන්නේ  ඕනම දේකට නෑ කියන කෙනා නෑයා කියලා. බුදු හාමුදුරුවෝ නෑයා නිර්වචනය කලේ ඉතාම ගැඹුරු විදිහට.
‘‘විශ්වාසා පරමා ඥාති’’ යනු ඒ බුදු වදනයි. විශ්වාසය උතුම්ම නෑයයි යනු එහි තේරුමයි. සාමාන්‍යයෙන් අපි නෑකම් මනින්නේ ඇෙඟන් නැත්නම් ලේ පරම්රාවෙන්. ඒ කියන්නේ තාත්තා වෙන්නේ ඇෙඟන්. දුව පුතා වෙන්නෙත් ඇෙඟන්. සහෝදරකම් එන්නෙත් ඇෙඟන්. මෙකී ලේ සම්බන්ධකම නැතිනම් ශාරීරික පරම්පරාවට බුදු හාමුදුරුවෝ නෑදෑකම කියලා කිව්වේ නෑ. ඒක හුදෙක් කායික පරම්පරාවක් පමණයි. බුදු හාමුදුරුවෝ නෑදෑකම කිව්වේ විශ්වාසවන්ත කමටයි. ශාරීරික පරම්පරාවේ විශ්වාසවන්තයින් ඉන්න පුළුවන්. ඒත් එහෙමවත් හිතවත්කමක් නැති අය ඉන්න පුළුවන්. තමන්ට ලෙන්ගතු, දයාබර, ආදරය තියෙන ලේ පරම්පරාවට අයිති නැති අයත් නෑයෝ තමයි. ඇත්තට ම කියනවා නම් ඒ අය තමයි නෑයෝ. එහෙම නැතිව එක කුසේ ඉපදුන පලියට ම සියල්ලන් හිතවතුන් වෙනවාද?
සත්‍ය්‍ය තමයි අපේ අම්මා. තාත්තා ඥානයයි. ඥානවන්ත කමයි සත්‍ය තාවයයි. අම්මායි තාත්තයි වගේ වෙන්න පුළුවන් නම් මිනිහෙකුට කොයි තරම් වටිනවද?
නැණවත්කම පියකම තරම් වටින බව නේද ඉන් කියැවෙන්නේ. දැහැමි බවටයි සහෝදරකම කියන්නේ. නැතිනම් තමන්ට පෙර හෝ පසු මව් කුසේ උපන් පමණට නෙවෙයි සහෝදරකම කියන්නේ. මිතුරුකම කියන්නේ දයාවන්ත කමටයි, හිතෛෂීවන්ත කමටයි. නැතිනම් වාසියක් බලාගෙන ලඟින් ආශ‍්‍රය කරන එකට නෙමෙයි. භාර්යාව ශාන්ති. ඒ කියන්නේ භාර්යාවගේ නම ශාන්ති කියන එකට නෙවෙයි. ශාන්ති කියන්නේ ආශිර්වාදයයි. ඇඟට විතරක් බිරිය වෙන, ආශිර්වාද නොකරන කාන්තාව හැබෑ භාර්යාවක් නොවෙයි. ස්වාමි පුරුෂයෙක් වෙන්නෙත් ඇඟට නෙවෙයි. හැබෑ ස්වාමි පුරුෂයෙක් භාර්යාවට නුග සෙවණක් සේ සෙවණ සදනවා. මද පවනක් සේ සිසිල සදනවා. මෘදු කුසුමක් සේ සුවඳ පුදනවා. ඉවසීම දරුවෝ වගේ ඒ බව නම් අම්මලාට අප්පච්චිලාට හොඳට තේරෙනවා ඇති. හැබෑ නෑදෑකම හොයන් යන්ට මේ කරුණු ටික මිනුම් දඬු වෙයි.
 
පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. 
සංස්කෘත අධ්‍යයන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

Tuesday, May 15, 2012

කාගේ කාගෙත් බලේ

‘‘දුර්බලස්‍ය බලං රාජා
   බාලානං රෝදනං බලං 
   බලං මුර්ඛස්‍ය මෞනත්වං
   චෝරානං අනෘතං බලං’’
(දුර්වලයන්ගේ බලය පාලකයායි. ළදරුවන්ගේ බලය ඇ`ඞීමයි. මෝඩයන්ගේ බලය මුනිවතයි. හොරුන්ගේ බලය බොරුවයි.)

කාට කාටත් බලයක්  ඕන. බලයක් හරි ශක්තියක් හරි නැතිව ලෝහයකින්වත් වැඩක් ගන්න බෑ. ඒකනේ ඒකට බලශක්තිය කියන්නේ (Energy). බලයක් හරි ශක්තියක් හරි තියෙනවා නම් තමයි සරුංගලයක් වුණත් උඩ යන්නේ නැතිනම් ඉරට්ටකටයි සව්කොළේකටයි උඩ යන්න පුළුවන් යෑ නේද?
සාමාන්‍යයෙන් අනුන්ගේ බලෙන් තමන් බලවත් වෙන්න හදන අය  ඕන තරම් ඉන්නවා. හැබැයි වැඩියෙන් වටින්නේ තමන්ම බල සම්පන්න වෙන ඒකයි. ඒකට හේතුව මොකද්ද දන්නවද? අනුන්ගේ බලේ නැතිවෙන්න පුළුවන් නිසයි. තමන් සතු ආර්ථික බලයක් හෝ ගුණ බලයක් හෝ කාය බලයක් තියෙනවා නම් ඒක නැතිවෙන්නේ නෑනේ.
මෙන්න බලන්න එක එක්කෙනා බලය පාවිච්චි කරන විදිහ. පොඩි දරුවන්ට තියෙන එකම බලේ තමයි ඇඬිල්ල. අම්මා තාත්තත් බයයි ඒකට. මොනවා හරි  ඕන වෙච්ච ගමන් පොඩි එකා කරන්නේ ඇඬිල්ල පටන් ගන්න එකයි. පොඩි එකා අඬන කොට ම අම්මා තාත්තත් ඒකට බයයි. දුර්වලයෝ තමා බල සම්පන්නයෙකුගේ නම කිය කියා අනිත් අය බය කරන්නේ. මම අහවලාගේ අහවලා කියලා බලසම්පන්නයෙකුගේ නමක් පාවිච්චි කරනවා. ඒකේ තේරුම ම එයාට බලයක් නෑ කියන එකනේ. මීට පස්සේ කවුරුහරි ඔයාට කිව්වොත් මම අහවලාගේ අහවලා කියලා ඔයාව බය කරන්න ආවොත් ඔයා කියන්න ඒ එයානේ. ඔයාට මොනවද තියෙන බලය කියලා. නැතිනම් එයා ලොක්කෙක් තමයි ඔයා ගාව තියෙන ලොකුකම මොකක්ද කියලා. එක අතකට එයාලා පව් නේද? අනුන්ගේ බලය පාවිච්චි කරන දුර්වල මිනිස්සු පව්.
මෝඩයාට තියෙන බලේ තමයි මුනිවත. ඒ කියන්නේ කථාබහ නොකර විරාජමානව ඉන්න එක. හොඳ උගත්තු වගේ ලස්සනට ඇඳලා ඉන්න කොට කවුරුත් හිතන්නේ වැදගතෙක් කියලා. කට ඇරිය ගමන් තමා ගොන්කම මතු වෙන්නේ. ඒක නිසානේ කපටි මෝඩයෝ මුනිවත බලයක් සහ ආයුධයක් ලෙස පාවිච්චි කරන්නේ.
හොරුන්ගේ බලය තමයි බොරුව උන්ට බේරෙන්න වෙන ක‍්‍රමයක් ඇත්තෙම නෑ. කළ වැරැද්ද වහගන්න බොරුව නම් වූ දුර්වල අවිය පාවිච්චි කරනවා හොරා.
පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. 
සංස්කෘත අධ්‍යයන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය
(උපුටා ගැනීම පෙබරවාරි කලාපයෙන්)

Thursday, May 10, 2012

නායකත්වය ආභරණයක් නොවේ.




‘‘න ගණස්‍යාග‍්‍රතෝ ගච්ඡෙත්
  සිද්ධේ කාර්යේ සමං ඵලම්
  යදි කාර්ය විපත්තිඃ ස්‍යාත්
  මුඛරස්තත‍්‍ර හන්‍යතේ’’

(නායකත්වය ගෙන ඉදිරියෙන් යෑම අවදානම් සහිතය. සාර්ථක වුවහොත් එය කණ්ඩායමේ ජයග‍්‍රහණයකි. අසාර්ථක වුවහොත් එය නායකයාගේ වරදකි.)

නායකත්වය ගැන කෙරෙන පොරබැදීම් අප හැමෝටම හොඳට හුරුයි. නායකත්ව ඡන්ද, නිලවරණ හා ඒවා සමඟ ඇතිවන ගැටුම් මරාගැනීම් අපට හොඳට අහලා හුරුයි. එහෙම වෙන්නේ නායකත්වයේ නියම ස්වභාවය නොදන්න හින්දයි. හුඟක් දෙනා නායකත්වයට පත් වෙන්න කැමති වෙන්නේ ඒක ආභරණයක් කියලා හිතලා. මං තමා නායකයා, මං තමා ලොක්කා කියලා වැජඹෙන්න තියෙන ආසාවටයි, මෙහෙම පොරකන්නේ, හැබැයි නායකත්වය කියන්නේ එහෙම වැජඹෙන එකක් විතරක් නෙමෙයි. ඒක දැවැන්ත වගකීමක්. ක‍්‍රීඩා කණ්ඩායමක නායකයා ඒ කණ්ඩායම දිනවන්න  ඕන. හමුදාවේ නායකයා සතුරා පරදවන්න  ඕන. ආයතනයක නායකයා ආයතනය දියුණු කරන්න  ඕන. ජන නායකයා ඒ ප‍්‍රජාව හා ප‍්‍රදේශය සංවර්ධනය කරන්න  ඕන. ඒක එයාගේ යුතුකම නෙවෙයි, වගකීම. ඒ වගකීම නිසියාකාරව ඉටු නොකර නායකයා තමා සතු වරප‍්‍රසාද භුක්ති විඳීම පමණක් සුදුසු නෑ.
නායකත්වයේ අවදානම මේකයි. යම් විදිහකින් නායකයා ගන්නා නිවැරදි තීන්දුව නිසා ජයග‍්‍රහණයක් හෝ සාර්ථකත්වයක් හෝ ලැබුනොත් ඒක නායකයාගේ ජයග‍්‍රහණයක් හැටියට සැලකෙන්නේ නෑ. කවුරුත් කියන්නේ කණ්ඩායමේ ජයග‍්‍රහණයක් කියලා. හැබැයි කණ්ඩායමට එකතු වෙලා කළ කාර්යය වැරදුනොත් හෝ පැරදුනොත් හෝ අසාර්ථක වුවහොත් ඒක කණ්ඩායමේ වැරැද්දට වඩා නායකයාගේ වැරැද්ද කියලා තමයි කවුරුත් කියන්නේ. ඒක නිසා නායකත්වය කියන්නේ දිනුවාම සාමූහික කීර්තියයි පැරදුනාම තනියම අපකීර්තියයි භුක්ති විඳින්න වෙන දෙයක්.
නායකයා (Leader) සහ ලොක්කා (Boss) කියන්නේ එක් කෙනකුට නොවෙයි, දෙන්නෙකුට. ලොක්කා බලය පෙන්නනවා. බලය බලයෙන් ලබාගන්නවා. අන් අය යටත් කර ගන්නවා. අන් අය බියගන්නවා. ඒක නිසා ලොක්කට කවුරුත් බයයි. නායකයාට නායකත්වය ලැබෙනවා. ඔහු හැමෝටම ආදරෙයි හැමෝටම සලකනවා. ඒක නිසා හැමෝම ඔහුට කැමතියි. ඒක නිසා නායකත්වය කියන්නේ ගන්න එකත් නෙවේ, ලැබෙන එකක්.


පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. 
සංස්කෘත අධ්‍යයන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය
(උපුටා ගැනීම ජනවාරි කලාපයෙන්)