Friday, June 1, 2012

දිවි අරුත සරු කරන ගී


සඳක් සදිසි ළඳක් කොහෙද
ලැසි ගමනින් යන
අසන්නට සිතයි ඔබගෙන්
වත ගොත යන තැන

ලාලිත්‍යයෙන් පිරි සුන්දර යුවතියක් අතරමගදී හමුවූ තරුණයෙක් ඇගෙන් ඇසූ ප‍්‍රශ්නයකි මේ.
ගියොත් කෙනකු යළිත් නොඑන
තැන ඇති කුඹුරක
පියා සී සායි මම බත
ගෙනයමි හනිකට

ඇගේ පිළිතුර ඇය, ඔහුට පැනයක් විසඳීමෙන් ලබා ගැනුමට සලසාලයි.
සොහොන් බිම අසල කුඹුරක
වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙනයන ඔබ
කියන් කවුද කියා.

තරුණයා ඉතා ඉක්මනින් පිළිතුර සොයාගනී. සැනින් දෙවන ප‍්‍රශ්නය ඇයට ඉදිරිපත් කරයි.
පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි
නොමැරෙන යම් කෙනෙක් වේද ඒ නම මට හිමි

දෙවනවරටද ඇය පිළිතුරු සපයන්නේ පැනයක් විසඳීමෙන් ලබා ගැනුමටය.
අමරා දේවි ඔබ අමරාදේවි
තරුණයා බුද්ධිමත්ය. ඇගේ නම පමණක් නොව ඇගේ නුවණ ද ඔහු තේරුම් ගනී. පසුකලෙක ඔහු සරණ පාවා ගන්නේද ඇයයි.
ගීතයෙන් විදහාලන්නේ උම්මග්ග ජාතක කතා වස්තුවේ මහෝෂධ කුමරු සහ අමරා කුමරිය ප‍්‍රථම හමුවීමේදී සිදුවන කතාන්දරයයි.
එම කතාවේ ඔවුන් දෙපලගේ පැන-විසඳුම් අවස්ථාව ස්වර්ණදාස හේරත් ගී පද රචකයා අපූරුවට රචනා කර ඇත. කතා වස්තුවෙන් විදහාලන ප‍්‍රඥාව මනාලෙස ශ‍්‍රාවකයාට හඟවන සුළුය.
ඊට අනුරූප වන පරිදි දයාරත්න රණතුංග මහතාගේත් අමරා රණතුංග මහත්මියගේත් හඬ ගලායයි. ඒ හඬට ස්ටැන්ලි එම්. ප‍්‍රනාන්දු මහතාගේ සංගීත සුසංයෝගය කදිමය.
හේරත් මහතාගේ වදන් සරලය. එය සුගායනීයය. මෙම ත‍්‍රිත්වයේ එක්කාසුවේ අපූරු ඵලය නෙලාගන්නට නම් ඔබද බුද්ධිමත් විය යුතුමය.
වර්තමානයේ අසන්නට දකින්නට වෙන සිදුවීම්වල ආරම්භය අතරමග හමුවී ඉතා ඉක්මනින් සබඳතා ගොඩනඟා ගන්නා අයගෙනි.
මෙවන් ගීතවල අන්තර්ගතයට ළංවන්න ළංවන්න ඔබගේ ප‍්‍රඥාවද වර්ධනය වනවා නොඅනුමානය. ගීතයේ රසයෙන් ආනන්දයක් ලබනවා මෙන්ම එහි හරවත් බව තේරුම් ගෙන ආනන්දයෙන් ප‍්‍රඥාවට ළඟාවිය හැකිය.
තනුජා එන්. අයගම
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

මරණයෙන් පසු අපට සිදුවෙන්නේ කුමක්ද?


ඉංග‍්‍රීසියෙන් Reincarnation නැත්නම් Rebirth එය නමින්ද සිංහලෙන් පුනරුත්පත්තිය නැත්නම් නැවත ඉපඳීම නමින්ද හඳුන්වන සංසිද්ධිය මුල්කොට ලියැවී ඇති පත පොත රාශියකි. ඉදිරිපත්වී ඇති මතවාද හා මතිමතාන්තරද අප‍්‍රමාණය. සිදුකර ඇති පර්යේෂණ හා විමර්ශන ද එමටය. එම නිසා, මෙම ලිපිය කියවන ඔබ දැනුවත් මෙම විෂය පිළිබඳ කිසියම් මතයක එල්බ සිටින්නට ඉඩ කියයි. නොඑසේ නම් මේ පිළිබඳව තවදුරටත් කරුණු සෙවීමේ කුතුහලයෙන් පසුවෙන්නට ඉඩ තිබේ.
ඒ කෙසේ වුවත් කේම්බි‍්‍රජ් වැනි ලෝපතල විශ්වවිද්‍යාලයකින් ‍සෛද්ධාන්තික භෞතික විද්‍යාව හැදෑරූ, ඉනික්බිති අවුරුද්දක කාලයක් විද්‍යා ගුරුවරයකු ලෙස ගුරු වෘත්තියේ යෙදී සිටි, ඉන් අනතුරුව තායිලන්තයට ගොස් අවුරුදු නවයක කාලයක් වනගත සම්ප‍්‍රදායට අනුව මහණදම් පිරූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, එමෙන්ම අප‍්‍රමාණ අත්දැකීම් ඇති අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පුනරුත්පත්තිය නැත්නම් නැවත ඉපදීම පිළිබඳව පළකරන අදහස් නිසැක වශයෙන් මෙම විෂය පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරනු ඇත. නැවත ඉපදීම පිළිබඳ ඔබේ සිතේ යම් සැකයක් ඇත්නම් එය දුරලීමටද උන්වහන්සේ ඔබට උදව් වෙනවා ඇත. එමෙන්ම නැවත ඉපදීම ගැන දැනගත යුතු දේවල් දැන වර්තමාන ජීවිතය සාර්ථක කරගැනීමටත්, මරණයට නොබියව මුහුණ පෑමටත් ඔබට, මහත් ආලෝකයක් හා ශක්තියක් ලබා දෙනු ඇත.
ඒ අනුව ජීවිතයට දහම් පාසල සඟරාවට සිනාසෙන සුදු හාමුදුරුවෝ නමින් අප සපයන ලිපි මාලාවේ ඉදිරි ලිපි කිහිපය අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ අපේ මරණයෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද? මැයෙන් ඉදිරිපත් කළ දේශන ඇසුරෙන් සකස් වේ.
අපේ මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද?
ඉහත මාතෘකාව යටතේ උන්වහන්සේ පැවැත්වූ දේශනයේදී දැක්වූ අදහස් කිහිපයකින් මෙම ලිපි මාලාව ආරම්භ කරන්නෙමු.
‘‘ඔබට ඔබේ මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව ගැඹූරු භාවනාවන්හි නිරතවී සිටින විට මනා වැටහීමක් ලබාගත හැකිවෙනවා. මේ හැර මරණයෙන් පසුව ඔබට සිදුවෙන්නේ කුමක්ද පිළිබඳව සාක්ෂි පාදක කරගත් යම් යම් අනාවරණ තිබෙනවා. තාවකාලිකව මරණයට පත්වී, මනස සිරුරෙන් වෙන්වී, ආපසු මනස සිරුරට එක්වූ තැනැත්තන්, එම විරාමය නැත්නම් තාවකාලික මරණය හා නැවත ප‍්‍රාණය ලැබීම අතර කාලය තුල ලත් අත්දැකීම් පිළිබඳ අනාවරණවලින් මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්ද පිළිබඳව අවබෝධ කරගැනීමට අප‍්‍රමාණ සාක්ෂි තිබෙනවා. ඒ හැර ස්වල්ප දෙනකුට ඔවුන්ගේ පෙර ජන්මය පිළිබඳ මතකයක් තිබෙනවා. මෙය සමහරවිට සමහරුන්ට නිරායාසයෙන්ම ලැබෙන්නක්. තවත් සමහරුන්ව පුහුණු කිරීමෙන් ලඟාවිය හැකි තත්ත්වයක්.’’
මරණයට පත්වීමට ආසන්න වූ විට ඔබට සිදුවන්නේ කුමක්ද?ජීවිතය කියන්නේ අඛණ්ඩ ගමනක්. ඔබ රාත‍්‍රියේදී නින්දට ගොස් පසුදා උදේ අවදි වනවිට උදේ අවදි වුණේ රාත‍්‍රියේ නින්දට ගිය පුද්ගලයාමයි. සමහරවිට නින්දට යන්නට පෙර සිටියාට වඩා තරමක් වයස්ගතවී තිබුණත් උදේ අවදිවන්නේ රාත‍්‍රී නින්දට ගිය තැනැත්තාමයි. ඔබ මරණයට පත්වූවාට පසුවත් සිදුවෙන්නේ මෙයම තමයි.’’
‘‘අප මරණයට පත්වීමට ආසන්නව සිදුවෙන්නේ කුමක්ද කියා විමසීමේදී මා අවධානය යොමු කරන්නේ අනතුරකින් නැත්නම් ශල්‍යකර්මයක් මැද්දෑවේ සිදුවූ හදිසි මරණයක් ගැන නොව අසනීපයකින්, වියපත්වීමකින් නැත්නම් රෝගාතුර වීමකින් වැනි දෙයකින් සිදුවෙන සෙමින් මරණයට පත්වීමක් ගැනයි. එය සිදුවෙන්නේ අපේ පංචේන්ද්‍රිය, ඒ කියන්්නේ ඇසින් දැකීම, කණෙන් ඇසීම, නාසයෙන් සුවඳ දැනීම, දිවට රසය දැනීම, කයෙන් පහස ලැබීම ආදිය එකිනෙක අකර්මන්‍ය වීමෙන් නැත්නම් එම ඉඳුරන්ගේ ක‍්‍රියාකාරීත්වය ශරීරයෙන් වෙන්වීමෙන්. බෞද්ධ භික්‍ෂුවක් විදියට බොහෝ දෙනකු මරණාසන්නව සිටි අවස්ථාවලදී මරණය සිදුවෙන්නේ කෙසේදැයි දැක බලා ගැනීමට මා භාග්‍යවන්ත වී තිබෙනවා.
මරණය පසිඳුරන් අතුරුදහන් වීමෙන් සිදුවෙන ක‍්‍රියාවලියක්
මරණය සිදුවෙන්නේ, විශේෂයෙන්ම වියපත් වූවකුගේ, රෝගාතුරවූවකුගේ, එහෙම නැත්නම් කිසියම් ලෙඩක් නිසා මරණාසන්න වූවන්ගේ මරණය සිදුවෙන්නේ සෙමින්. මම මුලින්ම මේ විදිහට සිදුවෙන මරණ දැක්කාම මරණය සිදුවෙන්නේ මෙන්න මේ වේලාවටයි. අටටයි නැත්නම් නමයටයි කියා කියන්න බැරි මිනිත්තු ගණනක් තිස්සේ සිදුවෙන ක‍්‍රියාවලියක් පටන් අරගෙන සෙමින් සෙමින් අවසානයට පත්වෙන ක‍්‍රියාවලීන්  හිටිහැටියේ සිදුවන දෙයක් නොව ක‍්‍රියාවලියක් යැයි මා කියන්නේ මේ නිසයි. මෙය මුළු ජීවිතයම තේරුම් ගැනීමට බොහෝම ප‍්‍රයෝජනවත් වෙනවා. තව විදියකින් කිව්වොත් තවත් ඉතින් ඇසීමක්, දැකීමත්, ගඳ සුවඳ දැනීමත්, රස විඳීමත්, ස්පර්ශයත් සිරුරට දැනෙන්නේ නැහැ. කෙනකු මරණයට පත්වූ බව අප දැනගන්නේ මෙන්න මෙහෙමයි.
ඒත් අපි කෙනෙක් මැරුණය සිතමින් හඬා දොඩා වැළපෙද්දිත් ඔහු හෝ ඇය තවමත් ජීවත්වෙමින් සිටින්න පුළුවන්. අපි ඒ තැනැත්තා මරණයට පත්වූවායැයි තීරණය කළත්, හෙදියන් නැත්නම් වෛද්‍යවරුන්ට මරණය කරා ආසන්න වෙමින් සිටින තැනැත්තාගේ ඇස්වල ජීවයක් දකින්න පුළුවන් වෙන්න ඉඩ තිබෙනවා.
භාවනාවේදී සිදුවෙන්නේ මේකම තමයි
භාවනාව තුළින් මා වටහාගත් එක් දෙයක් තමයි, භාවනාවේදී සිදුවෙන්නේ මෙන්න මේ ක‍්‍රියාවලියමයි කියන එක. භාවනාවේ ගැඹුරට යනවිට ඔබේ සිරුරෙහි ම පස් ඉඳුරන්ම සිරුරෙන් අතුරුදහන් වෙනවා. ඔබ භාවනාව සඳහා හිඳගත්විට ඔබට මේ වගේ  අත්දැකීමකට, ආසන්න අත්දැකීම් අත්විඳින්න පුළුවන් වෙනවා. ටිකෙන් ටික ඔබට ඔබේ අත්, පය, සිරුර එහා මෙහා කරන්නට බැරිව සිරුර ඔබෙන් අතුරුදහන් වෙනවා. සෙමින් සෙමින් මරණයට පත්වීමේදී සිදුවෙන්නෙ මේකම තමයි. හැබැයි ඔබ භාවනා කිරීමේදී මිය යන්නේ නැහැ. ඔබට භාවනාව නිමකොට සිහි එලවා ගන්න පුළුවන්  වෙනවා. නමුත් මරණයේදී එය නිමක් දකිනවා. පස් ඉඳුරන්ව සිරුරෙන් අතුරුදහන්වී අවසානයට පත්වෙනවා. සිරුර පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගත් වින්දනයන් සහමුලින්ම නැත්තටම නැතිවී යනවා. මේ විදියට භාවනාව නිසා පසිඳුරන් ඔබේ ශරීරයෙන් අතුරුදන්වීමෙන් ඔබට විශාල සැහැල්ලූවක්, සතුටක්, සැනසීමක් අත්විඳින්න ලැබෙනවා.   
ගැඹුරු භාවනාවේදී සිදුවූ සැබෑ සිද්ධියක්.
ගැඹුරු භාවනාවේදීත් සිදුවෙන්නේ මෙයම තමයි. මා මේ සම්බන්ධ සිද්ධියක් දැන් ඔබට කියන්නම්. මා මේ කියන්න යන්නේ මෙහි අපේ දායකයකු සම්බන්ධ සිද්ධියක්. අද සැඳෑවේ නම් ඔහු මෙහි ඇවිත් නැහැ. ඔහුගේ අවසර ඇතිව මම මේ කතාව මගේ පොතකද පළකළා.
ඔහු ඉතා ගැඹුරු භාවනාවන්හි නියැලෙන කෙනෙක්. දවසක් ගෙදර, කාමරයේදී ගැඹුරු භාවනාවකට සමවැදී සිටි ඔහු ගැන විපරම් කළ ඔහුගේ භාර්යාව තම සැමියා කිසිම සද්දයක් නොකර නිසොල්මන්වී සිටින හැටි දැක්කා. ඇඟපත අල්ලා සෙලවූවත් ඔහු අවදි වුණේ නැහැ. තම සැමියා මරණයට පත්වෙන්නට ඇතැයි සිතූ ඇය, ගිලන් රථයක් කැඳවා ඔහු චාල්ස් ගාර්ඩන් රෝහලට රැගෙන ගියා. රෝහලේදී ECG හා EEG  පර්යේෂණවලින් ඔහුගේ හෘද වස්තුවත්, මොළයත් සක‍්‍රීයව තිබෙනවාදැයි පිරික්සුවත් ඒවා අකර්මන්‍ය වී තිබුණා. පරීක්‍ෂණයේදී ELG හෘදවස්තුව දිගු වේලාවක් තිස්සේ ස්පන්දනය නොවන බවත්, EEG පරීක්‍ෂණයේදී මොළය අක‍්‍රියව ඇති බවත් අනාවරණය වුණා. ඉන්පසු විදුලිසැර වැද්දීම්, පපුව තෙරපීම වැනි නොයෙකුත් හදිසි ප‍්‍රතිකාර කළත් ඔහු ජීවත්වෙන ලකුණක් දැක ගන්නට ලැබුණේ නැහැ. මේ අතරවාරේ ඔහු, ඔහුගේ භාවනාව නිමකොට, පියවි සිහියට එළඹුණා. ඔහු භාවනාව නිමකළ සැනෙන් ECG යන්ත‍්‍රයත්, ක‍්‍රියාකාරී වෙන්නට පටන් ගත්තා. ඔහු වටපිට බලනවිට තමා රෝහලක සිටින්නේ මක්නිසාදයැයි විශ්මයට පත්වුණා. වෛද්‍යවරු බොහෝම කඩිනම් පරීක්‍ෂණයක් කළත් ඔහු ගැන කියන්නට කිසිම වරදක් නැති බව හෙළිවුණා. ඉන්පසු ඔහු ආපසු ගෙදර ගියා. ඇත්තටම ඔහු රෝහලේ සිට ආපසු පයින්ම ගෙදර ගියා. පයින් ආ හැකි තරමට ඔහු නිරෝගීව සිටියා.
විශ්මයජනක කාරණය නම් මේ කියන මුළු කාලය තුළ ඔහු හොඳ සිහියෙන්, සෝදිසි ඥාණයෙන් යුක්තව සිටීමයි. මා මේ කතාව කිව්වේ මේ කතාවට සම්බන්ධ තැනැත්තා මෙහි එන යන අයකු කියාත්, ගැඹුරු භාවනාව තුළින් සිදුවෙන්නේ කුමක්දැයි හඳුනාගැනීමට මේ කතාව ප‍්‍රයෝජනවත් වන නිසාත්ය. මේ විදිහට මොළයේ ක‍්‍රියාකාරීත්වය නතර වූ විට සිදුවෙන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙවැනි සාක්ෂි අප‍්‍රමාණව තිබෙනවා. මෙවැනි අවස්ථාවල තාවකාලිකව මරණයට පත්වීමක් සිදුවෙන නිසා අපි මෙවැනි අවස්ථා මරණාසන්න අත්දැකීම් ලබාදෙන (Near Death Experience) අවස්ථාව ලෙස හඳුන්වනවා. දීර්ඝ කාලීන ලෙස, සහමුලින්ම මරණයට පත්වීම, අපි මරණය නමින් හඳුන්වනවා. මොළයේ කි‍්‍රයාකාරීත්වය නතර වුණාම සිදුවෙන්නේ කුමක්ද යන්න ඒත්තු ගැනීමට මේ මඟින් යම් යම් සාක්ෂි අපට ලබාදෙනවා. මොළයේ ක‍්‍රියාකාරීත්වය නතරවීමෙන් සිදුවෙන තාවකාලික මරණය පිළිබඳ වැදගත්ම කාරණය නම් එය ඉතා ආනන්දජනක අත්දැකීමක් වීමයි. ප‍්‍රමෝදජනක අත්දැකීමක් වීමයි. මේ අත්දැකීම අත්විඳි සියල්ලන්ටම එය එසේමයි.

බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.
සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

හොඳම දවස අදයි


වින්සන්ට් පීල් මහතා හමුවීමට උදෑසනම එක්තරා පුද්ගලයකු පැමිණ සිටියේය.
‘‘මට හරියට ප‍්‍රශ්න තියෙනවා. මේ දවස්වල කරන කිසිම වැඩක සාර්ථකත්වයක් දකින්න නැහැ. හැමදාම උදේ අවදිවෙන්නේ හිසේ ලොකු බරක් තියාගෙනයි.’’
ඔහුගේ මැසිවිලි හා දුක්ගැනවිලි සියල්ල සන්සුන්ව අසා සිටි වින්සන්ට් පීල් මෙසේ පැවසීය.
‘‘අද ඉතා සුබ දවසක් බව සමහර විට ඔබ දැනගෙන හිටින්න නැතුව ඇති.’’
‘‘ඇත්තටම අද සුබ දවසක්ද? මම ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ.’’
‘‘දැන් මම සූදානම්ව හිටියේ හිත ගත දෙකම සන්සුන් කරවන අන්දමේ අභ්‍යාසයක් ප‍්‍රගුණ කරන්නයි. මෙය ඉතාම පැරණි අභ්‍යාසයක්. නවීන අය බොහෝ දෙනකු මේ ගැන දන්නෙ නැහැ. ඔබත් ඇයි මේ ක‍්‍රමය අත්හදා නොබලන්නේ?’’
තියෙන කරදර මදිවාට තව මොන අභ්‍යාසද යනුවෙන් අමුත්තාට සිතිණි. උදෑසන ලාහිරු රැස් සහිත ගෙමිදුලේ හාන්සි පුටු දෙකක් විය. වින්සන්ට් මහතා එක් පුටුවක සුවපහසු ලෙස හාන්සි වී අමුත්තාටද ඇරැුයුම් කළේය.
‘‘දැන් ඊළඟට මොනවද කරන්න ඕනෑ?’’
අමුත්තා විමසීය.
‘‘කිසිම දෙයක් අමුතුවෙන් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. හොඳ සැප පහසුවට ඔය පුටුවේ දිගා වෙලා අර ලස්සන අහස දිහා බලන්න. මේ පිරිසිදු නැවුම් වාතය පෙනහළු පුරා හුස්ම ගන්න. දැනට එපමණයි.’’
‘‘මේක අභ්‍යාසයක් නොවෙයිනේ? සාමාන්‍යයෙන්  ඕනෑම කෙනකු කරන දෙයක්නේ?’’
‘‘මෙහිදී ඔබ නොදන්න විශේෂත්වයක් තිබෙනවා. ඔබ සාමාන්‍යයෙන් නිවසේදී කරන්නේ පුටුවේ හිඳගෙන ප‍්‍රශ්නවලින් ඔලූව පුරවාගන්න එකයි. එහෙත් දැන් අපි කරන්න හදන්නේ අපේ ප‍්‍රශ්න එකින් එක ඉහළ හිස් අහසේ අනන්තයටම මුදාහරින එකයි. ඔබේ ගැටළුව හිස මතින් ගුවනට මනසින් විද දමන්න. එය කුඩා තිතක් බවට පත්වී නොපෙනී යන තුරුම.’’
අමුත්තා නිහඬවම හිස් අනන්තයට සිය දෙනෙත් යොමන්නට විය. අඩහෝරාවක් පමණ එසේ ගතවන්නට ඇත. උණුසුම් තේ බඳුන් රැගෙන සේවකයකු පැමිණ සිටියේය. අමුත්තාගේ විඩාබර කනස්සලූ පෙනුම පහවී ගොස් තිබිණි.
‘‘ඇත්තටම එය ඵලදායකයි.’’
‘‘මේ අපූර්ව විශ්ව ශක්තියෙහි ඔබව සුවපත් කිරීමට බලය තිබෙනවා. අද දිනය ඉතා ශුභ දිනයක් බව මා පැවසුවා මතකද? බලන්න. ඔබත්, මමත් ජීවත් වන්නේ අද. මේ මොහොතෙදි අප කිසිම උපද්‍රවයක් නැතිව සුවසේ හුස්ම ගනිමින් ඉන්නවා. අනෙකුත් හැම ප‍්‍රශ්නයක්ම පවතින්නේ ජීවිතයට ඉතාම පහළින්. එම ගැටළු විසඳාගැනීමට විශ්ව ශක්තිය ආධාර කරගැනීමේ එක් අභ්‍යාසයක් තමයි ඔබ දැන් ප‍්‍රගුණ කළේ?’’
‘‘අද ඉතා ශුභ දිනයක් බව ඔබ පැවසූයේ පෙරදිග ජ්‍යෙතිෂ ශාස්ත‍්‍ර ගැන ඔබගේ විශ්වාසය තිබෙන බැවින්ද?’’
‘‘නැහැ. මා එය හදාරා නැහැ. එහෙත් උදාවන හැම දිනයක්ම ඉතා ශුභ දිනයක් බවට පත්කරගැනීමේ මන්ත‍්‍රයක් මා උදෑසන තුන්වරක් ජප කරනවා.’’
‘‘ඇත්තටම මා එය ඉගෙන ගැනීමට කැමැතියි.’’
විශ්වයේ මහිමයෙන් මා ලැබූ මේ දිනයෙහි ප‍්‍රීතියෙන් හා සතුටින් ගත කරමි.
‘‘ඔය තමයි මා ජප කරන මන්තරේ. ප‍්‍රීතියෙන් හා සතුටින් ජීවත්වීමේ පුරුද්ද ඇතිකර ගන්න මාගේ මිත‍්‍රයා, එවිට උදාවන හැම දවසක්ම ශුභ දවසක් වේවි.’’
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

හදවත දිනන රහස


‘‘මා අකමැති කිසිම පුද්ගලයකු මා හට මෙතෙක් මුණගැසී නොමැත.’’
ධනාත්මක චින්තකයකු වන වින්සන්ට් පීල් නම් අමෙරිකානු ජාතිකයා එසේ පවසා ඇත. ඔහු එවකට ජීවත් වූ සමාජයේ ඉතා ජනප‍්‍රිය පුද්ගලයකු විය. ඉතා ධනවත් ව්‍යාපාරික මිතුරු පිරිසක් ඔහුගේ ඇසුර නිරතුරුවම පැතූහ.
වින්සන්ට් පීල් මෙතරම් ප‍්‍රියමනාප වූයේ ඇයි? ඔහු හැමදෙනාගේම හදවත් දිනා ගත්තේ කෙසේද?
ඔහු සෑම දෙයක් පිළිබඳවම සුභවාදී ආකල්ප දැරූවෙකි. එක් තද වැසි සහිත දිනයක තම අසල්වැසියාගේ ගරාජය තුළට වැසිදිය සමග රොන්මඩ ගලාවිත් එතුළ වූ සියල්ල අපවිත‍්‍ර වී තිබිණ. අසල්වාසී ටොම් මේ පිළිබඳ මහත් කනස්සල්ලට පත්වී සිටියේය.
‘‘මේ බලන්න ටොම්, ඔබ හුඟ කාලෙකින් ගරාජය ශුද්ධ පවිත‍්‍ර කරල නැහැ. දැන් ඔබට හොඳ අවස්ථාවක් ඇවිත් තියෙන්නෙ මේක පිරිසිදු කරල දමන්න.’’
වින්සන් සිය අසල්වැසියා ධෛර්යමත් කරවීය.
‘‘මා හට මුණගැසුණු සෑම පුද්ගලයකු
තුළම තිබෙන හැකියාවන් මම හඳුනාගත්තා. ඔවුන් හට ජීවිතයේ සුභවාදී පැත්ත පෙන්වා දුන්නා. ඔවුන් ධෛර්යමත් කළා.’’
‘‘මිතුරුදමක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ඔබ සතයක්වත් වැය කළ යුතු නැහැ. වැඩි මහන්සියක්ද දැරිය යුතු නැහැ. එහෙත් ආත්මාර්ථකාමී බවින් තොරවම ඔබ ඔවුන් ප‍්‍රිය කළ යුතුයි.’’
වර්ෂ 1953 දී (Guidepost) ගයිඞ්පෝස්ට් නම් මාසික සඟරාවේ ඔහු එසේ සඳහන් කොට තිබිණි. හදවත් දිනන රහස් පියවර දහයක් ලෙස එහි සඳහන් විය.
1. කෙනකුගේ නම මතක තබා ගන්න.  ඕනෑම අයකු හට තමාගේ නම ඉතා වැදගත්.
2. සැමවිටම සැහැල්ලූ ගති පැවතුම් ඇතිකර ගන්න. එවිට ඔබ ළඟ සිටින්නා අසීරුවට පත් නොවේ.
3. අනවශ්‍ය ලෙස හදිසිකාරයකු නොවන්න. එවිට ඔබේ දෛනික කටයුතු පහසු වෙනවා මෙන්ම ඔබේ මිතුරන්ද සැහැල්ලූවට පත්වනු ඇත.
4. ඔබේ අදහස පමණක් ඉස්මතු වන සේ කටයුතු නොකරන්න. සාවධානව අන් අයගේ අදහස්වලටද ඇහුම්කන් දෙන්න. ඔබට රස දේ තව කෙනකුට
වස විය හැකිය.
5. ප‍්‍රිය මනාප බව ඇතිකර ගැනීමට හුරුවන්න. ඔබේ කාරුණික, සංවේදී බව වඩාත් ප‍්‍රියමනාප පුද්ගලයකු බවට පත්කරයි.
6. ප‍්‍රසිද්ධියේ නාසය සීරීම්, කෙළ ගැසීම් වැනි පුරුදු ඔබගේ චරිතයෙන් ඈත් කර දමන්න.
7. ඔබේ දුර්ගුණයන් තිබේ නම් එයින් ක‍්‍රමක‍්‍රමයෙන් අත්මිදෙන්න. මැසිවිලි නැගීම් හා නෝක්කාඩු කීම් ඔබේ මුවින් පිටවීම වළක්වා ගන්න.
8. ඔබ අවංකවම මිනිසුන් අගය කිරීමට හුරුවන තුරුම එය නොකඩවා කරගෙන යන්න.
9. කෙනකුගේ සුළු ජයග‍්‍රහණයකදී පවා සුභ පැතීමට අමතක නොකරන්න. එමෙන්ම කෙනකුගේ විපතකදී අවංකවම ශෝකය ප‍්‍රකාශ කරන්න.
10. යහපත් දෙයක් ඔබේ මිතුරන් හට දිය හැකි බව විශ්වාස කරන්න. ධෛර්යමත් කිරීමෙන් හා යහපත් දේ පෙන්වා දීමෙන් ඔවුන් ශක්තිමත් කළ හැකිය. ඔවුන් විසින් පෙරළා ලබා දෙනු ලබන ගෞරවනීය ලයාන්විත බව ඔබව ශක්තිමත් කරනු ඇත.
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම පෙබරවාරි කලාපයෙන්)

දිවි අරුත සරු කරන ගී

සිනහවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා.....
සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා.....

පුද්ගලයාගෙන් පුද්ගලයාට මිනිසා වෙනස්ය. එම වෙනස හොඳ හෝ නරක විය හැකිය. එය එසේ වෙද්දී ඔබ කුමන ගොඩට අයත්විය හැකිද යන්න ඔබගේ හදවත ඔබට කියයි. නමුදු ඔබ අයත්විය යුත්තේ කුමන ගොඩටද යන්න සිතා බැලීමට ඔබට නොහැකි යැයි සිතිය නොහැක.
ඉහත ගීතය ලියා තිබෙන්නේ  ඕනෑම කෙනකුට ශ‍්‍රවණයෙන්ම යමක් වටහාගන්නට හැකි අයුරිනි. එහි බැරෑරුම් ලෙස කිසිවක් රචනා වී නැත. ලොකු කුඩා සැමට වරක් ඇසූ සැනින් අරුත වැටහේ.
මිනිසුන්ගේ නුගුණ රචකයා උපහාසාත්මකව යොදා ඇත්තේ අසන්නාට දනවන ලෙසය.
පද රචනය ශ‍්‍රාවකයා තුළට කාවද්දන්නේ මොහිදින් බෙග් ගායකයාය. මුල් ගායනය ඔහුගේ වුවද පියාගේ පාරේ යමින් අද ඉෂාක් බෙග් ගායකයා ද ශ‍්‍රාවකයාට එම ගීතයේ වටිනාකම ඒ අයුරින්ම ලබාදෙයි.   
ලෝකයේ පර විසක් නැත වෙන මිනිස් විස වාගේ.....
සැප විඳී පණ ගියත් පැගී
අනෙක් මිනිසාගේ..... 

වර්තමානයේ අසන්නට දකින්නට ලැබෙන මිනිස් ගති පද රචකයා තදින්ම විදහා දක්වයි. එය දෙවන, තුන්වන කොටස් වල අගට යොදා ඇති ගී ඛණ්ඩ මනාව ඔප්පු කරයි.
ඉතාම හැඟීම්බරව අසන්නාට ගායකයා පවසන්නේ මිනිස්ගති ස්වභාවයයි. එම මිනිස්ගති කොයි ආකාරයෙන් පැවතියත් දිනෙක යුක්ති ධර්මය ජයගන්නා බව ගීතයේ අවසන් පද පේලි කියාපායි. එය පද රචකයා සමාන කරන්නේ ඉරුගේ දිලිසෙන ආකාරයටයි.
‘‘යුක්ති ධර්මේ ජයගනීවී
දිලෙන ලෙස දිනිඳා.’’  

ඉදින් මෙම හැබෑව තේරුම් ගැනීම දිවි සරුකර ගැනීමට හේතුවේවි.

තනුජා එන්. අයගම
(උපුටා ගැනීම පෙබරවාරි කලාපයෙන්)