Showing posts with label තනුජා එන්. අයගම. Show all posts
Showing posts with label තනුජා එන්. අයගම. Show all posts

Saturday, June 2, 2012

දිවි අරුත සරු කරන ගී


පොඩි දුවගේ සිනාවැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
පි‍්‍රය බිරිඳගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි

සෝමතිලක ජයමහ ගායන ශිල්පියාගේ හඬින් ශ‍්‍රවණය වන මෙම ගේ පද රචනාව අපේ සිතට චමත්කාරය ජනක හැඟුම් ගෙනෙයි. ‘‘මගේ නිවන මගේ පැල්පතයි’’ යන සංකල්පනාව හදවතට ජනිත කරවන්නේ ගැඹුරු අරුතකි. දූ පුතුන්ගේ සිනා, කතා මැද බිරියගේ සෙනෙහෙවන්තකම ලබන සැමියකුට කුටුම්භය තුළ දැනෙන සතුටෙ ප‍්‍රමාණය ගේ පද රචකයා කෙතරම් ඉහළ ගෙන ගොස් තිබේද යත් එය උපමා කර ඇත්තේ නිවනටයි. පළමු පද හතර පබැඳීමෙන්ම කුටුම්භ දිවියේ නියම විඳුම විදහාලයි.
නිවසෙ බාහිර අලංකරණය, වටපිටාව පිළිබඳ අංශු මාත‍්‍රයක තරමටවත් නොදැනෙන්නේ ගෘහපතියාට බිරිඳ සහ දරුවන්ගේ ස්නේහය ඒ බාහිර අලංකාරයන් යටපත් කරගෙන ලැබෙන නිසාම නොවේද?
කටු මැටි ගෑ බිත්තිපුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පිය විලිගුණ තුරුණු වගේ

දුක් පීඩා කෙතරම් තිබුණද පුංචි පැලේ මං ලබන්නෙ, පුදුමාකාර සුවයක්. ඉතා කෙටි සරල යෙදුම් ගෙනහැර පාමින් පද රචනාවේ යෙදෙන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ මෙම සංකල්පනාවෙන් අපට සිතන්නට තවත් යමක් ඉතිරි කර තිබේ. අන්න ඒ දේ වටහා ගැනීමට හැකිනම් පද රචකයාගේ නිර්මාණයේ ඵල ලබන්න හැකිවේවි.
ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුංචි පැලේ
අඹු දරුවන් අතර තුරේ
මට නිමි නැති සුවය දැනේ

ඉඩකඩම් ගේ දොර දේපල සොර සතුරන්ගෙන් ආරක්‍ෂා කිරීමේ අවදානමක් මොහුට නැත. ජීවිත තර්ජන බලාපොරොත්තු විය නොහැකිය. නමුත් ඔහු සතු වටිනාම සම්පතක් ඇත. එය කිසිවකුට මිල මුදලට, තර්ජනය කිරීමෙන් ලබාගත නොහැකි අමිල  සම්පතකි. ඒ ඔහු නිවනට ආදේශ කරන ඔහු පවුලේ සහයෝගීතාවයයි. මෙම ගීතයේ අර්ථ රසය බණක් ශ‍්‍රවණය කළාක් බඳුය. මේ කියාපාන්නේ සතුටින් ජීවත්වීමට සරල දිවිය සුදුසු බව නොවේද?

තනුජා එන්. අයගම
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

Friday, June 1, 2012

දිවි අරුත සරු කරන ගී


සඳක් සදිසි ළඳක් කොහෙද
ලැසි ගමනින් යන
අසන්නට සිතයි ඔබගෙන්
වත ගොත යන තැන

ලාලිත්‍යයෙන් පිරි සුන්දර යුවතියක් අතරමගදී හමුවූ තරුණයෙක් ඇගෙන් ඇසූ ප‍්‍රශ්නයකි මේ.
ගියොත් කෙනකු යළිත් නොඑන
තැන ඇති කුඹුරක
පියා සී සායි මම බත
ගෙනයමි හනිකට

ඇගේ පිළිතුර ඇය, ඔහුට පැනයක් විසඳීමෙන් ලබා ගැනුමට සලසාලයි.
සොහොන් බිම අසල කුඹුරක
වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙනයන ඔබ
කියන් කවුද කියා.

තරුණයා ඉතා ඉක්මනින් පිළිතුර සොයාගනී. සැනින් දෙවන ප‍්‍රශ්නය ඇයට ඉදිරිපත් කරයි.
පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි
නොමැරෙන යම් කෙනෙක් වේද ඒ නම මට හිමි

දෙවනවරටද ඇය පිළිතුරු සපයන්නේ පැනයක් විසඳීමෙන් ලබා ගැනුමටය.
අමරා දේවි ඔබ අමරාදේවි
තරුණයා බුද්ධිමත්ය. ඇගේ නම පමණක් නොව ඇගේ නුවණ ද ඔහු තේරුම් ගනී. පසුකලෙක ඔහු සරණ පාවා ගන්නේද ඇයයි.
ගීතයෙන් විදහාලන්නේ උම්මග්ග ජාතක කතා වස්තුවේ මහෝෂධ කුමරු සහ අමරා කුමරිය ප‍්‍රථම හමුවීමේදී සිදුවන කතාන්දරයයි.
එම කතාවේ ඔවුන් දෙපලගේ පැන-විසඳුම් අවස්ථාව ස්වර්ණදාස හේරත් ගී පද රචකයා අපූරුවට රචනා කර ඇත. කතා වස්තුවෙන් විදහාලන ප‍්‍රඥාව මනාලෙස ශ‍්‍රාවකයාට හඟවන සුළුය.
ඊට අනුරූප වන පරිදි දයාරත්න රණතුංග මහතාගේත් අමරා රණතුංග මහත්මියගේත් හඬ ගලායයි. ඒ හඬට ස්ටැන්ලි එම්. ප‍්‍රනාන්දු මහතාගේ සංගීත සුසංයෝගය කදිමය.
හේරත් මහතාගේ වදන් සරලය. එය සුගායනීයය. මෙම ත‍්‍රිත්වයේ එක්කාසුවේ අපූරු ඵලය නෙලාගන්නට නම් ඔබද බුද්ධිමත් විය යුතුමය.
වර්තමානයේ අසන්නට දකින්නට වෙන සිදුවීම්වල ආරම්භය අතරමග හමුවී ඉතා ඉක්මනින් සබඳතා ගොඩනඟා ගන්නා අයගෙනි.
මෙවන් ගීතවල අන්තර්ගතයට ළංවන්න ළංවන්න ඔබගේ ප‍්‍රඥාවද වර්ධනය වනවා නොඅනුමානය. ගීතයේ රසයෙන් ආනන්දයක් ලබනවා මෙන්ම එහි හරවත් බව තේරුම් ගෙන ආනන්දයෙන් ප‍්‍රඥාවට ළඟාවිය හැකිය.
තනුජා එන්. අයගම
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

දිවි අරුත සරු කරන ගී

සිනහවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා.....
සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා.....

පුද්ගලයාගෙන් පුද්ගලයාට මිනිසා වෙනස්ය. එම වෙනස හොඳ හෝ නරක විය හැකිය. එය එසේ වෙද්දී ඔබ කුමන ගොඩට අයත්විය හැකිද යන්න ඔබගේ හදවත ඔබට කියයි. නමුදු ඔබ අයත්විය යුත්තේ කුමන ගොඩටද යන්න සිතා බැලීමට ඔබට නොහැකි යැයි සිතිය නොහැක.
ඉහත ගීතය ලියා තිබෙන්නේ  ඕනෑම කෙනකුට ශ‍්‍රවණයෙන්ම යමක් වටහාගන්නට හැකි අයුරිනි. එහි බැරෑරුම් ලෙස කිසිවක් රචනා වී නැත. ලොකු කුඩා සැමට වරක් ඇසූ සැනින් අරුත වැටහේ.
මිනිසුන්ගේ නුගුණ රචකයා උපහාසාත්මකව යොදා ඇත්තේ අසන්නාට දනවන ලෙසය.
පද රචනය ශ‍්‍රාවකයා තුළට කාවද්දන්නේ මොහිදින් බෙග් ගායකයාය. මුල් ගායනය ඔහුගේ වුවද පියාගේ පාරේ යමින් අද ඉෂාක් බෙග් ගායකයා ද ශ‍්‍රාවකයාට එම ගීතයේ වටිනාකම ඒ අයුරින්ම ලබාදෙයි.   
ලෝකයේ පර විසක් නැත වෙන මිනිස් විස වාගේ.....
සැප විඳී පණ ගියත් පැගී
අනෙක් මිනිසාගේ..... 

වර්තමානයේ අසන්නට දකින්නට ලැබෙන මිනිස් ගති පද රචකයා තදින්ම විදහා දක්වයි. එය දෙවන, තුන්වන කොටස් වල අගට යොදා ඇති ගී ඛණ්ඩ මනාව ඔප්පු කරයි.
ඉතාම හැඟීම්බරව අසන්නාට ගායකයා පවසන්නේ මිනිස්ගති ස්වභාවයයි. එම මිනිස්ගති කොයි ආකාරයෙන් පැවතියත් දිනෙක යුක්ති ධර්මය ජයගන්නා බව ගීතයේ අවසන් පද පේලි කියාපායි. එය පද රචකයා සමාන කරන්නේ ඉරුගේ දිලිසෙන ආකාරයටයි.
‘‘යුක්ති ධර්මේ ජයගනීවී
දිලෙන ලෙස දිනිඳා.’’  

ඉදින් මෙම හැබෑව තේරුම් ගැනීම දිවි සරුකර ගැනීමට හේතුවේවි.

තනුජා එන්. අයගම
(උපුටා ගැනීම පෙබරවාරි කලාපයෙන්)

Saturday, May 12, 2012

දිවි අරුත සරු කරන ගී



අයන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
දුවන්න පනින්න නටන්න ගයන්න
එන්න මගේ නංගී

නන්දා මාලිනියන් මේ ගායනය කරන්නෙ හෘදයාංගම බවකින් දයාබර දරුවන්ට. ඇගේ සමීප හඬින් දරුවන්ට වගේම දරුවන්ගේ දෙමාපියන්ටත් කරන ආයාචනය විමසුම් කර එහි අරුත් වටහා ගැනීම වටී.
ලෝකෙටම ඇහෙන්න ‘අ’යන්න කියන්න අඬගහන්නෙ දරුවන්ට. ඇයි දරුවන්ට අඬගහන්නෙ. හෙට දිනය ලෝකය භාරගන්නෙ දරුවො නිසා ලෝකෙටම ඇහෙන්න ‘අ’ යන්න කීවට ලෝකෙම මිනිසුන් සිංහල දන්නවද? නෑ. එහෙනම් පද රචකයා ඇයි එහෙම කියන්නෙ. ගී පද රචකයා උත්සාහ කරන්නෙ නංගිලා මල්ලිලාට විශ්ව ගම්මානයෙ සැරිසරන්න අතපොත තබන්නටය.
රචකයා තවදුරටත් කියනවා පාසල කියන රත්තරන් දෙවොලෙ වැඩ ඉන්න දෙවියන් වැනි ගුරු මාපියවරුන්ගෙ සිත දිනාගෙන ශිල්ප සතර ලබාගන්න කියලා. ඇයි ඒ? මතු දවසට ලෝකය දිනන්න එහි සැරිසරන්නටයි මේ ඇරැයුම.
ඒ වගේම පද රචනයේ යෙදෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පද ගලපනවා දුවන්න පනින්න නටන්න ගයන්න නංගිලා මල්ලිලාට. එහිදී ඔහු අදහස් කරන්නෙ දැනුමට සාපේක්‍ෂව කුසලතා ද වර්ධනය කළ යුතු වගයි. අද බුද්ධිය ලබාදෙන්න දරුවන්ව හෙම්බත් කරන දෙමාපියන්ට, මෙහි අර්ථය නැවත නැවත සිතුවොත් වටී. අර්ථය වටහා ගත්තාට මදි. එය දරුවාගේ අභිවෘද්ධිය පිණිසම යෙදවිය යුතුය.
මේ ගීතය රචනා වන්නෙ 1980 දශකයේ, බලන්න එදා අද වගේ අන්තර්ජාලය ගෝලීයකරණය ගැන දැඩි කතාබහක් තිබුණු යුගයක්ද? නමුදු පද රචනයේ යෙදුන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අනාගතය දෙස බැලූ කෝණය ඉතාම සරල යෙදුම් භාවිතා කළාට ඉන් ලබාදෙන පුළුල් අදහසයි ඔබ වටහා ගත යුත්තේ.
ගීතයේ තුන්වෙනි කොටසින් තව දුරටත් කියා සිටින්නේ මිල මුදල් තිබුණට ඒවා සොර සතුරන්ට හිටි හැටියෙ සොරාගන්න පුළුවන්. හැබැයි පොතපතින් ලබාගන්න දැනුම සදාකල් පවතිනවා. අන්න ඒ නිසා නුවණ වඩන්න දයාබර නංගී මල්ලී කියලා. ඉතාම සරල වදන් භාවිත මෙම ගීතයේ ධ්වනි ගුණය හඳුනාගෙන ඔබේ දරුවාට දැනුම, කුසලතා, ආකල්ප සම සමව ලබා දෙන්න.
තනුජා එන්. අයගම
(උපුටා ගැනීම ජනවාරි කලාපයෙන්)