Saturday, June 2, 2012

වෙස්වලාගත් ආශිර්වාද


සෑම කළු වලාවකම රිදී රේඛාවක්ද, ඉඩෝරයට පසුව වැස්සද, කන්ද නැඟි පසුව පල්ලමක්ද ඇත. මේවා හුදෙක් නිකම්ම කියමන් පමණක් නොවේ.
කෙනකුගේ ජීවිත කාලය සමාන්තර රේඛාවක් සේ කිසිදින ගෙවෙන්නට නැත. එහි නැඟීම් මෙන්ම බැසීම්ද පවතී. යම් යම් දුර්භාග්‍ය සහිත කාලපරිච්ඡේදයන් පසු කරන පුද්ගලයෝ උදාවෙන අනාගතය සාර්ථකව ගත කරති.
අවාසනාව පසුපස හඹා ආ වාසනාව පිළිබඳ එක් සත්‍ය කතාවක් මෙහි සඳහන් කළ යුතුය. අවුරුදු විසිපහකට පමණ පෙර සෙල්ලකතරගමදී පස් වියැති කුඩා දැරියක් පාරේ ගිය වාහනයක ගැටිණි. මීටර් විස්සක පමණ දුර දැරිය විසි වී ගියාය.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් කලබලයට පත් දැරියගේ පියා වාහනය පදවාගෙන ආ පුද්ගලයාට තර්ජනය කරමින් පහරදීමට සැරසිණි.
‘‘කලබල වෙලා වැඩක් නැහැ. අපි දරුවා ගැන බලල ඉඳිමු. වාහනය පදවාගෙන ආ තැනැත්තාගේ ඉල්ලීම විය. වාසනාවකට මෙන් දැරියට සුළු සීරුමක් හැරුණු විට බරපතල හානියක් සිදුවී නොතිබිණි. දැරියගේ පියා වන්දියක් ලෙස යම් මුදල් ප‍්‍රමාණයක් ඉල්ලා සිටියද
‘‘නැහැ අපි දරුවා රොහලට රැගෙන යමු.’’
පසුව රෝහලේදී සිදුකළ පරීක්ෂණයෙන් දැරියට කිසිදු අවදානම් තත්වයක් නොමැති බැව් සහතික කෙරිණි. එම අවාසනාවන්ත සිදුවීම පසුපස කුඩා දැරියගේ වාසනාව රැඳී තිබූ සේය. එදා අනතුරට මුහුණ දුන් කුඩා දැරිය අද තරුණියකි. ඇයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එදා සිට අද දක්වා සියළු බරපැන දරනු ලබන්නේ වාහනය පදවාගෙන ආ මහතා විසිනි.
දැරියගේ පියා ඉල්ලා සිටි මුදල ලබා දී ඇඟ බේරාගෙන යාමට ඔහුට අවස්ථාව තිබිණි. එහෙත් මොළයෙන් දෙන පණිවුඩයට වඩා හදවතේ පණිවුඩය බලවත් විය.
මේ ලෝකය කාරුණික පුද්ගලයින්ගෙන් පිරී ඇති බැව් මම සිතමි. මෙවන් ත්‍යාගශීලින් ස්වල්ප දෙනකු පිළිබඳව මම පෞද්ගලිකව හඳුනමි. මා ඉහත සඳහන් කළ මහතා යම් දරුවකු වෙනුවෙන් උපකාරයක් කළ විට මෙසේ පවසනු ඇසීමි.
‘‘මා මේ උදව්ව ඔබ වෙනුවෙන් කරනුයේ ඔබෙන් ප‍්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන් නොවේ. නමුත් ඔබ යම් දවසක මා ඔබට උපකාරී වූවා සේ තවත් දුප්පත් ළමයකුට උපකාර කළ යුතුයි.’’
මෙවන් අයුරින් ධන පරිත්‍යාග කිරීම පිණිස ඔබ සතු වත්කම ප‍්‍රමාණවත් නොවිය හැක. එහෙත් ඉතා සුළු වශයෙන් හෝ තවත් කෙනකුට හට උපකාරී වීම ඔබට කළ හැකිවනු ඇත. ඔබේ සිනහමුසු මුවඟින් පිරිනැමෙන සුභ පැතුම තවකකු දිරි ගන්වයි. ඔබ විසින් පිරිනමනු ලබන දෙයම පෙරළා ඔබ වෙත පිරිනැමෙනු ඇත.
 
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

කාලේ තාලේ


කාව්‍යශාස්ත‍්‍රවිනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම්
ව්‍යසනේන ච මූර්ඛානාම් නිද්‍රයා කලහේන වා  


(ඥානවන්තයින්ගේ කාලය ගතවෙන්නේ නිර්මාණයෙන්, ශාස්ත‍්‍රීය කටයුත්තෙන් හා විනෝදාශ්වාදයෙන්.
හැබැයි අඥානයින්ගේ කාලය ගත වෙන්නේ විනාශයක් කිරීමෙන්, නිදා ගැනීමෙන් හා කලකෝලාහල කිරීමෙන්.)


කාලේ කියන්නේ අපි හිතාමතා ගත කරන දෙයක් නෙවෙයි. නිරායාශයෙන් ගතවෙන දෙයක්. සමහරුන්ට කාලේ මදි එක ප‍්‍රශ්නයක්. සමහරුන්ට කාලේ ගෙවන එක ප‍්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නිදිවරන්නාට? දිගයි කියලා. (දීඝා ජාගරතෝ රත්ති.) නින්ද නැති වෙලාවට? ගෙවන්න කොච්චර අමාරුද? ඒත් වැඩ ගොඩක් තියෙන වෙලාවට දවසකට පැය විසි හතරත් මදි. ඒත් ඉතිං අපට  ඕන  ඕන විදියට කාලේ වෙනස් වෙන්නේ නැහැනේ. ඒකනේ ඉතිං කාලේ තාලේ.
එක එක්කෙනා කාලේ ගත කරන විදිහ වෙනස්. මෙතනදි මේ කියන කරුණු ලෙඞ්ඩුන්ටයි අසරණයින්ටයි අදාල නෑ. එත් අදාල වෙන්නේ කාට කාට ද කියලා බලමු.
ධීමන්තයෝ (ඒ කියන්නේ රටට, ජාතියට වැඩක් කරන මිනිස්සු) කාලේ ගත කරන්නේ එක්කෝ මොනවාහරි නිර්මාණය කර කර. සමහර විට බඩුවක් මුට්ටුවක් හද හදා, සමහර විට නිෂ්පාදනයක් කරමින්, සමහර විට නව නිපැයුමක් කරමින්, සමහර විට නිෂ්පාදනයක් දියුණු කරමින්. ඒ කොයිකෙන් වුණත් රටට නරකක් නෙවෙයි වෙන්නේ. එහෙමත් නැතිනම් ධීමන්තයෝ කාලය ගත කරන්නේ ශාස්ත‍්‍රීය කටයුත්තක් කරමින්. පොතක පතක වැඩක් කරමින්. ඒකත් වටිනා ව්‍යායාමයක්. එහෙමත් නැතිනම් ධීමන්තයන්ගේ කාලේ ගතවෙන්නේ යහපත් විනෝදයෙන්. කිසියම් රසාශ්වාදයක් ලබමින්. මේ යහපත් ව කාලය ගත කරන විධි කිහිපයක් පමණයි.
දැන් බලමු නිෂ්ප‍්‍රයෝජන ව කාලේ ගතවන විධි ගැන. අඥානයින්ගේ කාලේ ගතවන විධි ගැන. අඥානයිනගේ කාලේ ගත වෙන්නේ ව්‍යසන, නිද්‍රා, කලහ යන ක‍්‍රම තුනෙන්. විනාශයක් කරමින්, එහෙමත් නැතිනම් නිදාගනිමින්, එහෙමත් නැතිනම් කලකෝලාහල අඩ දබර කරමින්. මේ තුනෙන්ම රටටවත් සමාජයටවත් ඒක කරන අයටවත් හොඳක් වෙන්නේ නැ. වෙන තරමක් වෙන්නේ නරක ම තමා.

පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. 
සංස්කෘත අධ්‍යයන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

බක්මහ උළෙලේ බොදු මුහුණුවර


සෑම සමාජයකම පාහේ නොයෙක් අවස්ථා සැමරීම් වස් උත්සව පවත්වනු ලැබේ. අප රටෙහිද එබඳු උත්සව ගණනාවකි. සිංහල හින්දු අලූත් අවුරුදු උලෙළ ඉන් ප‍්‍රමුඛ උත්සවයකි. සිිංහල යනු ජනවර්ගයක්, ජාතියක් වන අතර හින්දු යනුවෙන් අප හඳුනන්නේ ’’ආගමකි’’. අවුරුදු ගැන කියන කළ ඇතැම් ලිපි ලේඛනවල හින්දු අදහස අත්හැර සිංහල අවුරුද්ද යනුවෙන් පමණක් වහරනු ලැබේ. ‘‘අවුර් + ඉද්ද’’ යනු සූර්යයා භූමියට ඍජුව සිටින අවස්ථාව නිසා මේ නම ලැබිණැයි අරිසෙන් අහුබුදු මහතා දක්වයි. කාමෝත්ස්ව, සූර්ය උලෙළ පෙර පැවතිය ද වර්තමානයේ එබඳු දෑ නොපැවැත්වේ. දඩ යාත‍්‍රා, දඩ කෙළි යනුවෙන් පැවැත්වුණු වසන්ත උත්සව බුදු දහම මෙරට පැමිණියායින් පසු බෞද්ධ මුහුණුවරක් ගෙන හිංසා පීඩාකාරී මදනෝත්සව වැනි දෑ ලක් බිමෙන් තුරන් වී ගියා යැයි අනුමාන කළ හැකිය.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණ නව ගමනක් යෑමට පටන් ගැනීම අලුත් අවුරුදු උදාවයි. සූර්යයා වටා ඇති ග‍්‍රහ වස්තූන් ගමන් කරනු ලැබේ. එහෙත් අප පුරුදු වී සිටින්නේ සූර්යයා ගමන් කරන බව පැවසීමටයි. සිංහල මාස ක‍්‍රමයට අනුව මෙය සිදු වන්නේ බක් මාසයේදීය. සියවසකට පමණ ඉහත දී මැදින් මස අවුරුදු උදා වූ බව කියැවේ. ‘‘අපේ‍්‍රල්’’ යනු ‘‘විවෘත වීම’’ යන්නය. මහ පොළව සොබා දහම විවෘත වීම යනුවෙන් අදහස් කැරේ. ගස් කොළන් මලින් පලින් බර වූ අස්වනු නෙළා ගෙට ගත් වාසනාවන්ත කාලයකි, බක් මාසය.
ණය බරින් නිදහස් වීම, නිවෙස් පිරිසිදු කිරීම, ගොම මැටි ගෑම, හුණු පිරියම් කිරීම, ආහාර පාන වර්ග කැවිලි පෙවිලි සකස් කිරීම සහ අලුත් ඇඳුම් සකසා ගැනීම අවුරුද්ද එන විට කරනු ලබන කටයුතු ය. පරණ අවුරුද්ද සඳහා සඳ බැලීම සිදු කෙරේ. බදාදා වැනි සුභ දිනක නව සඳ දැකීම සිදු කොට ඇත. සියලූ දුකඳුරු තුනී කොට සෞභාග්‍යය උදා කිරීම එහි එක් අදහසකි. මෙය හින්දු සිරිතකි. පරණ අවුරුද්දට නෑමද ඊළඟට සිදු වේ. සිත කය පිරිසිදු කර ගැනීමෙන් තම තමන් වෙතින් අනිත් අයට සිදු වූ වැරදිවලට සමාව ඉල්ලනු ඇත. කණගාටුව ප‍්‍රකාශ කිරීම සහ නෑ හිත මිතුරන් බැහැදැකීම ද සිදු කෙරේ.
පළාත් හා පෙදෙස්බදව වෙනස්කම් පැවතිය ද සුභ නැකතට අලූත් අවුරුදු සිරිත් විරිත් ඉටු කිරීම වැදගත් බව පොදුවේ පිළිගනිති. මේ වටිනාකම් සහ ධර්මතා නැවත මතක් කොට ඉටු කිරීමකි. ගමේ නගරයේ විහාරගෙයි ඝණ්ඨාව නැකතට නාද කෙරේ. ගම සහ පන්සල අතර මනා සම්බන්ධයක් පැවතුණි. ඇතැම් මිනිස්සු අවුරුද්ද ලැබීමට පෙර ගමේ විහාරයට ගොස් වියළි ආහාර, කල් තබා ගත හැකි ආහාර දැකුම් කදක් ලබා දෙයි. පුණ්‍ය කාලය අවසානයේ ලිප් බැඳීම, ගිනි මෙළවීම. කිරිබත් පිසීමට කාලය එළැඹේ.
ඇතැම් තැන්වල කිරි උතුරුවා සශ‍්‍රීකත්වය, සෞභාග්‍යය අපේක්‍ෂා කෙරේ. තම නිවස අගහිඟකමින් තොරව ලෙඩ දුක් නැතිව පවත්වා ගැනීම ප‍්‍රාර්ථනා කෙරේ. අවුරුදු ගනුදෙනුව ගුණ යහපත් වත් පොහොසත්කම් ඇති කෙනකු සමඟ ඉටු කෙරේ. පෙර ගම්වල පැවති සිරිතක් නම් ළිඳ සමඟ ගනු දෙනු කිරීමයි. ගොවියකු නම් උදැල්ලෙන් බිම් කොටා වැඩ අල්ලනු ඇත. කිරි ගහකට කෙටීම, කිරි ගහක් සිටුවීම, කුඩා දරුවන්ට අත් පොත් කියැවීම ද සිදු කරනු ලැබේ. අලූත් ඇඳුම් පැළඳුම් ලබා දීම, බුලත් හුරුළු දී වැඩිහිටියන් නැමදීම නොයෙක් ගෘහස්ථ සහ එළිමහන් ක‍්‍රීඩාවල යෙදීම සිදු කෙරේ. සෑම කටයුත්තකදීම බුදුන්, දහම්, සඟුන් පෙරටුව සිදු කැරෙයි. පන්සිල් ගැනීම, ගාථා, පිරිත් සජ්ඣායනය, මෛත‍්‍රී කරුණාවෙන් ක‍්‍රියා කිරීම අපේක්‍ෂිතය. සුරා පානයෙන් වැළකී බෞද්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර ක‍්‍රම අනුව රංඩු සරුවල් නොවී සතුටින් සැහැල්ලූවෙන්, විනෝදයෙන් ධාර්මිකව ජීවත් වීමට අදිටන් කර ගනිති. මෙහිදී සාමූහිකව ජීවත්වීමට අදිටන් කර ගනිති. එනම් සාමූහිකත්වය අගය කැරෙයි. පන්සල සමඟ පවතින ළඟ සම්බන්ධකම් අනුව දැහැමෙන් සෙමෙන් ජීවත් වීමේ වැදගත්කම මෙහිදී තව දුරටත් අවධාරණය කැරෙයි. පූජ්‍ය බද්දේගම විමලවංශ හිමියෝ අපේ සංස්කෘතිය නම් ග‍්‍රන්ථයේ මේ ගැන විස්තර ලියා තැබූහ. පුරාණයේ නැකැත් ලියා අවුරුදු සීට්ටුව සකසා ගමට දෙනු ලැබේ.
දහමහ දෝසය අස්කිරීම, කුණු ටිකිරට බත් දීම යනුවෙන් කියැවෙන්නේ කිළි කුණු ඉවත් කොට පිරිසුදු වීම වැදගත් කටයුත්තක් බවයි. මහාචාර්ය දයා අමරසේකර, ඒ.කේ.ජී. ජයසිංහ හා ඒ. හේමන්ත කුමාර වැනි සමාජ විද්‍යාඥයෝ මේ ගැන ලිපි සැකසූහ. මාර්ටින් වික‍්‍රමසිංහ, මුණිදාස කුමාරතුංග ආචාර්ය නන්දදේව විජේසේකර, මහාචාර්ය විනී විතාරණ වැනි වියත්හු අවුරුදු සිරිත් විරිත් ගැනත් එහි ඇති බෞද්ධාගමික මුහුණුවරත් දක්වාලූහ. අවුරුදු උදාවේදී ඊට මුහුණ දිය යුත්තේ සිහි එළැඹ ගෙනය. ප‍්‍රමාද දෝස සිදු නොවිය යුතුය. අතපසුවීම්වලට ඉඩ නැත. හිතේ මෛත‍්‍රිය, කරුණාව සමඟ එකමුතුව සමඟියෙන් සහයෝගයෙන් සහජීවනයෙන් සාමූහිකව ක‍්‍රියා කිරීමෙන් එලොව මෙලොව යහපත් සරු ප‍්‍රතිඵල උදා කර ගත හැකිය. ගත පමණක් පිරිසිදු කොට කෙළෙස් නිවා ලියා නොහැකි බව බමුණන්ට, නිගණ්ඨයින්ට බුදුපියාණෝ දේශනා කළහ. එහෙත් සිරුර පවිත‍්‍රව තබා ගැනීමේ වැදගත් සෞඛ්‍යමය ක‍්‍රියාකලාපය බුදු රජහු දේශනා කළහ. ස්නානය සඳහා ඖෂධීය ගුණයෙන් නානු සකසා ගැනීම විහාරයෙන් සිදු කැරෙයි. නානු හිස ගැල්වීම භික්‍ෂූන් වහන්සේ නමක් වෙතින් සිදු වේ. නැතිනම් වෙදරාළ ඉටු කරන සිරිතකි. නානු ගා නා පිරිසුදුව සිත කය යහපත්ව පවත්වා ගැනීම සංවර්ධනය යන නූතන සංකල්පය තුළ පවා පිළිගන්නා අදහසකි.

ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

දිවි අරුත සරු කරන ගී


පොඩි දුවගේ සිනාවැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
පි‍්‍රය බිරිඳගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි

සෝමතිලක ජයමහ ගායන ශිල්පියාගේ හඬින් ශ‍්‍රවණය වන මෙම ගේ පද රචනාව අපේ සිතට චමත්කාරය ජනක හැඟුම් ගෙනෙයි. ‘‘මගේ නිවන මගේ පැල්පතයි’’ යන සංකල්පනාව හදවතට ජනිත කරවන්නේ ගැඹුරු අරුතකි. දූ පුතුන්ගේ සිනා, කතා මැද බිරියගේ සෙනෙහෙවන්තකම ලබන සැමියකුට කුටුම්භය තුළ දැනෙන සතුටෙ ප‍්‍රමාණය ගේ පද රචකයා කෙතරම් ඉහළ ගෙන ගොස් තිබේද යත් එය උපමා කර ඇත්තේ නිවනටයි. පළමු පද හතර පබැඳීමෙන්ම කුටුම්භ දිවියේ නියම විඳුම විදහාලයි.
නිවසෙ බාහිර අලංකරණය, වටපිටාව පිළිබඳ අංශු මාත‍්‍රයක තරමටවත් නොදැනෙන්නේ ගෘහපතියාට බිරිඳ සහ දරුවන්ගේ ස්නේහය ඒ බාහිර අලංකාරයන් යටපත් කරගෙන ලැබෙන නිසාම නොවේද?
කටු මැටි ගෑ බිත්තිපුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පිය විලිගුණ තුරුණු වගේ

දුක් පීඩා කෙතරම් තිබුණද පුංචි පැලේ මං ලබන්නෙ, පුදුමාකාර සුවයක්. ඉතා කෙටි සරල යෙදුම් ගෙනහැර පාමින් පද රචනාවේ යෙදෙන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ මෙම සංකල්පනාවෙන් අපට සිතන්නට තවත් යමක් ඉතිරි කර තිබේ. අන්න ඒ දේ වටහා ගැනීමට හැකිනම් පද රචකයාගේ නිර්මාණයේ ඵල ලබන්න හැකිවේවි.
ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුංචි පැලේ
අඹු දරුවන් අතර තුරේ
මට නිමි නැති සුවය දැනේ

ඉඩකඩම් ගේ දොර දේපල සොර සතුරන්ගෙන් ආරක්‍ෂා කිරීමේ අවදානමක් මොහුට නැත. ජීවිත තර්ජන බලාපොරොත්තු විය නොහැකිය. නමුත් ඔහු සතු වටිනාම සම්පතක් ඇත. එය කිසිවකුට මිල මුදලට, තර්ජනය කිරීමෙන් ලබාගත නොහැකි අමිල  සම්පතකි. ඒ ඔහු නිවනට ආදේශ කරන ඔහු පවුලේ සහයෝගීතාවයයි. මෙම ගීතයේ අර්ථ රසය බණක් ශ‍්‍රවණය කළාක් බඳුය. මේ කියාපාන්නේ සතුටින් ජීවත්වීමට සරල දිවිය සුදුසු බව නොවේද?

තනුජා එන්. අයගම
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

පුනරුත්පත්තිය හෙවත් නැවත ඉපදීම පිළිබඳව තවදුරටත්


අපේ මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද? ‘‘මැයෙන් අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පැවැත්වූ දේශනය ඇසුරෙන් පුනරුත්පත්තිය හෙවත් නැවත ඉපදීම පිළිබඳ උන්වහන්සේ දක්වන අදහස් කිහිපයක් පසුගිය ලිපියෙන් ඉදිරිපත් කළෙමු.
භවයෙන් භවයේ යන අඛණ්ඩ ගමන
ජීවිතය අඛණ්ඩ ගමනක් බවත්, ඔබ රාත‍්‍රියේදී නින්දට ගොස් පසුදා අවදි වෙන්නාසේ මෙම ජීවිතය මරණයෙන් කෙළවර වී තවත් ජීවිතයක් ආරම්භ වන බවත් පවසන උන්වහන්සේ හදිසි මරණ නොව වියපත්වීම් නිසා සිදුවන මරණ සිදුවෙන්නේ පංච ඉන්ද්‍රීයයන් එක එක ශරීරයෙන් වෙන්වීමෙන් සිදුවන ක‍්‍රියාවලියක් ලෙස බව දක්වයි.
මරණයට පත්වීමේදී ශරීරය අප අත්හැරයාමට, අපෙන් අතුරුදහන් වෙන්නට පටන්ගත්තාම සිදුවෙන්නේත් හරිම සුන්දර විදිහේ පහසුකමක්, නිදහසක්, සැනසිල්ලක්. එහෙම වුණාම යම් යම් දේවල් දැකීමේ, ඇසීමේ, රස විඳීමේ, ගඳ සුවඳ දැනීමේ, පහස ලැබීමේ රාජකාරිවලින් ඔබට නිදහස් වෙන්න ලැබෙනවා, අත්විඳින්න හැකිවෙනවා යැයිද උන්වහන්සේ පවසයි.
ශරීරයෙන් අවසාන වශයෙන් තුරන් වෙන්නෙ ඇසීමයි.
ඔබ භාවනා කිරීමේදී එක්කෝ ගැඹුරට, ඒත් නැත්නම් ඒ තරම් ගැඹුරු නොවෙන විදිහට භාවනා කිරීමේදී ඔබට කරදරයක් වෙන අවහිරයක් වෙන එක් දෙයක් නම් ශබ්දය විත්තිය ඔබ වැඩි දෙනෙක් දන්නා කාරණයක්. කාමරයෙන් පිටත බබෙක් හඬන සද්දෙට කෙනෙක් කහින විට ඒ හින්දා නැගෙන කැස්සේ සද්දය ඔබට හිරිහැරයක්, අවහිරයක් වෙනවා. මෙහෙම වෙන්නේ මක්නිසාද කියන්න ඔබ දන්නවා. ඔබ උදේම අවදි කරන්න එලාම් ඔරලෝසුවක් පාවිච්චි කරන්නේ මේ නිසයි. බුදුරජාණන් වහන්සේ පවා, උන්වහන්සේගේ ඉගැන්වීම්වලදී දක්වා ඇත්තේ පස් ඉඳුරන්ගෙන් අවසාන වශයෙන් අතුරුදහන් වෙන්නේ, නිමක් දකින්නේ, ශබ්දය කියන කාරණාවයි. ඒ නිසා ඔබ මරණයට පත්වෙමින් සිටින විට ඔබෙන් අවසාන වශයෙන් අතුරුදහන් වෙන්නේ ශබ්දයයි. භාවනාවේ නියැලී සිටින තැනැත්තකු භාවනාවෙන් අවදි කරන්නේත්, මේ ඉන්ද්‍රිය අවදිකිරීමේදී ඔබේ ඇසීම අවදි කිරීමෙනුයි. ටික දවසකට පෙර, උතුරු පර්ත්වලදී පැවැත්වූ භාවනා වැඩ සටහනකට සහභාගිවූ කෙනෙක් භාවනා වැඩ සටහන නිමකළ පසුත් ගැඹුරු භාවනාවේම නියැලී සිටියා. සමහරවිට ඔහු එතන සිටිද්දී අප එතනින් යන්න ඉඩ තිබුණා. ඒත් එතැන පිරිසිදු කරන්න ගිය මා ඔහු දැක, දැන් ඉතින් යන්න වේලාව හරි බව පෙනුණත්, ඔහු තවමත් භාවනාවේම නියැලී බිම වාඩිවී සිටියා. ඔහු ගැඹුරු භාවනාවෙන් ඉවතට ගැනීම මගේ වගකීමක් වුණා. ඔහුගේ සිරුරෙන් අල්වා හොල්ලනවා වෙනුවට කනට කිට්ටු කර කතාකර, මම ඔහු අවදි කළා. පස් ඉඳුරන්ගෙන් අන්තිමට අතුරුදහන් වෙන්නේ ශබ්දයයි.
මරණාසන්නවූවකු සමග සිටින විට
මෙය තේරුම් ගත්තාම මරණයට පත්වීමේ ක‍්‍රියාවලියේදී කෙනකු මරණාසන්න මූර්ජාවට වැටී සිටින බවත් ඔහුගේ අවසානය ලංවී ඇති බවත් දැනගත්විට, මියයමින් සිටින තැනැත්තාට ඔබ කතා කරන දේවල් බොහෝ විට ඇසෙන්න ඉඩ තිබෙනවා. සෙලවීම ස්පර්ශ කිරීමට වඩා අවසාන වශයෙන් ශරීරයේ අතුරුදහන් වෙන්නේ ඇසීමයි. භාවනාවේ ගැඹුරට යනවිට ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, රස විඳීම, පහස විඳීම ආදි පස් ඉඳුරන් කෙමෙන් කෙමෙන් ඔබෙන් අතුරුදහන් වෙන බවත්, ඒ සමග ඔබට පුදුමාකාර පහසුවක්, නිදහසක් සිතේ සැනසීමක් දැනෙන බවත් භාවනාවේ නිරතවන ඔබ බොහෝ දෙනා දන්නා කාරණාවක්. පස් ඉඳුරන් අතුරුදහන් වෙත්ම ශරීරයේ වේදනා, රුදාවල්, අපහසුකම්වලින් අත්මිදෙන්න පුළුවන්කම ඔබට අත්විඳින්න ලැබෙනවා. අසනීප වී මරණයට පත්වීමේදී සිදුවෙන්නේ මෙයයි. වාසනාවකට වගේ දැන් නව වෛද්‍ය ක‍්‍රම අනුව මේ සඳහා මොෆීන් වැනි සිහි නැතිකරන බෙහෙත් සොයාගෙන තිබෙනවා. සමහර බෞද්ධයන් මරණාසන්න මොහොතට එළඹුනාම ඇතිවෙන දුක් වේදනාවන්ගෙන් මිදෙන්න කළ යුත්තේ කුමක්ද කියා මගෙන් අසනවා. මරණය පිළිබඳ ක‍්‍රියාවලිය පිළිබඳව සිත් කරදරකර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෝෆීන් වැනි සිහිනැතිකරන වේදනා සමනයක් භාවිතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.
මගේ මව පිළිබඳ අත්දැකීමක්
ඒ මක්නිසාද කිව්වොත්, මරණය පිළිබඳ ක‍්‍රියාවලියේදී, ඔබේ මනස, හයවන ඉන්ද්‍රිය, ක‍්‍රියාකාරී වෙන්නේ මොළයේ ක‍්‍රියාකාරිත්වය නතර වුණාම, තවත් විදියකින් කිව්වොත් ඔබ මොළයෙන් නිදහස් වුණාම, ඇත්තටම සිදුවෙන්නේ අන්තිම මිනිත්තුවේදී සමහර විට වැඩිපුර, නැත්නම් සමහරවිට අඩුවෙන් ඔබට පැහැදිලිකමක් නැත්නම් නිර්මලබවක් අත්විඳින්න ලැබෙනවා. මගේ අම්මාගේ අවසාන කාලයේ මා මෙය අත්දුටුවා. ඇය බොහෝ වියපත්වී සිටියදී මා ඇය බලන්නට ගිය අවස්ථාවේදී ඇයට කොහොමටවත් මා හඳුනාගන්න බැරිවුණා. මා කවුරුන්දැයි ඇය හඳුනාගත්තේ නැහැ. මා ඇය සමග කතාබහ කරමින් සිටියා. ඒත් ඇය මා කවුරුන්දැයි දැනගෙන සිටියේ නැහැ. පුදුමාකාර දෙයක් නම්, ඇය සමඟ ගතකළ පැය දෙකක් පමණ කාලයේදී ඇය Monastry (වන අරම, ආරන්නිය) නම් වචනය පමණක් භාවිතා කළා.
මේ කියන්නේ මොනවාදැයි මගේ සහෝදරයාට තේරුම් ගන්න පුළුවන් වුණා. මගේ මව එවේලේ කතාබහ කළ දේවල්වලට මේ පන්සල නැත්නම් ආරාන්නිය කිව් වචනය කොහොමටවත් ගැලපුණේ නැහැ. නමුත් මේ පැමිණි සිටින තැනැත්තා සහ ‘පන්සල’ අතර සම්බන්ධයක් තිබුණු බව ඇයට අවසාන අවස්ථාවේ පැහැදිලි වුණා. මේ වගේ අසනීපවලට ගොදුරු වී, මරණයට ආසන්නවූවන්ට ඔවුන්ගේ අවසාන අවස්්ථාවේදී යටපත්වූ මතකයන් අවදි වූ අවස්ථා බොහෝමයි. ඔවුන්ගේ මතකයන් අවදිවෙනවා. ඔවුන්ට මෙතෙක් අමතකව තිබූ දේවල් පැහැදිලි වෙනවා. නිරවුල් වෙනවා. හේතුව තමයි මනස. බොහෝ කාලයක් මනස පාවිච්චි කිරීමට මොළය උදව් වුවත්, මොළය පාවිච්චි නොකර මනස පාවිච්චි කිරීමට හැකිවෙනවා. ජීවිතයේ අවසාන අවස්ථාවේදී මේ විදිහට මොළය මැරුණත් මනස සිරුරෙන් වෙන් වී ක‍්‍රියාකාරී වෙනවා.
අවසාන හුස්ම අදින මොහොතේ අවදිවී අවට බැලීම
දැන් මම මේ පන්සලට එන කෙනකු, සිය පියාගේ අවසාන මොහොත ගැන මට පැවසූ අත්දැකීමකික් ඔබට කියන්නම්. මේ කතාව කියූ තැනැත්තී සමහරවිට අදත් මෙතෙන ඉන්න ඉඩ තිබෙනවා. ඇය පර්ත්වල වාසය කරන කෙනෙක්. ඇගේ පියාගේ මරණාසන්න මොහොතේදී ඇයත්, ඇයගේ සහෝදරියක් ඇඳ දෙපසට වී සිටියා. මරණාසන්නව සිටි පියා සිහිසන් නැතිව සිටි අතර, ඔවුන් ඔහුගේ මරණය සිදුවෙනතුරු දෙපසට වී බලා සිටියා. අන්තිම හුස්ම හෙලමින් සිටි මොහොතේ එක් සහෝදරියක් ඇගේ පියාගේ අත අල්ලාගෙන සිටියා. මරණය කොයි මොහොතේදී සිදුවෙනවාදැයි ඔවුන් දැන සිටියේ නැහැ. මම ද මේ විදිහට මරණාසන්න සිටින ඇත්තන්ගේ අවසාන හුස්ම අදිනවා බලාගෙන සිටි අවස්ථා එමටයි. අවසාන මොහොතේ මේ කියන තැනැත්තා පිළිබඳ අමුතු යමක් සිදුවුණා. ඔහු අන්තිම හුස්ම හෙලීම නවතා, ඇස් දෙක හැර බැලුවා. ඉන්පසුව ඇඳ දෙපස සිටි සිය දූවරුන් දිහා  ඕනෑකමින් බැලූවා. මේ මොහොතේ කල්තියා කිසිම සූදානමක් නැතුව, එවේලේ ඇතිවූ සිතේ හැඟීම් නිසා මේ දූවරුන් දෙදෙනා ‘‘තාත්තේ, අපි ඔයාට ආදරෙයි’’ කියා කිව්වා. ඉන්පසු ඔහු ඇස්දෙක පියාගත්තා. ඔහු මියගියා. මේ සිදුවූ දේ ගැන පුදුම හිතෙන්න පුළුවන්. මිය ගිය තැනැත්තා හුඟාක් වෙලාවක් මරණාසන්නව සිහිසන්ව නැතිව සිටියා. අවසාන මොහොතේ ඔහු ඇස් හැර බැලුවා. දූවරුන් දෙදෙනාට අවසාන වචනය කියන්න ඉඩ ලැබුණා.
ශරීරයෙන් වෙන්වී සිටිමින් මනසට සිතීම හා වෙනත් ක‍්‍රියාකාරකම් ඉටුකිරීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම මනසට මොළයෙන් බැහැර වී ස්වාභාවිකව ක‍්‍රියාකාරි වෙන්නට පුළුවන් හැකියාවක් තිබෙනවා. ඔබේ මරණාසන්න මොහොතේ සිදුවෙන්නේ මෙන්න මේකයි. ඔබේ මනස නැත්නම් ඔබේ සිත, මොළයෙන් නිදහස් වී ක‍්‍රියාකාරී වීමයි. එවිට අවසාන මොහොතේ සියල්ල නිරවුල් වෙනවා.
මේ පිළිබඳ නොයෙකුත් සාක්ෂි පදනම් කරගත් සිද්ධි වාර්තා වී ඇති අතර, එවැනි වාර්තාවලින් ඔබේ ජීවිතයේ අවසාන මොහොතේ මනස ක‍්‍රියාකාරී වෙන්නේ කෙසේද යන්න අපට පැහැදිලි වෙනවා. මගේ මවගේ අවසාන මොහොත, මා අත්දුටු නිසා, මරණාසන්න වූ තැනැත්තකු සිය අවසාන මොහොතේ කිසියම් නිරවුල්තාවයකට තවත් විදියකට කිව්වොත් නිර්මලතාවයකට පත්වෙන හැටි මා දැක්කා.
මරණාසන්නවූවන්ගේ අත්දැකීම් (Nearly Death Experience)
හදිසි අනතුරුවලින් ක්‍ෂණිකව මියගිය තැනැත්තන් මරණයට පත්වීමෙන් පසු මනස ශරීරයෙන් වෙන්වී ගොස් සිදුවෙන දේවල් නිරීක්ෂණය කරමින් සිටීම පිළිබඳව අප‍්‍රමාණ සාක්ෂි තිබෙනවා. සිය මරණාසන්න අත්දැකීම් ඉංග‍්‍රීසියෙන් සඳහන් කරන විදිහට භැ්රකහ ෘැ්එය ෑංචැරසැබජැ  ගැන සඳහන් කරන බොහෝ දෙනෙක් මේ සමාන අත්දැකීම් අනාවරණය කර තිබෙනවා. මරණයට පත්වීමෙන් පසුව ශරීරයෙන් වෙන්වී ගොස්, ශරීරයක් නැතුව ඇසීම හා මනස හා දැකීම අත්විඳින්නට පුළුවන් වූ තැනැත්තන් විසින් සිය මරණාසන්න අත්දැකීම් සම්බන්ධව පසුව කළ ප‍්‍රකාශවලින් මේ බව සනාථ වෙනවා. තමන්ට ශරීරයක් නැතත්, තමන්ගේ මළ සිරුර මේසයක් මත නැත්නම් මොටර් රථයක බාවා තිබියදී සිදුවෙන දේවල් දැකගන්නට, අසන්නට පුළුවන් ව වූ බව මේ අය පවසනවා. මේ අය තාවකාලික මරණයට පත්වී, පසුව ප‍්‍රාණය ලැබ, ජීවත්වීමේ වාසනාව ලැබුවාට පසු, තාවකාලික මරණය සිදුවූ කාලපරිච්ඡේදය පිළිබඳ තමන් අත්දුටු දේවල් විස්තර කර තිබෙනවා. මේ ඇත්තෝ බෞද්ධයන්ම නොවෙයි. ලෝකයේ නන්දෙස ජීවත් වන විවිධ සංස්කෘතිවලට අයත් ඇත්තන්වීම විශේෂ කාරණයක්.
මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බලන්නට කැමැති කෙනෙක් ඇත්නම් මහාචාර්ය පිම් වැන් ලෝමල්ගේ (Pim Van Lommel)  වෙබ් අඩවියට පිවිසෙන්න. මේ මහාචාර්යවරයා ඕලන්දයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු විසින් මරණාසන්න වූවන්ගේ අත්දැකීම් අලලා කළ පර්යේෂණවලින් අනාවරණය වූ සිද්ධි රාශියක් තිබෙනවා. කිසියම් හේතුවක් නිසා මරණයට පත් වී සිරුර මේසයක් මත හෝ වෙනයම් දෙයක් මත බාවා තිබියදී මනස සිරුරෙන් වෙන්ව ඉහළට පාවී ගොස් තමන්ගේ අත්හැර දමා ආ සිරුර දකිමින්, සිදුවෙන දේවල්වලට ඇහුන්කන්දෙමින් සිටි තැනැත්තන්ගේ අත්දැකීම් මේ කතාවලින් අනාවරණය වෙනවා.

බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.

සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

Friday, June 1, 2012

මෙන්න නියම නෑයෝ


‘‘සත්‍යං මාතා පිතා ඥානං
ධර්මෝ භූතා දයා සඛා
ශාන්තිඃ පත්නී ක්‍ෂමා පුත‍්‍රඃ
ෂඬේතේ මම බාන්ධවාඃ’’


(මව සත්‍යයයි. පියා ඥානයයි. දැහැමි බව සහෝදරයායි. දයාව මිතුරායි. ශාන්තිය භාර්යාවයි. ඉවසීම පුත‍්‍රයායි.
මේ මාගේ හැබෑ නෑයෝය.)


අපට නෑදෑයෝ ඉන්නවා. ඒත් ඒ හැම නෑදෑයෙක් ම ඇත්ත ම නෑදෑයෙක්ද කියලා දැනගන්න එක වටිනවා නේද? සමහරු නම් කියන්නේ  ඕනම දේකට නෑ කියන කෙනා නෑයා කියලා. බුදු හාමුදුරුවෝ නෑයා නිර්වචනය කලේ ඉතාම ගැඹුරු විදිහට.
‘‘විශ්වාසා පරමා ඥාති’’ යනු ඒ බුදු වදනයි. විශ්වාසය උතුම්ම නෑයයි යනු එහි තේරුමයි. සාමාන්‍යයෙන් අපි නෑකම් මනින්නේ ඇෙඟන් නැත්නම් ලේ පරම්රාවෙන්. ඒ කියන්නේ තාත්තා වෙන්නේ ඇෙඟන්. දුව පුතා වෙන්නෙත් ඇෙඟන්. සහෝදරකම් එන්නෙත් ඇෙඟන්. මෙකී ලේ සම්බන්ධකම නැතිනම් ශාරීරික පරම්පරාවට බුදු හාමුදුරුවෝ නෑදෑකම කියලා කිව්වේ නෑ. ඒක හුදෙක් කායික පරම්පරාවක් පමණයි. බුදු හාමුදුරුවෝ නෑදෑකම කිව්වේ විශ්වාසවන්ත කමටයි. ශාරීරික පරම්පරාවේ විශ්වාසවන්තයින් ඉන්න පුළුවන්. ඒත් එහෙමවත් හිතවත්කමක් නැති අය ඉන්න පුළුවන්. තමන්ට ලෙන්ගතු, දයාබර, ආදරය තියෙන ලේ පරම්පරාවට අයිති නැති අයත් නෑයෝ තමයි. ඇත්තට ම කියනවා නම් ඒ අය තමයි නෑයෝ. එහෙම නැතිව එක කුසේ ඉපදුන පලියට ම සියල්ලන් හිතවතුන් වෙනවාද?
සත්‍ය්‍ය තමයි අපේ අම්මා. තාත්තා ඥානයයි. ඥානවන්ත කමයි සත්‍ය තාවයයි. අම්මායි තාත්තයි වගේ වෙන්න පුළුවන් නම් මිනිහෙකුට කොයි තරම් වටිනවද?
නැණවත්කම පියකම තරම් වටින බව නේද ඉන් කියැවෙන්නේ. දැහැමි බවටයි සහෝදරකම කියන්නේ. නැතිනම් තමන්ට පෙර හෝ පසු මව් කුසේ උපන් පමණට නෙවෙයි සහෝදරකම කියන්නේ. මිතුරුකම කියන්නේ දයාවන්ත කමටයි, හිතෛෂීවන්ත කමටයි. නැතිනම් වාසියක් බලාගෙන ලඟින් ආශ‍්‍රය කරන එකට නෙමෙයි. භාර්යාව ශාන්ති. ඒ කියන්නේ භාර්යාවගේ නම ශාන්ති කියන එකට නෙවෙයි. ශාන්ති කියන්නේ ආශිර්වාදයයි. ඇඟට විතරක් බිරිය වෙන, ආශිර්වාද නොකරන කාන්තාව හැබෑ භාර්යාවක් නොවෙයි. ස්වාමි පුරුෂයෙක් වෙන්නෙත් ඇඟට නෙවෙයි. හැබෑ ස්වාමි පුරුෂයෙක් භාර්යාවට නුග සෙවණක් සේ සෙවණ සදනවා. මද පවනක් සේ සිසිල සදනවා. මෘදු කුසුමක් සේ සුවඳ පුදනවා. ඉවසීම දරුවෝ වගේ ඒ බව නම් අම්මලාට අප්පච්චිලාට හොඳට තේරෙනවා ඇති. හැබෑ නෑදෑකම හොයන් යන්ට මේ කරුණු ටික මිනුම් දඬු වෙයි.
 
පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. 
සංස්කෘත අධ්‍යයන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

දිවි අරුත සරු කරන ගී


සඳක් සදිසි ළඳක් කොහෙද
ලැසි ගමනින් යන
අසන්නට සිතයි ඔබගෙන්
වත ගොත යන තැන

ලාලිත්‍යයෙන් පිරි සුන්දර යුවතියක් අතරමගදී හමුවූ තරුණයෙක් ඇගෙන් ඇසූ ප‍්‍රශ්නයකි මේ.
ගියොත් කෙනකු යළිත් නොඑන
තැන ඇති කුඹුරක
පියා සී සායි මම බත
ගෙනයමි හනිකට

ඇගේ පිළිතුර ඇය, ඔහුට පැනයක් විසඳීමෙන් ලබා ගැනුමට සලසාලයි.
සොහොන් බිම අසල කුඹුරක
වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙනයන ඔබ
කියන් කවුද කියා.

තරුණයා ඉතා ඉක්මනින් පිළිතුර සොයාගනී. සැනින් දෙවන ප‍්‍රශ්නය ඇයට ඉදිරිපත් කරයි.
පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි
නොමැරෙන යම් කෙනෙක් වේද ඒ නම මට හිමි

දෙවනවරටද ඇය පිළිතුරු සපයන්නේ පැනයක් විසඳීමෙන් ලබා ගැනුමටය.
අමරා දේවි ඔබ අමරාදේවි
තරුණයා බුද්ධිමත්ය. ඇගේ නම පමණක් නොව ඇගේ නුවණ ද ඔහු තේරුම් ගනී. පසුකලෙක ඔහු සරණ පාවා ගන්නේද ඇයයි.
ගීතයෙන් විදහාලන්නේ උම්මග්ග ජාතක කතා වස්තුවේ මහෝෂධ කුමරු සහ අමරා කුමරිය ප‍්‍රථම හමුවීමේදී සිදුවන කතාන්දරයයි.
එම කතාවේ ඔවුන් දෙපලගේ පැන-විසඳුම් අවස්ථාව ස්වර්ණදාස හේරත් ගී පද රචකයා අපූරුවට රචනා කර ඇත. කතා වස්තුවෙන් විදහාලන ප‍්‍රඥාව මනාලෙස ශ‍්‍රාවකයාට හඟවන සුළුය.
ඊට අනුරූප වන පරිදි දයාරත්න රණතුංග මහතාගේත් අමරා රණතුංග මහත්මියගේත් හඬ ගලායයි. ඒ හඬට ස්ටැන්ලි එම්. ප‍්‍රනාන්දු මහතාගේ සංගීත සුසංයෝගය කදිමය.
හේරත් මහතාගේ වදන් සරලය. එය සුගායනීයය. මෙම ත‍්‍රිත්වයේ එක්කාසුවේ අපූරු ඵලය නෙලාගන්නට නම් ඔබද බුද්ධිමත් විය යුතුමය.
වර්තමානයේ අසන්නට දකින්නට වෙන සිදුවීම්වල ආරම්භය අතරමග හමුවී ඉතා ඉක්මනින් සබඳතා ගොඩනඟා ගන්නා අයගෙනි.
මෙවන් ගීතවල අන්තර්ගතයට ළංවන්න ළංවන්න ඔබගේ ප‍්‍රඥාවද වර්ධනය වනවා නොඅනුමානය. ගීතයේ රසයෙන් ආනන්දයක් ලබනවා මෙන්ම එහි හරවත් බව තේරුම් ගෙන ආනන්දයෙන් ප‍්‍රඥාවට ළඟාවිය හැකිය.
තනුජා එන්. අයගම
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

මරණයෙන් පසු අපට සිදුවෙන්නේ කුමක්ද?


ඉංග‍්‍රීසියෙන් Reincarnation නැත්නම් Rebirth එය නමින්ද සිංහලෙන් පුනරුත්පත්තිය නැත්නම් නැවත ඉපඳීම නමින්ද හඳුන්වන සංසිද්ධිය මුල්කොට ලියැවී ඇති පත පොත රාශියකි. ඉදිරිපත්වී ඇති මතවාද හා මතිමතාන්තරද අප‍්‍රමාණය. සිදුකර ඇති පර්යේෂණ හා විමර්ශන ද එමටය. එම නිසා, මෙම ලිපිය කියවන ඔබ දැනුවත් මෙම විෂය පිළිබඳ කිසියම් මතයක එල්බ සිටින්නට ඉඩ කියයි. නොඑසේ නම් මේ පිළිබඳව තවදුරටත් කරුණු සෙවීමේ කුතුහලයෙන් පසුවෙන්නට ඉඩ තිබේ.
ඒ කෙසේ වුවත් කේම්බි‍්‍රජ් වැනි ලෝපතල විශ්වවිද්‍යාලයකින් ‍සෛද්ධාන්තික භෞතික විද්‍යාව හැදෑරූ, ඉනික්බිති අවුරුද්දක කාලයක් විද්‍යා ගුරුවරයකු ලෙස ගුරු වෘත්තියේ යෙදී සිටි, ඉන් අනතුරුව තායිලන්තයට ගොස් අවුරුදු නවයක කාලයක් වනගත සම්ප‍්‍රදායට අනුව මහණදම් පිරූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, එමෙන්ම අප‍්‍රමාණ අත්දැකීම් ඇති අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පුනරුත්පත්තිය නැත්නම් නැවත ඉපදීම පිළිබඳව පළකරන අදහස් නිසැක වශයෙන් මෙම විෂය පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරනු ඇත. නැවත ඉපදීම පිළිබඳ ඔබේ සිතේ යම් සැකයක් ඇත්නම් එය දුරලීමටද උන්වහන්සේ ඔබට උදව් වෙනවා ඇත. එමෙන්ම නැවත ඉපදීම ගැන දැනගත යුතු දේවල් දැන වර්තමාන ජීවිතය සාර්ථක කරගැනීමටත්, මරණයට නොබියව මුහුණ පෑමටත් ඔබට, මහත් ආලෝකයක් හා ශක්තියක් ලබා දෙනු ඇත.
ඒ අනුව ජීවිතයට දහම් පාසල සඟරාවට සිනාසෙන සුදු හාමුදුරුවෝ නමින් අප සපයන ලිපි මාලාවේ ඉදිරි ලිපි කිහිපය අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ අපේ මරණයෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද? මැයෙන් ඉදිරිපත් කළ දේශන ඇසුරෙන් සකස් වේ.
අපේ මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද?
ඉහත මාතෘකාව යටතේ උන්වහන්සේ පැවැත්වූ දේශනයේදී දැක්වූ අදහස් කිහිපයකින් මෙම ලිපි මාලාව ආරම්භ කරන්නෙමු.
‘‘ඔබට ඔබේ මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව ගැඹූරු භාවනාවන්හි නිරතවී සිටින විට මනා වැටහීමක් ලබාගත හැකිවෙනවා. මේ හැර මරණයෙන් පසුව ඔබට සිදුවෙන්නේ කුමක්ද පිළිබඳව සාක්ෂි පාදක කරගත් යම් යම් අනාවරණ තිබෙනවා. තාවකාලිකව මරණයට පත්වී, මනස සිරුරෙන් වෙන්වී, ආපසු මනස සිරුරට එක්වූ තැනැත්තන්, එම විරාමය නැත්නම් තාවකාලික මරණය හා නැවත ප‍්‍රාණය ලැබීම අතර කාලය තුල ලත් අත්දැකීම් පිළිබඳ අනාවරණවලින් මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්ද පිළිබඳව අවබෝධ කරගැනීමට අප‍්‍රමාණ සාක්ෂි තිබෙනවා. ඒ හැර ස්වල්ප දෙනකුට ඔවුන්ගේ පෙර ජන්මය පිළිබඳ මතකයක් තිබෙනවා. මෙය සමහරවිට සමහරුන්ට නිරායාසයෙන්ම ලැබෙන්නක්. තවත් සමහරුන්ව පුහුණු කිරීමෙන් ලඟාවිය හැකි තත්ත්වයක්.’’
මරණයට පත්වීමට ආසන්න වූ විට ඔබට සිදුවන්නේ කුමක්ද?ජීවිතය කියන්නේ අඛණ්ඩ ගමනක්. ඔබ රාත‍්‍රියේදී නින්දට ගොස් පසුදා උදේ අවදි වනවිට උදේ අවදි වුණේ රාත‍්‍රියේ නින්දට ගිය පුද්ගලයාමයි. සමහරවිට නින්දට යන්නට පෙර සිටියාට වඩා තරමක් වයස්ගතවී තිබුණත් උදේ අවදිවන්නේ රාත‍්‍රී නින්දට ගිය තැනැත්තාමයි. ඔබ මරණයට පත්වූවාට පසුවත් සිදුවෙන්නේ මෙයම තමයි.’’
‘‘අප මරණයට පත්වීමට ආසන්නව සිදුවෙන්නේ කුමක්ද කියා විමසීමේදී මා අවධානය යොමු කරන්නේ අනතුරකින් නැත්නම් ශල්‍යකර්මයක් මැද්දෑවේ සිදුවූ හදිසි මරණයක් ගැන නොව අසනීපයකින්, වියපත්වීමකින් නැත්නම් රෝගාතුර වීමකින් වැනි දෙයකින් සිදුවෙන සෙමින් මරණයට පත්වීමක් ගැනයි. එය සිදුවෙන්නේ අපේ පංචේන්ද්‍රිය, ඒ කියන්්නේ ඇසින් දැකීම, කණෙන් ඇසීම, නාසයෙන් සුවඳ දැනීම, දිවට රසය දැනීම, කයෙන් පහස ලැබීම ආදිය එකිනෙක අකර්මන්‍ය වීමෙන් නැත්නම් එම ඉඳුරන්ගේ ක‍්‍රියාකාරීත්වය ශරීරයෙන් වෙන්වීමෙන්. බෞද්ධ භික්‍ෂුවක් විදියට බොහෝ දෙනකු මරණාසන්නව සිටි අවස්ථාවලදී මරණය සිදුවෙන්නේ කෙසේදැයි දැක බලා ගැනීමට මා භාග්‍යවන්ත වී තිබෙනවා.
මරණය පසිඳුරන් අතුරුදහන් වීමෙන් සිදුවෙන ක‍්‍රියාවලියක්
මරණය සිදුවෙන්නේ, විශේෂයෙන්ම වියපත් වූවකුගේ, රෝගාතුරවූවකුගේ, එහෙම නැත්නම් කිසියම් ලෙඩක් නිසා මරණාසන්න වූවන්ගේ මරණය සිදුවෙන්නේ සෙමින්. මම මුලින්ම මේ විදිහට සිදුවෙන මරණ දැක්කාම මරණය සිදුවෙන්නේ මෙන්න මේ වේලාවටයි. අටටයි නැත්නම් නමයටයි කියා කියන්න බැරි මිනිත්තු ගණනක් තිස්සේ සිදුවෙන ක‍්‍රියාවලියක් පටන් අරගෙන සෙමින් සෙමින් අවසානයට පත්වෙන ක‍්‍රියාවලීන්  හිටිහැටියේ සිදුවන දෙයක් නොව ක‍්‍රියාවලියක් යැයි මා කියන්නේ මේ නිසයි. මෙය මුළු ජීවිතයම තේරුම් ගැනීමට බොහෝම ප‍්‍රයෝජනවත් වෙනවා. තව විදියකින් කිව්වොත් තවත් ඉතින් ඇසීමක්, දැකීමත්, ගඳ සුවඳ දැනීමත්, රස විඳීමත්, ස්පර්ශයත් සිරුරට දැනෙන්නේ නැහැ. කෙනකු මරණයට පත්වූ බව අප දැනගන්නේ මෙන්න මෙහෙමයි.
ඒත් අපි කෙනෙක් මැරුණය සිතමින් හඬා දොඩා වැළපෙද්දිත් ඔහු හෝ ඇය තවමත් ජීවත්වෙමින් සිටින්න පුළුවන්. අපි ඒ තැනැත්තා මරණයට පත්වූවායැයි තීරණය කළත්, හෙදියන් නැත්නම් වෛද්‍යවරුන්ට මරණය කරා ආසන්න වෙමින් සිටින තැනැත්තාගේ ඇස්වල ජීවයක් දකින්න පුළුවන් වෙන්න ඉඩ තිබෙනවා.
භාවනාවේදී සිදුවෙන්නේ මේකම තමයි
භාවනාව තුළින් මා වටහාගත් එක් දෙයක් තමයි, භාවනාවේදී සිදුවෙන්නේ මෙන්න මේ ක‍්‍රියාවලියමයි කියන එක. භාවනාවේ ගැඹුරට යනවිට ඔබේ සිරුරෙහි ම පස් ඉඳුරන්ම සිරුරෙන් අතුරුදහන් වෙනවා. ඔබ භාවනාව සඳහා හිඳගත්විට ඔබට මේ වගේ  අත්දැකීමකට, ආසන්න අත්දැකීම් අත්විඳින්න පුළුවන් වෙනවා. ටිකෙන් ටික ඔබට ඔබේ අත්, පය, සිරුර එහා මෙහා කරන්නට බැරිව සිරුර ඔබෙන් අතුරුදහන් වෙනවා. සෙමින් සෙමින් මරණයට පත්වීමේදී සිදුවෙන්නෙ මේකම තමයි. හැබැයි ඔබ භාවනා කිරීමේදී මිය යන්නේ නැහැ. ඔබට භාවනාව නිමකොට සිහි එලවා ගන්න පුළුවන්  වෙනවා. නමුත් මරණයේදී එය නිමක් දකිනවා. පස් ඉඳුරන්ව සිරුරෙන් අතුරුදහන්වී අවසානයට පත්වෙනවා. සිරුර පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගත් වින්දනයන් සහමුලින්ම නැත්තටම නැතිවී යනවා. මේ විදියට භාවනාව නිසා පසිඳුරන් ඔබේ ශරීරයෙන් අතුරුදන්වීමෙන් ඔබට විශාල සැහැල්ලූවක්, සතුටක්, සැනසීමක් අත්විඳින්න ලැබෙනවා.   
ගැඹුරු භාවනාවේදී සිදුවූ සැබෑ සිද්ධියක්.
ගැඹුරු භාවනාවේදීත් සිදුවෙන්නේ මෙයම තමයි. මා මේ සම්බන්ධ සිද්ධියක් දැන් ඔබට කියන්නම්. මා මේ කියන්න යන්නේ මෙහි අපේ දායකයකු සම්බන්ධ සිද්ධියක්. අද සැඳෑවේ නම් ඔහු මෙහි ඇවිත් නැහැ. ඔහුගේ අවසර ඇතිව මම මේ කතාව මගේ පොතකද පළකළා.
ඔහු ඉතා ගැඹුරු භාවනාවන්හි නියැලෙන කෙනෙක්. දවසක් ගෙදර, කාමරයේදී ගැඹුරු භාවනාවකට සමවැදී සිටි ඔහු ගැන විපරම් කළ ඔහුගේ භාර්යාව තම සැමියා කිසිම සද්දයක් නොකර නිසොල්මන්වී සිටින හැටි දැක්කා. ඇඟපත අල්ලා සෙලවූවත් ඔහු අවදි වුණේ නැහැ. තම සැමියා මරණයට පත්වෙන්නට ඇතැයි සිතූ ඇය, ගිලන් රථයක් කැඳවා ඔහු චාල්ස් ගාර්ඩන් රෝහලට රැගෙන ගියා. රෝහලේදී ECG හා EEG  පර්යේෂණවලින් ඔහුගේ හෘද වස්තුවත්, මොළයත් සක‍්‍රීයව තිබෙනවාදැයි පිරික්සුවත් ඒවා අකර්මන්‍ය වී තිබුණා. පරීක්‍ෂණයේදී ELG හෘදවස්තුව දිගු වේලාවක් තිස්සේ ස්පන්දනය නොවන බවත්, EEG පරීක්‍ෂණයේදී මොළය අක‍්‍රියව ඇති බවත් අනාවරණය වුණා. ඉන්පසු විදුලිසැර වැද්දීම්, පපුව තෙරපීම වැනි නොයෙකුත් හදිසි ප‍්‍රතිකාර කළත් ඔහු ජීවත්වෙන ලකුණක් දැක ගන්නට ලැබුණේ නැහැ. මේ අතරවාරේ ඔහු, ඔහුගේ භාවනාව නිමකොට, පියවි සිහියට එළඹුණා. ඔහු භාවනාව නිමකළ සැනෙන් ECG යන්ත‍්‍රයත්, ක‍්‍රියාකාරී වෙන්නට පටන් ගත්තා. ඔහු වටපිට බලනවිට තමා රෝහලක සිටින්නේ මක්නිසාදයැයි විශ්මයට පත්වුණා. වෛද්‍යවරු බොහෝම කඩිනම් පරීක්‍ෂණයක් කළත් ඔහු ගැන කියන්නට කිසිම වරදක් නැති බව හෙළිවුණා. ඉන්පසු ඔහු ආපසු ගෙදර ගියා. ඇත්තටම ඔහු රෝහලේ සිට ආපසු පයින්ම ගෙදර ගියා. පයින් ආ හැකි තරමට ඔහු නිරෝගීව සිටියා.
විශ්මයජනක කාරණය නම් මේ කියන මුළු කාලය තුළ ඔහු හොඳ සිහියෙන්, සෝදිසි ඥාණයෙන් යුක්තව සිටීමයි. මා මේ කතාව කිව්වේ මේ කතාවට සම්බන්ධ තැනැත්තා මෙහි එන යන අයකු කියාත්, ගැඹුරු භාවනාව තුළින් සිදුවෙන්නේ කුමක්දැයි හඳුනාගැනීමට මේ කතාව ප‍්‍රයෝජනවත් වන නිසාත්ය. මේ විදිහට මොළයේ ක‍්‍රියාකාරීත්වය නතර වූ විට සිදුවෙන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙවැනි සාක්ෂි අප‍්‍රමාණව තිබෙනවා. මෙවැනි අවස්ථාවල තාවකාලිකව මරණයට පත්වීමක් සිදුවෙන නිසා අපි මෙවැනි අවස්ථා මරණාසන්න අත්දැකීම් ලබාදෙන (Near Death Experience) අවස්ථාව ලෙස හඳුන්වනවා. දීර්ඝ කාලීන ලෙස, සහමුලින්ම මරණයට පත්වීම, අපි මරණය නමින් හඳුන්වනවා. මොළයේ කි‍්‍රයාකාරීත්වය නතර වුණාම සිදුවෙන්නේ කුමක්ද යන්න ඒත්තු ගැනීමට මේ මඟින් යම් යම් සාක්ෂි අපට ලබාදෙනවා. මොළයේ ක‍්‍රියාකාරීත්වය නතරවීමෙන් සිදුවෙන තාවකාලික මරණය පිළිබඳ වැදගත්ම කාරණය නම් එය ඉතා ආනන්දජනක අත්දැකීමක් වීමයි. ප‍්‍රමෝදජනක අත්දැකීමක් වීමයි. මේ අත්දැකීම අත්විඳි සියල්ලන්ටම එය එසේමයි.

බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.
සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

හොඳම දවස අදයි


වින්සන්ට් පීල් මහතා හමුවීමට උදෑසනම එක්තරා පුද්ගලයකු පැමිණ සිටියේය.
‘‘මට හරියට ප‍්‍රශ්න තියෙනවා. මේ දවස්වල කරන කිසිම වැඩක සාර්ථකත්වයක් දකින්න නැහැ. හැමදාම උදේ අවදිවෙන්නේ හිසේ ලොකු බරක් තියාගෙනයි.’’
ඔහුගේ මැසිවිලි හා දුක්ගැනවිලි සියල්ල සන්සුන්ව අසා සිටි වින්සන්ට් පීල් මෙසේ පැවසීය.
‘‘අද ඉතා සුබ දවසක් බව සමහර විට ඔබ දැනගෙන හිටින්න නැතුව ඇති.’’
‘‘ඇත්තටම අද සුබ දවසක්ද? මම ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ.’’
‘‘දැන් මම සූදානම්ව හිටියේ හිත ගත දෙකම සන්සුන් කරවන අන්දමේ අභ්‍යාසයක් ප‍්‍රගුණ කරන්නයි. මෙය ඉතාම පැරණි අභ්‍යාසයක්. නවීන අය බොහෝ දෙනකු මේ ගැන දන්නෙ නැහැ. ඔබත් ඇයි මේ ක‍්‍රමය අත්හදා නොබලන්නේ?’’
තියෙන කරදර මදිවාට තව මොන අභ්‍යාසද යනුවෙන් අමුත්තාට සිතිණි. උදෑසන ලාහිරු රැස් සහිත ගෙමිදුලේ හාන්සි පුටු දෙකක් විය. වින්සන්ට් මහතා එක් පුටුවක සුවපහසු ලෙස හාන්සි වී අමුත්තාටද ඇරැුයුම් කළේය.
‘‘දැන් ඊළඟට මොනවද කරන්න ඕනෑ?’’
අමුත්තා විමසීය.
‘‘කිසිම දෙයක් අමුතුවෙන් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. හොඳ සැප පහසුවට ඔය පුටුවේ දිගා වෙලා අර ලස්සන අහස දිහා බලන්න. මේ පිරිසිදු නැවුම් වාතය පෙනහළු පුරා හුස්ම ගන්න. දැනට එපමණයි.’’
‘‘මේක අභ්‍යාසයක් නොවෙයිනේ? සාමාන්‍යයෙන්  ඕනෑම කෙනකු කරන දෙයක්නේ?’’
‘‘මෙහිදී ඔබ නොදන්න විශේෂත්වයක් තිබෙනවා. ඔබ සාමාන්‍යයෙන් නිවසේදී කරන්නේ පුටුවේ හිඳගෙන ප‍්‍රශ්නවලින් ඔලූව පුරවාගන්න එකයි. එහෙත් දැන් අපි කරන්න හදන්නේ අපේ ප‍්‍රශ්න එකින් එක ඉහළ හිස් අහසේ අනන්තයටම මුදාහරින එකයි. ඔබේ ගැටළුව හිස මතින් ගුවනට මනසින් විද දමන්න. එය කුඩා තිතක් බවට පත්වී නොපෙනී යන තුරුම.’’
අමුත්තා නිහඬවම හිස් අනන්තයට සිය දෙනෙත් යොමන්නට විය. අඩහෝරාවක් පමණ එසේ ගතවන්නට ඇත. උණුසුම් තේ බඳුන් රැගෙන සේවකයකු පැමිණ සිටියේය. අමුත්තාගේ විඩාබර කනස්සලූ පෙනුම පහවී ගොස් තිබිණි.
‘‘ඇත්තටම එය ඵලදායකයි.’’
‘‘මේ අපූර්ව විශ්ව ශක්තියෙහි ඔබව සුවපත් කිරීමට බලය තිබෙනවා. අද දිනය ඉතා ශුභ දිනයක් බව මා පැවසුවා මතකද? බලන්න. ඔබත්, මමත් ජීවත් වන්නේ අද. මේ මොහොතෙදි අප කිසිම උපද්‍රවයක් නැතිව සුවසේ හුස්ම ගනිමින් ඉන්නවා. අනෙකුත් හැම ප‍්‍රශ්නයක්ම පවතින්නේ ජීවිතයට ඉතාම පහළින්. එම ගැටළු විසඳාගැනීමට විශ්ව ශක්තිය ආධාර කරගැනීමේ එක් අභ්‍යාසයක් තමයි ඔබ දැන් ප‍්‍රගුණ කළේ?’’
‘‘අද ඉතා ශුභ දිනයක් බව ඔබ පැවසූයේ පෙරදිග ජ්‍යෙතිෂ ශාස්ත‍්‍ර ගැන ඔබගේ විශ්වාසය තිබෙන බැවින්ද?’’
‘‘නැහැ. මා එය හදාරා නැහැ. එහෙත් උදාවන හැම දිනයක්ම ඉතා ශුභ දිනයක් බවට පත්කරගැනීමේ මන්ත‍්‍රයක් මා උදෑසන තුන්වරක් ජප කරනවා.’’
‘‘ඇත්තටම මා එය ඉගෙන ගැනීමට කැමැතියි.’’
විශ්වයේ මහිමයෙන් මා ලැබූ මේ දිනයෙහි ප‍්‍රීතියෙන් හා සතුටින් ගත කරමි.
‘‘ඔය තමයි මා ජප කරන මන්තරේ. ප‍්‍රීතියෙන් හා සතුටින් ජීවත්වීමේ පුරුද්ද ඇතිකර ගන්න මාගේ මිත‍්‍රයා, එවිට උදාවන හැම දවසක්ම ශුභ දවසක් වේවි.’’
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

හදවත දිනන රහස


‘‘මා අකමැති කිසිම පුද්ගලයකු මා හට මෙතෙක් මුණගැසී නොමැත.’’
ධනාත්මක චින්තකයකු වන වින්සන්ට් පීල් නම් අමෙරිකානු ජාතිකයා එසේ පවසා ඇත. ඔහු එවකට ජීවත් වූ සමාජයේ ඉතා ජනප‍්‍රිය පුද්ගලයකු විය. ඉතා ධනවත් ව්‍යාපාරික මිතුරු පිරිසක් ඔහුගේ ඇසුර නිරතුරුවම පැතූහ.
වින්සන්ට් පීල් මෙතරම් ප‍්‍රියමනාප වූයේ ඇයි? ඔහු හැමදෙනාගේම හදවත් දිනා ගත්තේ කෙසේද?
ඔහු සෑම දෙයක් පිළිබඳවම සුභවාදී ආකල්ප දැරූවෙකි. එක් තද වැසි සහිත දිනයක තම අසල්වැසියාගේ ගරාජය තුළට වැසිදිය සමග රොන්මඩ ගලාවිත් එතුළ වූ සියල්ල අපවිත‍්‍ර වී තිබිණ. අසල්වාසී ටොම් මේ පිළිබඳ මහත් කනස්සල්ලට පත්වී සිටියේය.
‘‘මේ බලන්න ටොම්, ඔබ හුඟ කාලෙකින් ගරාජය ශුද්ධ පවිත‍්‍ර කරල නැහැ. දැන් ඔබට හොඳ අවස්ථාවක් ඇවිත් තියෙන්නෙ මේක පිරිසිදු කරල දමන්න.’’
වින්සන් සිය අසල්වැසියා ධෛර්යමත් කරවීය.
‘‘මා හට මුණගැසුණු සෑම පුද්ගලයකු
තුළම තිබෙන හැකියාවන් මම හඳුනාගත්තා. ඔවුන් හට ජීවිතයේ සුභවාදී පැත්ත පෙන්වා දුන්නා. ඔවුන් ධෛර්යමත් කළා.’’
‘‘මිතුරුදමක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ඔබ සතයක්වත් වැය කළ යුතු නැහැ. වැඩි මහන්සියක්ද දැරිය යුතු නැහැ. එහෙත් ආත්මාර්ථකාමී බවින් තොරවම ඔබ ඔවුන් ප‍්‍රිය කළ යුතුයි.’’
වර්ෂ 1953 දී (Guidepost) ගයිඞ්පෝස්ට් නම් මාසික සඟරාවේ ඔහු එසේ සඳහන් කොට තිබිණි. හදවත් දිනන රහස් පියවර දහයක් ලෙස එහි සඳහන් විය.
1. කෙනකුගේ නම මතක තබා ගන්න.  ඕනෑම අයකු හට තමාගේ නම ඉතා වැදගත්.
2. සැමවිටම සැහැල්ලූ ගති පැවතුම් ඇතිකර ගන්න. එවිට ඔබ ළඟ සිටින්නා අසීරුවට පත් නොවේ.
3. අනවශ්‍ය ලෙස හදිසිකාරයකු නොවන්න. එවිට ඔබේ දෛනික කටයුතු පහසු වෙනවා මෙන්ම ඔබේ මිතුරන්ද සැහැල්ලූවට පත්වනු ඇත.
4. ඔබේ අදහස පමණක් ඉස්මතු වන සේ කටයුතු නොකරන්න. සාවධානව අන් අයගේ අදහස්වලටද ඇහුම්කන් දෙන්න. ඔබට රස දේ තව කෙනකුට
වස විය හැකිය.
5. ප‍්‍රිය මනාප බව ඇතිකර ගැනීමට හුරුවන්න. ඔබේ කාරුණික, සංවේදී බව වඩාත් ප‍්‍රියමනාප පුද්ගලයකු බවට පත්කරයි.
6. ප‍්‍රසිද්ධියේ නාසය සීරීම්, කෙළ ගැසීම් වැනි පුරුදු ඔබගේ චරිතයෙන් ඈත් කර දමන්න.
7. ඔබේ දුර්ගුණයන් තිබේ නම් එයින් ක‍්‍රමක‍්‍රමයෙන් අත්මිදෙන්න. මැසිවිලි නැගීම් හා නෝක්කාඩු කීම් ඔබේ මුවින් පිටවීම වළක්වා ගන්න.
8. ඔබ අවංකවම මිනිසුන් අගය කිරීමට හුරුවන තුරුම එය නොකඩවා කරගෙන යන්න.
9. කෙනකුගේ සුළු ජයග‍්‍රහණයකදී පවා සුභ පැතීමට අමතක නොකරන්න. එමෙන්ම කෙනකුගේ විපතකදී අවංකවම ශෝකය ප‍්‍රකාශ කරන්න.
10. යහපත් දෙයක් ඔබේ මිතුරන් හට දිය හැකි බව විශ්වාස කරන්න. ධෛර්යමත් කිරීමෙන් හා යහපත් දේ පෙන්වා දීමෙන් ඔවුන් ශක්තිමත් කළ හැකිය. ඔවුන් විසින් පෙරළා ලබා දෙනු ලබන ගෞරවනීය ලයාන්විත බව ඔබව ශක්තිමත් කරනු ඇත.
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම පෙබරවාරි කලාපයෙන්)

දිවි අරුත සරු කරන ගී

සිනහවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා.....
සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා.....

පුද්ගලයාගෙන් පුද්ගලයාට මිනිසා වෙනස්ය. එම වෙනස හොඳ හෝ නරක විය හැකිය. එය එසේ වෙද්දී ඔබ කුමන ගොඩට අයත්විය හැකිද යන්න ඔබගේ හදවත ඔබට කියයි. නමුදු ඔබ අයත්විය යුත්තේ කුමන ගොඩටද යන්න සිතා බැලීමට ඔබට නොහැකි යැයි සිතිය නොහැක.
ඉහත ගීතය ලියා තිබෙන්නේ  ඕනෑම කෙනකුට ශ‍්‍රවණයෙන්ම යමක් වටහාගන්නට හැකි අයුරිනි. එහි බැරෑරුම් ලෙස කිසිවක් රචනා වී නැත. ලොකු කුඩා සැමට වරක් ඇසූ සැනින් අරුත වැටහේ.
මිනිසුන්ගේ නුගුණ රචකයා උපහාසාත්මකව යොදා ඇත්තේ අසන්නාට දනවන ලෙසය.
පද රචනය ශ‍්‍රාවකයා තුළට කාවද්දන්නේ මොහිදින් බෙග් ගායකයාය. මුල් ගායනය ඔහුගේ වුවද පියාගේ පාරේ යමින් අද ඉෂාක් බෙග් ගායකයා ද ශ‍්‍රාවකයාට එම ගීතයේ වටිනාකම ඒ අයුරින්ම ලබාදෙයි.   
ලෝකයේ පර විසක් නැත වෙන මිනිස් විස වාගේ.....
සැප විඳී පණ ගියත් පැගී
අනෙක් මිනිසාගේ..... 

වර්තමානයේ අසන්නට දකින්නට ලැබෙන මිනිස් ගති පද රචකයා තදින්ම විදහා දක්වයි. එය දෙවන, තුන්වන කොටස් වල අගට යොදා ඇති ගී ඛණ්ඩ මනාව ඔප්පු කරයි.
ඉතාම හැඟීම්බරව අසන්නාට ගායකයා පවසන්නේ මිනිස්ගති ස්වභාවයයි. එම මිනිස්ගති කොයි ආකාරයෙන් පැවතියත් දිනෙක යුක්ති ධර්මය ජයගන්නා බව ගීතයේ අවසන් පද පේලි කියාපායි. එය පද රචකයා සමාන කරන්නේ ඉරුගේ දිලිසෙන ආකාරයටයි.
‘‘යුක්ති ධර්මේ ජයගනීවී
දිලෙන ලෙස දිනිඳා.’’  

ඉදින් මෙම හැබෑව තේරුම් ගැනීම දිවි සරුකර ගැනීමට හේතුවේවි.

තනුජා එන්. අයගම
(උපුටා ගැනීම පෙබරවාරි කලාපයෙන්)