Saturday, June 2, 2012

වෙස්වලාගත් ආශිර්වාද


සෑම කළු වලාවකම රිදී රේඛාවක්ද, ඉඩෝරයට පසුව වැස්සද, කන්ද නැඟි පසුව පල්ලමක්ද ඇත. මේවා හුදෙක් නිකම්ම කියමන් පමණක් නොවේ.
කෙනකුගේ ජීවිත කාලය සමාන්තර රේඛාවක් සේ කිසිදින ගෙවෙන්නට නැත. එහි නැඟීම් මෙන්ම බැසීම්ද පවතී. යම් යම් දුර්භාග්‍ය සහිත කාලපරිච්ඡේදයන් පසු කරන පුද්ගලයෝ උදාවෙන අනාගතය සාර්ථකව ගත කරති.
අවාසනාව පසුපස හඹා ආ වාසනාව පිළිබඳ එක් සත්‍ය කතාවක් මෙහි සඳහන් කළ යුතුය. අවුරුදු විසිපහකට පමණ පෙර සෙල්ලකතරගමදී පස් වියැති කුඩා දැරියක් පාරේ ගිය වාහනයක ගැටිණි. මීටර් විස්සක පමණ දුර දැරිය විසි වී ගියාය.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් කලබලයට පත් දැරියගේ පියා වාහනය පදවාගෙන ආ පුද්ගලයාට තර්ජනය කරමින් පහරදීමට සැරසිණි.
‘‘කලබල වෙලා වැඩක් නැහැ. අපි දරුවා ගැන බලල ඉඳිමු. වාහනය පදවාගෙන ආ තැනැත්තාගේ ඉල්ලීම විය. වාසනාවකට මෙන් දැරියට සුළු සීරුමක් හැරුණු විට බරපතල හානියක් සිදුවී නොතිබිණි. දැරියගේ පියා වන්දියක් ලෙස යම් මුදල් ප‍්‍රමාණයක් ඉල්ලා සිටියද
‘‘නැහැ අපි දරුවා රොහලට රැගෙන යමු.’’
පසුව රෝහලේදී සිදුකළ පරීක්ෂණයෙන් දැරියට කිසිදු අවදානම් තත්වයක් නොමැති බැව් සහතික කෙරිණි. එම අවාසනාවන්ත සිදුවීම පසුපස කුඩා දැරියගේ වාසනාව රැඳී තිබූ සේය. එදා අනතුරට මුහුණ දුන් කුඩා දැරිය අද තරුණියකි. ඇයගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් එදා සිට අද දක්වා සියළු බරපැන දරනු ලබන්නේ වාහනය පදවාගෙන ආ මහතා විසිනි.
දැරියගේ පියා ඉල්ලා සිටි මුදල ලබා දී ඇඟ බේරාගෙන යාමට ඔහුට අවස්ථාව තිබිණි. එහෙත් මොළයෙන් දෙන පණිවුඩයට වඩා හදවතේ පණිවුඩය බලවත් විය.
මේ ලෝකය කාරුණික පුද්ගලයින්ගෙන් පිරී ඇති බැව් මම සිතමි. මෙවන් ත්‍යාගශීලින් ස්වල්ප දෙනකු පිළිබඳව මම පෞද්ගලිකව හඳුනමි. මා ඉහත සඳහන් කළ මහතා යම් දරුවකු වෙනුවෙන් උපකාරයක් කළ විට මෙසේ පවසනු ඇසීමි.
‘‘මා මේ උදව්ව ඔබ වෙනුවෙන් කරනුයේ ඔබෙන් ප‍්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවෙන් නොවේ. නමුත් ඔබ යම් දවසක මා ඔබට උපකාරී වූවා සේ තවත් දුප්පත් ළමයකුට උපකාර කළ යුතුයි.’’
මෙවන් අයුරින් ධන පරිත්‍යාග කිරීම පිණිස ඔබ සතු වත්කම ප‍්‍රමාණවත් නොවිය හැක. එහෙත් ඉතා සුළු වශයෙන් හෝ තවත් කෙනකුට හට උපකාරී වීම ඔබට කළ හැකිවනු ඇත. ඔබේ සිනහමුසු මුවඟින් පිරිනැමෙන සුභ පැතුම තවකකු දිරි ගන්වයි. ඔබ විසින් පිරිනමනු ලබන දෙයම පෙරළා ඔබ වෙත පිරිනැමෙනු ඇත.
 
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

කාලේ තාලේ


කාව්‍යශාස්ත‍්‍රවිනෝදේන කාලෝ ගච්ඡති ධීමතාම්
ව්‍යසනේන ච මූර්ඛානාම් නිද්‍රයා කලහේන වා  


(ඥානවන්තයින්ගේ කාලය ගතවෙන්නේ නිර්මාණයෙන්, ශාස්ත‍්‍රීය කටයුත්තෙන් හා විනෝදාශ්වාදයෙන්.
හැබැයි අඥානයින්ගේ කාලය ගත වෙන්නේ විනාශයක් කිරීමෙන්, නිදා ගැනීමෙන් හා කලකෝලාහල කිරීමෙන්.)


කාලේ කියන්නේ අපි හිතාමතා ගත කරන දෙයක් නෙවෙයි. නිරායාශයෙන් ගතවෙන දෙයක්. සමහරුන්ට කාලේ මදි එක ප‍්‍රශ්නයක්. සමහරුන්ට කාලේ ගෙවන එක ප‍්‍රශ්නයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා නිදිවරන්නාට? දිගයි කියලා. (දීඝා ජාගරතෝ රත්ති.) නින්ද නැති වෙලාවට? ගෙවන්න කොච්චර අමාරුද? ඒත් වැඩ ගොඩක් තියෙන වෙලාවට දවසකට පැය විසි හතරත් මදි. ඒත් ඉතිං අපට  ඕන  ඕන විදියට කාලේ වෙනස් වෙන්නේ නැහැනේ. ඒකනේ ඉතිං කාලේ තාලේ.
එක එක්කෙනා කාලේ ගත කරන විදිහ වෙනස්. මෙතනදි මේ කියන කරුණු ලෙඞ්ඩුන්ටයි අසරණයින්ටයි අදාල නෑ. එත් අදාල වෙන්නේ කාට කාට ද කියලා බලමු.
ධීමන්තයෝ (ඒ කියන්නේ රටට, ජාතියට වැඩක් කරන මිනිස්සු) කාලේ ගත කරන්නේ එක්කෝ මොනවාහරි නිර්මාණය කර කර. සමහර විට බඩුවක් මුට්ටුවක් හද හදා, සමහර විට නිෂ්පාදනයක් කරමින්, සමහර විට නව නිපැයුමක් කරමින්, සමහර විට නිෂ්පාදනයක් දියුණු කරමින්. ඒ කොයිකෙන් වුණත් රටට නරකක් නෙවෙයි වෙන්නේ. එහෙමත් නැතිනම් ධීමන්තයෝ කාලය ගත කරන්නේ ශාස්ත‍්‍රීය කටයුත්තක් කරමින්. පොතක පතක වැඩක් කරමින්. ඒකත් වටිනා ව්‍යායාමයක්. එහෙමත් නැතිනම් ධීමන්තයන්ගේ කාලේ ගතවෙන්නේ යහපත් විනෝදයෙන්. කිසියම් රසාශ්වාදයක් ලබමින්. මේ යහපත් ව කාලය ගත කරන විධි කිහිපයක් පමණයි.
දැන් බලමු නිෂ්ප‍්‍රයෝජන ව කාලේ ගතවන විධි ගැන. අඥානයින්ගේ කාලේ ගතවන විධි ගැන. අඥානයිනගේ කාලේ ගත වෙන්නේ ව්‍යසන, නිද්‍රා, කලහ යන ක‍්‍රම තුනෙන්. විනාශයක් කරමින්, එහෙමත් නැතිනම් නිදාගනිමින්, එහෙමත් නැතිනම් කලකෝලාහල අඩ දබර කරමින්. මේ තුනෙන්ම රටටවත් සමාජයටවත් ඒක කරන අයටවත් හොඳක් වෙන්නේ නැ. වෙන තරමක් වෙන්නේ නරක ම තමා.

පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. 
සංස්කෘත අධ්‍යයන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

බක්මහ උළෙලේ බොදු මුහුණුවර


සෑම සමාජයකම පාහේ නොයෙක් අවස්ථා සැමරීම් වස් උත්සව පවත්වනු ලැබේ. අප රටෙහිද එබඳු උත්සව ගණනාවකි. සිංහල හින්දු අලූත් අවුරුදු උලෙළ ඉන් ප‍්‍රමුඛ උත්සවයකි. සිිංහල යනු ජනවර්ගයක්, ජාතියක් වන අතර හින්දු යනුවෙන් අප හඳුනන්නේ ’’ආගමකි’’. අවුරුදු ගැන කියන කළ ඇතැම් ලිපි ලේඛනවල හින්දු අදහස අත්හැර සිංහල අවුරුද්ද යනුවෙන් පමණක් වහරනු ලැබේ. ‘‘අවුර් + ඉද්ද’’ යනු සූර්යයා භූමියට ඍජුව සිටින අවස්ථාව නිසා මේ නම ලැබිණැයි අරිසෙන් අහුබුදු මහතා දක්වයි. කාමෝත්ස්ව, සූර්ය උලෙළ පෙර පැවතිය ද වර්තමානයේ එබඳු දෑ නොපැවැත්වේ. දඩ යාත‍්‍රා, දඩ කෙළි යනුවෙන් පැවැත්වුණු වසන්ත උත්සව බුදු දහම මෙරට පැමිණියායින් පසු බෞද්ධ මුහුණුවරක් ගෙන හිංසා පීඩාකාරී මදනෝත්සව වැනි දෑ ලක් බිමෙන් තුරන් වී ගියා යැයි අනුමාන කළ හැකිය.
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණ නව ගමනක් යෑමට පටන් ගැනීම අලුත් අවුරුදු උදාවයි. සූර්යයා වටා ඇති ග‍්‍රහ වස්තූන් ගමන් කරනු ලැබේ. එහෙත් අප පුරුදු වී සිටින්නේ සූර්යයා ගමන් කරන බව පැවසීමටයි. සිංහල මාස ක‍්‍රමයට අනුව මෙය සිදු වන්නේ බක් මාසයේදීය. සියවසකට පමණ ඉහත දී මැදින් මස අවුරුදු උදා වූ බව කියැවේ. ‘‘අපේ‍්‍රල්’’ යනු ‘‘විවෘත වීම’’ යන්නය. මහ පොළව සොබා දහම විවෘත වීම යනුවෙන් අදහස් කැරේ. ගස් කොළන් මලින් පලින් බර වූ අස්වනු නෙළා ගෙට ගත් වාසනාවන්ත කාලයකි, බක් මාසය.
ණය බරින් නිදහස් වීම, නිවෙස් පිරිසිදු කිරීම, ගොම මැටි ගෑම, හුණු පිරියම් කිරීම, ආහාර පාන වර්ග කැවිලි පෙවිලි සකස් කිරීම සහ අලුත් ඇඳුම් සකසා ගැනීම අවුරුද්ද එන විට කරනු ලබන කටයුතු ය. පරණ අවුරුද්ද සඳහා සඳ බැලීම සිදු කෙරේ. බදාදා වැනි සුභ දිනක නව සඳ දැකීම සිදු කොට ඇත. සියලූ දුකඳුරු තුනී කොට සෞභාග්‍යය උදා කිරීම එහි එක් අදහසකි. මෙය හින්දු සිරිතකි. පරණ අවුරුද්දට නෑමද ඊළඟට සිදු වේ. සිත කය පිරිසිදු කර ගැනීමෙන් තම තමන් වෙතින් අනිත් අයට සිදු වූ වැරදිවලට සමාව ඉල්ලනු ඇත. කණගාටුව ප‍්‍රකාශ කිරීම සහ නෑ හිත මිතුරන් බැහැදැකීම ද සිදු කෙරේ.
පළාත් හා පෙදෙස්බදව වෙනස්කම් පැවතිය ද සුභ නැකතට අලූත් අවුරුදු සිරිත් විරිත් ඉටු කිරීම වැදගත් බව පොදුවේ පිළිගනිති. මේ වටිනාකම් සහ ධර්මතා නැවත මතක් කොට ඉටු කිරීමකි. ගමේ නගරයේ විහාරගෙයි ඝණ්ඨාව නැකතට නාද කෙරේ. ගම සහ පන්සල අතර මනා සම්බන්ධයක් පැවතුණි. ඇතැම් මිනිස්සු අවුරුද්ද ලැබීමට පෙර ගමේ විහාරයට ගොස් වියළි ආහාර, කල් තබා ගත හැකි ආහාර දැකුම් කදක් ලබා දෙයි. පුණ්‍ය කාලය අවසානයේ ලිප් බැඳීම, ගිනි මෙළවීම. කිරිබත් පිසීමට කාලය එළැඹේ.
ඇතැම් තැන්වල කිරි උතුරුවා සශ‍්‍රීකත්වය, සෞභාග්‍යය අපේක්‍ෂා කෙරේ. තම නිවස අගහිඟකමින් තොරව ලෙඩ දුක් නැතිව පවත්වා ගැනීම ප‍්‍රාර්ථනා කෙරේ. අවුරුදු ගනුදෙනුව ගුණ යහපත් වත් පොහොසත්කම් ඇති කෙනකු සමඟ ඉටු කෙරේ. පෙර ගම්වල පැවති සිරිතක් නම් ළිඳ සමඟ ගනු දෙනු කිරීමයි. ගොවියකු නම් උදැල්ලෙන් බිම් කොටා වැඩ අල්ලනු ඇත. කිරි ගහකට කෙටීම, කිරි ගහක් සිටුවීම, කුඩා දරුවන්ට අත් පොත් කියැවීම ද සිදු කරනු ලැබේ. අලූත් ඇඳුම් පැළඳුම් ලබා දීම, බුලත් හුරුළු දී වැඩිහිටියන් නැමදීම නොයෙක් ගෘහස්ථ සහ එළිමහන් ක‍්‍රීඩාවල යෙදීම සිදු කෙරේ. සෑම කටයුත්තකදීම බුදුන්, දහම්, සඟුන් පෙරටුව සිදු කැරෙයි. පන්සිල් ගැනීම, ගාථා, පිරිත් සජ්ඣායනය, මෛත‍්‍රී කරුණාවෙන් ක‍්‍රියා කිරීම අපේක්‍ෂිතය. සුරා පානයෙන් වැළකී බෞද්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර ක‍්‍රම අනුව රංඩු සරුවල් නොවී සතුටින් සැහැල්ලූවෙන්, විනෝදයෙන් ධාර්මිකව ජීවත් වීමට අදිටන් කර ගනිති. මෙහිදී සාමූහිකව ජීවත්වීමට අදිටන් කර ගනිති. එනම් සාමූහිකත්වය අගය කැරෙයි. පන්සල සමඟ පවතින ළඟ සම්බන්ධකම් අනුව දැහැමෙන් සෙමෙන් ජීවත් වීමේ වැදගත්කම මෙහිදී තව දුරටත් අවධාරණය කැරෙයි. පූජ්‍ය බද්දේගම විමලවංශ හිමියෝ අපේ සංස්කෘතිය නම් ග‍්‍රන්ථයේ මේ ගැන විස්තර ලියා තැබූහ. පුරාණයේ නැකැත් ලියා අවුරුදු සීට්ටුව සකසා ගමට දෙනු ලැබේ.
දහමහ දෝසය අස්කිරීම, කුණු ටිකිරට බත් දීම යනුවෙන් කියැවෙන්නේ කිළි කුණු ඉවත් කොට පිරිසුදු වීම වැදගත් කටයුත්තක් බවයි. මහාචාර්ය දයා අමරසේකර, ඒ.කේ.ජී. ජයසිංහ හා ඒ. හේමන්ත කුමාර වැනි සමාජ විද්‍යාඥයෝ මේ ගැන ලිපි සැකසූහ. මාර්ටින් වික‍්‍රමසිංහ, මුණිදාස කුමාරතුංග ආචාර්ය නන්දදේව විජේසේකර, මහාචාර්ය විනී විතාරණ වැනි වියත්හු අවුරුදු සිරිත් විරිත් ගැනත් එහි ඇති බෞද්ධාගමික මුහුණුවරත් දක්වාලූහ. අවුරුදු උදාවේදී ඊට මුහුණ දිය යුත්තේ සිහි එළැඹ ගෙනය. ප‍්‍රමාද දෝස සිදු නොවිය යුතුය. අතපසුවීම්වලට ඉඩ නැත. හිතේ මෛත‍්‍රිය, කරුණාව සමඟ එකමුතුව සමඟියෙන් සහයෝගයෙන් සහජීවනයෙන් සාමූහිකව ක‍්‍රියා කිරීමෙන් එලොව මෙලොව යහපත් සරු ප‍්‍රතිඵල උදා කර ගත හැකිය. ගත පමණක් පිරිසිදු කොට කෙළෙස් නිවා ලියා නොහැකි බව බමුණන්ට, නිගණ්ඨයින්ට බුදුපියාණෝ දේශනා කළහ. එහෙත් සිරුර පවිත‍්‍රව තබා ගැනීමේ වැදගත් සෞඛ්‍යමය ක‍්‍රියාකලාපය බුදු රජහු දේශනා කළහ. ස්නානය සඳහා ඖෂධීය ගුණයෙන් නානු සකසා ගැනීම විහාරයෙන් සිදු කැරෙයි. නානු හිස ගැල්වීම භික්‍ෂූන් වහන්සේ නමක් වෙතින් සිදු වේ. නැතිනම් වෙදරාළ ඉටු කරන සිරිතකි. නානු ගා නා පිරිසුදුව සිත කය යහපත්ව පවත්වා ගැනීම සංවර්ධනය යන නූතන සංකල්පය තුළ පවා පිළිගන්නා අදහසකි.

ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

දිවි අරුත සරු කරන ගී


පොඩි දුවගේ සිනාවැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
පි‍්‍රය බිරිඳගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි

සෝමතිලක ජයමහ ගායන ශිල්පියාගේ හඬින් ශ‍්‍රවණය වන මෙම ගේ පද රචනාව අපේ සිතට චමත්කාරය ජනක හැඟුම් ගෙනෙයි. ‘‘මගේ නිවන මගේ පැල්පතයි’’ යන සංකල්පනාව හදවතට ජනිත කරවන්නේ ගැඹුරු අරුතකි. දූ පුතුන්ගේ සිනා, කතා මැද බිරියගේ සෙනෙහෙවන්තකම ලබන සැමියකුට කුටුම්භය තුළ දැනෙන සතුටෙ ප‍්‍රමාණය ගේ පද රචකයා කෙතරම් ඉහළ ගෙන ගොස් තිබේද යත් එය උපමා කර ඇත්තේ නිවනටයි. පළමු පද හතර පබැඳීමෙන්ම කුටුම්භ දිවියේ නියම විඳුම විදහාලයි.
නිවසෙ බාහිර අලංකරණය, වටපිටාව පිළිබඳ අංශු මාත‍්‍රයක තරමටවත් නොදැනෙන්නේ ගෘහපතියාට බිරිඳ සහ දරුවන්ගේ ස්නේහය ඒ බාහිර අලංකාරයන් යටපත් කරගෙන ලැබෙන නිසාම නොවේද?
කටු මැටි ගෑ බිත්තිපුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පිය විලිගුණ තුරුණු වගේ

දුක් පීඩා කෙතරම් තිබුණද පුංචි පැලේ මං ලබන්නෙ, පුදුමාකාර සුවයක්. ඉතා කෙටි සරල යෙදුම් ගෙනහැර පාමින් පද රචනාවේ යෙදෙන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ මෙම සංකල්පනාවෙන් අපට සිතන්නට තවත් යමක් ඉතිරි කර තිබේ. අන්න ඒ දේ වටහා ගැනීමට හැකිනම් පද රචකයාගේ නිර්මාණයේ ඵල ලබන්න හැකිවේවි.
ලබන නමුත් දුක් පීඩා
කූඩු උනොත් පුංචි පැලේ
අඹු දරුවන් අතර තුරේ
මට නිමි නැති සුවය දැනේ

ඉඩකඩම් ගේ දොර දේපල සොර සතුරන්ගෙන් ආරක්‍ෂා කිරීමේ අවදානමක් මොහුට නැත. ජීවිත තර්ජන බලාපොරොත්තු විය නොහැකිය. නමුත් ඔහු සතු වටිනාම සම්පතක් ඇත. එය කිසිවකුට මිල මුදලට, තර්ජනය කිරීමෙන් ලබාගත නොහැකි අමිල  සම්පතකි. ඒ ඔහු නිවනට ආදේශ කරන ඔහු පවුලේ සහයෝගීතාවයයි. මෙම ගීතයේ අර්ථ රසය බණක් ශ‍්‍රවණය කළාක් බඳුය. මේ කියාපාන්නේ සතුටින් ජීවත්වීමට සරල දිවිය සුදුසු බව නොවේද?

තනුජා එන්. අයගම
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

පුනරුත්පත්තිය හෙවත් නැවත ඉපදීම පිළිබඳව තවදුරටත්


අපේ මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද? ‘‘මැයෙන් අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පැවැත්වූ දේශනය ඇසුරෙන් පුනරුත්පත්තිය හෙවත් නැවත ඉපදීම පිළිබඳ උන්වහන්සේ දක්වන අදහස් කිහිපයක් පසුගිය ලිපියෙන් ඉදිරිපත් කළෙමු.
භවයෙන් භවයේ යන අඛණ්ඩ ගමන
ජීවිතය අඛණ්ඩ ගමනක් බවත්, ඔබ රාත‍්‍රියේදී නින්දට ගොස් පසුදා අවදි වෙන්නාසේ මෙම ජීවිතය මරණයෙන් කෙළවර වී තවත් ජීවිතයක් ආරම්භ වන බවත් පවසන උන්වහන්සේ හදිසි මරණ නොව වියපත්වීම් නිසා සිදුවන මරණ සිදුවෙන්නේ පංච ඉන්ද්‍රීයයන් එක එක ශරීරයෙන් වෙන්වීමෙන් සිදුවන ක‍්‍රියාවලියක් ලෙස බව දක්වයි.
මරණයට පත්වීමේදී ශරීරය අප අත්හැරයාමට, අපෙන් අතුරුදහන් වෙන්නට පටන්ගත්තාම සිදුවෙන්නේත් හරිම සුන්දර විදිහේ පහසුකමක්, නිදහසක්, සැනසිල්ලක්. එහෙම වුණාම යම් යම් දේවල් දැකීමේ, ඇසීමේ, රස විඳීමේ, ගඳ සුවඳ දැනීමේ, පහස ලැබීමේ රාජකාරිවලින් ඔබට නිදහස් වෙන්න ලැබෙනවා, අත්විඳින්න හැකිවෙනවා යැයිද උන්වහන්සේ පවසයි.
ශරීරයෙන් අවසාන වශයෙන් තුරන් වෙන්නෙ ඇසීමයි.
ඔබ භාවනා කිරීමේදී එක්කෝ ගැඹුරට, ඒත් නැත්නම් ඒ තරම් ගැඹුරු නොවෙන විදිහට භාවනා කිරීමේදී ඔබට කරදරයක් වෙන අවහිරයක් වෙන එක් දෙයක් නම් ශබ්දය විත්තිය ඔබ වැඩි දෙනෙක් දන්නා කාරණයක්. කාමරයෙන් පිටත බබෙක් හඬන සද්දෙට කෙනෙක් කහින විට ඒ හින්දා නැගෙන කැස්සේ සද්දය ඔබට හිරිහැරයක්, අවහිරයක් වෙනවා. මෙහෙම වෙන්නේ මක්නිසාද කියන්න ඔබ දන්නවා. ඔබ උදේම අවදි කරන්න එලාම් ඔරලෝසුවක් පාවිච්චි කරන්නේ මේ නිසයි. බුදුරජාණන් වහන්සේ පවා, උන්වහන්සේගේ ඉගැන්වීම්වලදී දක්වා ඇත්තේ පස් ඉඳුරන්ගෙන් අවසාන වශයෙන් අතුරුදහන් වෙන්නේ, නිමක් දකින්නේ, ශබ්දය කියන කාරණාවයි. ඒ නිසා ඔබ මරණයට පත්වෙමින් සිටින විට ඔබෙන් අවසාන වශයෙන් අතුරුදහන් වෙන්නේ ශබ්දයයි. භාවනාවේ නියැලී සිටින තැනැත්තකු භාවනාවෙන් අවදි කරන්නේත්, මේ ඉන්ද්‍රිය අවදිකිරීමේදී ඔබේ ඇසීම අවදි කිරීමෙනුයි. ටික දවසකට පෙර, උතුරු පර්ත්වලදී පැවැත්වූ භාවනා වැඩ සටහනකට සහභාගිවූ කෙනෙක් භාවනා වැඩ සටහන නිමකළ පසුත් ගැඹුරු භාවනාවේම නියැලී සිටියා. සමහරවිට ඔහු එතන සිටිද්දී අප එතනින් යන්න ඉඩ තිබුණා. ඒත් එතැන පිරිසිදු කරන්න ගිය මා ඔහු දැක, දැන් ඉතින් යන්න වේලාව හරි බව පෙනුණත්, ඔහු තවමත් භාවනාවේම නියැලී බිම වාඩිවී සිටියා. ඔහු ගැඹුරු භාවනාවෙන් ඉවතට ගැනීම මගේ වගකීමක් වුණා. ඔහුගේ සිරුරෙන් අල්වා හොල්ලනවා වෙනුවට කනට කිට්ටු කර කතාකර, මම ඔහු අවදි කළා. පස් ඉඳුරන්ගෙන් අන්තිමට අතුරුදහන් වෙන්නේ ශබ්දයයි.
මරණාසන්නවූවකු සමග සිටින විට
මෙය තේරුම් ගත්තාම මරණයට පත්වීමේ ක‍්‍රියාවලියේදී කෙනකු මරණාසන්න මූර්ජාවට වැටී සිටින බවත් ඔහුගේ අවසානය ලංවී ඇති බවත් දැනගත්විට, මියයමින් සිටින තැනැත්තාට ඔබ කතා කරන දේවල් බොහෝ විට ඇසෙන්න ඉඩ තිබෙනවා. සෙලවීම ස්පර්ශ කිරීමට වඩා අවසාන වශයෙන් ශරීරයේ අතුරුදහන් වෙන්නේ ඇසීමයි. භාවනාවේ ගැඹුරට යනවිට ඇසීම, දැකීම, ගඳ සුවඳ දැනීම, රස විඳීම, පහස විඳීම ආදි පස් ඉඳුරන් කෙමෙන් කෙමෙන් ඔබෙන් අතුරුදහන් වෙන බවත්, ඒ සමග ඔබට පුදුමාකාර පහසුවක්, නිදහසක් සිතේ සැනසීමක් දැනෙන බවත් භාවනාවේ නිරතවන ඔබ බොහෝ දෙනා දන්නා කාරණාවක්. පස් ඉඳුරන් අතුරුදහන් වෙත්ම ශරීරයේ වේදනා, රුදාවල්, අපහසුකම්වලින් අත්මිදෙන්න පුළුවන්කම ඔබට අත්විඳින්න ලැබෙනවා. අසනීප වී මරණයට පත්වීමේදී සිදුවෙන්නේ මෙයයි. වාසනාවකට වගේ දැන් නව වෛද්‍ය ක‍්‍රම අනුව මේ සඳහා මොෆීන් වැනි සිහි නැතිකරන බෙහෙත් සොයාගෙන තිබෙනවා. සමහර බෞද්ධයන් මරණාසන්න මොහොතට එළඹුනාම ඇතිවෙන දුක් වේදනාවන්ගෙන් මිදෙන්න කළ යුත්තේ කුමක්ද කියා මගෙන් අසනවා. මරණය පිළිබඳ ක‍්‍රියාවලිය පිළිබඳව සිත් කරදරකර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෝෆීන් වැනි සිහිනැතිකරන වේදනා සමනයක් භාවිතා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.
මගේ මව පිළිබඳ අත්දැකීමක්
ඒ මක්නිසාද කිව්වොත්, මරණය පිළිබඳ ක‍්‍රියාවලියේදී, ඔබේ මනස, හයවන ඉන්ද්‍රිය, ක‍්‍රියාකාරී වෙන්නේ මොළයේ ක‍්‍රියාකාරිත්වය නතර වුණාම, තවත් විදියකින් කිව්වොත් ඔබ මොළයෙන් නිදහස් වුණාම, ඇත්තටම සිදුවෙන්නේ අන්තිම මිනිත්තුවේදී සමහර විට වැඩිපුර, නැත්නම් සමහරවිට අඩුවෙන් ඔබට පැහැදිලිකමක් නැත්නම් නිර්මලබවක් අත්විඳින්න ලැබෙනවා. මගේ අම්මාගේ අවසාන කාලයේ මා මෙය අත්දුටුවා. ඇය බොහෝ වියපත්වී සිටියදී මා ඇය බලන්නට ගිය අවස්ථාවේදී ඇයට කොහොමටවත් මා හඳුනාගන්න බැරිවුණා. මා කවුරුන්දැයි ඇය හඳුනාගත්තේ නැහැ. මා ඇය සමග කතාබහ කරමින් සිටියා. ඒත් ඇය මා කවුරුන්දැයි දැනගෙන සිටියේ නැහැ. පුදුමාකාර දෙයක් නම්, ඇය සමඟ ගතකළ පැය දෙකක් පමණ කාලයේදී ඇය Monastry (වන අරම, ආරන්නිය) නම් වචනය පමණක් භාවිතා කළා.
මේ කියන්නේ මොනවාදැයි මගේ සහෝදරයාට තේරුම් ගන්න පුළුවන් වුණා. මගේ මව එවේලේ කතාබහ කළ දේවල්වලට මේ පන්සල නැත්නම් ආරාන්නිය කිව් වචනය කොහොමටවත් ගැලපුණේ නැහැ. නමුත් මේ පැමිණි සිටින තැනැත්තා සහ ‘පන්සල’ අතර සම්බන්ධයක් තිබුණු බව ඇයට අවසාන අවස්ථාවේ පැහැදිලි වුණා. මේ වගේ අසනීපවලට ගොදුරු වී, මරණයට ආසන්නවූවන්ට ඔවුන්ගේ අවසාන අවස්්ථාවේදී යටපත්වූ මතකයන් අවදි වූ අවස්ථා බොහෝමයි. ඔවුන්ගේ මතකයන් අවදිවෙනවා. ඔවුන්ට මෙතෙක් අමතකව තිබූ දේවල් පැහැදිලි වෙනවා. නිරවුල් වෙනවා. හේතුව තමයි මනස. බොහෝ කාලයක් මනස පාවිච්චි කිරීමට මොළය උදව් වුවත්, මොළය පාවිච්චි නොකර මනස පාවිච්චි කිරීමට හැකිවෙනවා. ජීවිතයේ අවසාන අවස්ථාවේදී මේ විදිහට මොළය මැරුණත් මනස සිරුරෙන් වෙන් වී ක‍්‍රියාකාරී වෙනවා.
අවසාන හුස්ම අදින මොහොතේ අවදිවී අවට බැලීම
දැන් මම මේ පන්සලට එන කෙනකු, සිය පියාගේ අවසාන මොහොත ගැන මට පැවසූ අත්දැකීමකික් ඔබට කියන්නම්. මේ කතාව කියූ තැනැත්තී සමහරවිට අදත් මෙතෙන ඉන්න ඉඩ තිබෙනවා. ඇය පර්ත්වල වාසය කරන කෙනෙක්. ඇගේ පියාගේ මරණාසන්න මොහොතේදී ඇයත්, ඇයගේ සහෝදරියක් ඇඳ දෙපසට වී සිටියා. මරණාසන්නව සිටි පියා සිහිසන් නැතිව සිටි අතර, ඔවුන් ඔහුගේ මරණය සිදුවෙනතුරු දෙපසට වී බලා සිටියා. අන්තිම හුස්ම හෙලමින් සිටි මොහොතේ එක් සහෝදරියක් ඇගේ පියාගේ අත අල්ලාගෙන සිටියා. මරණය කොයි මොහොතේදී සිදුවෙනවාදැයි ඔවුන් දැන සිටියේ නැහැ. මම ද මේ විදිහට මරණාසන්න සිටින ඇත්තන්ගේ අවසාන හුස්ම අදිනවා බලාගෙන සිටි අවස්ථා එමටයි. අවසාන මොහොතේ මේ කියන තැනැත්තා පිළිබඳ අමුතු යමක් සිදුවුණා. ඔහු අන්තිම හුස්ම හෙලීම නවතා, ඇස් දෙක හැර බැලුවා. ඉන්පසුව ඇඳ දෙපස සිටි සිය දූවරුන් දිහා  ඕනෑකමින් බැලූවා. මේ මොහොතේ කල්තියා කිසිම සූදානමක් නැතුව, එවේලේ ඇතිවූ සිතේ හැඟීම් නිසා මේ දූවරුන් දෙදෙනා ‘‘තාත්තේ, අපි ඔයාට ආදරෙයි’’ කියා කිව්වා. ඉන්පසු ඔහු ඇස්දෙක පියාගත්තා. ඔහු මියගියා. මේ සිදුවූ දේ ගැන පුදුම හිතෙන්න පුළුවන්. මිය ගිය තැනැත්තා හුඟාක් වෙලාවක් මරණාසන්නව සිහිසන්ව නැතිව සිටියා. අවසාන මොහොතේ ඔහු ඇස් හැර බැලුවා. දූවරුන් දෙදෙනාට අවසාන වචනය කියන්න ඉඩ ලැබුණා.
ශරීරයෙන් වෙන්වී සිටිමින් මනසට සිතීම හා වෙනත් ක‍්‍රියාකාරකම් ඉටුකිරීමේ හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම මනසට මොළයෙන් බැහැර වී ස්වාභාවිකව ක‍්‍රියාකාරි වෙන්නට පුළුවන් හැකියාවක් තිබෙනවා. ඔබේ මරණාසන්න මොහොතේ සිදුවෙන්නේ මෙන්න මේකයි. ඔබේ මනස නැත්නම් ඔබේ සිත, මොළයෙන් නිදහස් වී ක‍්‍රියාකාරී වීමයි. එවිට අවසාන මොහොතේ සියල්ල නිරවුල් වෙනවා.
මේ පිළිබඳ නොයෙකුත් සාක්ෂි පදනම් කරගත් සිද්ධි වාර්තා වී ඇති අතර, එවැනි වාර්තාවලින් ඔබේ ජීවිතයේ අවසාන මොහොතේ මනස ක‍්‍රියාකාරී වෙන්නේ කෙසේද යන්න අපට පැහැදිලි වෙනවා. මගේ මවගේ අවසාන මොහොත, මා අත්දුටු නිසා, මරණාසන්න වූ තැනැත්තකු සිය අවසාන මොහොතේ කිසියම් නිරවුල්තාවයකට තවත් විදියකට කිව්වොත් නිර්මලතාවයකට පත්වෙන හැටි මා දැක්කා.
මරණාසන්නවූවන්ගේ අත්දැකීම් (Nearly Death Experience)
හදිසි අනතුරුවලින් ක්‍ෂණිකව මියගිය තැනැත්තන් මරණයට පත්වීමෙන් පසු මනස ශරීරයෙන් වෙන්වී ගොස් සිදුවෙන දේවල් නිරීක්ෂණය කරමින් සිටීම පිළිබඳව අප‍්‍රමාණ සාක්ෂි තිබෙනවා. සිය මරණාසන්න අත්දැකීම් ඉංග‍්‍රීසියෙන් සඳහන් කරන විදිහට භැ්රකහ ෘැ්එය ෑංචැරසැබජැ  ගැන සඳහන් කරන බොහෝ දෙනෙක් මේ සමාන අත්දැකීම් අනාවරණය කර තිබෙනවා. මරණයට පත්වීමෙන් පසුව ශරීරයෙන් වෙන්වී ගොස්, ශරීරයක් නැතුව ඇසීම හා මනස හා දැකීම අත්විඳින්නට පුළුවන් වූ තැනැත්තන් විසින් සිය මරණාසන්න අත්දැකීම් සම්බන්ධව පසුව කළ ප‍්‍රකාශවලින් මේ බව සනාථ වෙනවා. තමන්ට ශරීරයක් නැතත්, තමන්ගේ මළ සිරුර මේසයක් මත නැත්නම් මොටර් රථයක බාවා තිබියදී සිදුවෙන දේවල් දැකගන්නට, අසන්නට පුළුවන් ව වූ බව මේ අය පවසනවා. මේ අය තාවකාලික මරණයට පත්වී, පසුව ප‍්‍රාණය ලැබ, ජීවත්වීමේ වාසනාව ලැබුවාට පසු, තාවකාලික මරණය සිදුවූ කාලපරිච්ඡේදය පිළිබඳ තමන් අත්දුටු දේවල් විස්තර කර තිබෙනවා. මේ ඇත්තෝ බෞද්ධයන්ම නොවෙයි. ලෝකයේ නන්දෙස ජීවත් වන විවිධ සංස්කෘතිවලට අයත් ඇත්තන්වීම විශේෂ කාරණයක්.
මේ පිළිබඳව තවදුරටත් කරුණු විමසා බලන්නට කැමැති කෙනෙක් ඇත්නම් මහාචාර්ය පිම් වැන් ලෝමල්ගේ (Pim Van Lommel)  වෙබ් අඩවියට පිවිසෙන්න. මේ මහාචාර්යවරයා ඕලන්දයේ විශ්ව විද්‍යාලයක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. ඔහු විසින් මරණාසන්න වූවන්ගේ අත්දැකීම් අලලා කළ පර්යේෂණවලින් අනාවරණය වූ සිද්ධි රාශියක් තිබෙනවා. කිසියම් හේතුවක් නිසා මරණයට පත් වී සිරුර මේසයක් මත හෝ වෙනයම් දෙයක් මත බාවා තිබියදී මනස සිරුරෙන් වෙන්ව ඉහළට පාවී ගොස් තමන්ගේ අත්හැර දමා ආ සිරුර දකිමින්, සිදුවෙන දේවල්වලට ඇහුන්කන්දෙමින් සිටි තැනැත්තන්ගේ අත්දැකීම් මේ කතාවලින් අනාවරණය වෙනවා.

බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.

සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම අප්‍රේල් කලාපයෙන්)

Friday, June 1, 2012

මෙන්න නියම නෑයෝ


‘‘සත්‍යං මාතා පිතා ඥානං
ධර්මෝ භූතා දයා සඛා
ශාන්තිඃ පත්නී ක්‍ෂමා පුත‍්‍රඃ
ෂඬේතේ මම බාන්ධවාඃ’’


(මව සත්‍යයයි. පියා ඥානයයි. දැහැමි බව සහෝදරයායි. දයාව මිතුරායි. ශාන්තිය භාර්යාවයි. ඉවසීම පුත‍්‍රයායි.
මේ මාගේ හැබෑ නෑයෝය.)


අපට නෑදෑයෝ ඉන්නවා. ඒත් ඒ හැම නෑදෑයෙක් ම ඇත්ත ම නෑදෑයෙක්ද කියලා දැනගන්න එක වටිනවා නේද? සමහරු නම් කියන්නේ  ඕනම දේකට නෑ කියන කෙනා නෑයා කියලා. බුදු හාමුදුරුවෝ නෑයා නිර්වචනය කලේ ඉතාම ගැඹුරු විදිහට.
‘‘විශ්වාසා පරමා ඥාති’’ යනු ඒ බුදු වදනයි. විශ්වාසය උතුම්ම නෑයයි යනු එහි තේරුමයි. සාමාන්‍යයෙන් අපි නෑකම් මනින්නේ ඇෙඟන් නැත්නම් ලේ පරම්රාවෙන්. ඒ කියන්නේ තාත්තා වෙන්නේ ඇෙඟන්. දුව පුතා වෙන්නෙත් ඇෙඟන්. සහෝදරකම් එන්නෙත් ඇෙඟන්. මෙකී ලේ සම්බන්ධකම නැතිනම් ශාරීරික පරම්පරාවට බුදු හාමුදුරුවෝ නෑදෑකම කියලා කිව්වේ නෑ. ඒක හුදෙක් කායික පරම්පරාවක් පමණයි. බුදු හාමුදුරුවෝ නෑදෑකම කිව්වේ විශ්වාසවන්ත කමටයි. ශාරීරික පරම්පරාවේ විශ්වාසවන්තයින් ඉන්න පුළුවන්. ඒත් එහෙමවත් හිතවත්කමක් නැති අය ඉන්න පුළුවන්. තමන්ට ලෙන්ගතු, දයාබර, ආදරය තියෙන ලේ පරම්පරාවට අයිති නැති අයත් නෑයෝ තමයි. ඇත්තට ම කියනවා නම් ඒ අය තමයි නෑයෝ. එහෙම නැතිව එක කුසේ ඉපදුන පලියට ම සියල්ලන් හිතවතුන් වෙනවාද?
සත්‍ය්‍ය තමයි අපේ අම්මා. තාත්තා ඥානයයි. ඥානවන්ත කමයි සත්‍ය තාවයයි. අම්මායි තාත්තයි වගේ වෙන්න පුළුවන් නම් මිනිහෙකුට කොයි තරම් වටිනවද?
නැණවත්කම පියකම තරම් වටින බව නේද ඉන් කියැවෙන්නේ. දැහැමි බවටයි සහෝදරකම කියන්නේ. නැතිනම් තමන්ට පෙර හෝ පසු මව් කුසේ උපන් පමණට නෙවෙයි සහෝදරකම කියන්නේ. මිතුරුකම කියන්නේ දයාවන්ත කමටයි, හිතෛෂීවන්ත කමටයි. නැතිනම් වාසියක් බලාගෙන ලඟින් ආශ‍්‍රය කරන එකට නෙමෙයි. භාර්යාව ශාන්ති. ඒ කියන්නේ භාර්යාවගේ නම ශාන්ති කියන එකට නෙවෙයි. ශාන්ති කියන්නේ ආශිර්වාදයයි. ඇඟට විතරක් බිරිය වෙන, ආශිර්වාද නොකරන කාන්තාව හැබෑ භාර්යාවක් නොවෙයි. ස්වාමි පුරුෂයෙක් වෙන්නෙත් ඇඟට නෙවෙයි. හැබෑ ස්වාමි පුරුෂයෙක් භාර්යාවට නුග සෙවණක් සේ සෙවණ සදනවා. මද පවනක් සේ සිසිල සදනවා. මෘදු කුසුමක් සේ සුවඳ පුදනවා. ඉවසීම දරුවෝ වගේ ඒ බව නම් අම්මලාට අප්පච්චිලාට හොඳට තේරෙනවා ඇති. හැබෑ නෑදෑකම හොයන් යන්ට මේ කරුණු ටික මිනුම් දඬු වෙයි.
 
පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. 
සංස්කෘත අධ්‍යයන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

දිවි අරුත සරු කරන ගී


සඳක් සදිසි ළඳක් කොහෙද
ලැසි ගමනින් යන
අසන්නට සිතයි ඔබගෙන්
වත ගොත යන තැන

ලාලිත්‍යයෙන් පිරි සුන්දර යුවතියක් අතරමගදී හමුවූ තරුණයෙක් ඇගෙන් ඇසූ ප‍්‍රශ්නයකි මේ.
ගියොත් කෙනකු යළිත් නොඑන
තැන ඇති කුඹුරක
පියා සී සායි මම බත
ගෙනයමි හනිකට

ඇගේ පිළිතුර ඇය, ඔහුට පැනයක් විසඳීමෙන් ලබා ගැනුමට සලසාලයි.
සොහොන් බිම අසල කුඹුරක
වෙහෙසෙයි තම පියා
ඔහුට ඇඹුල ගෙනයන ඔබ
කියන් කවුද කියා.

තරුණයා ඉතා ඉක්මනින් පිළිතුර සොයාගනී. සැනින් දෙවන ප‍්‍රශ්නය ඇයට ඉදිරිපත් කරයි.
පමාවේය හිමියනි මම ඔබගෙන් සමුගමි
නොමැරෙන යම් කෙනෙක් වේද ඒ නම මට හිමි

දෙවනවරටද ඇය පිළිතුරු සපයන්නේ පැනයක් විසඳීමෙන් ලබා ගැනුමටය.
අමරා දේවි ඔබ අමරාදේවි
තරුණයා බුද්ධිමත්ය. ඇගේ නම පමණක් නොව ඇගේ නුවණ ද ඔහු තේරුම් ගනී. පසුකලෙක ඔහු සරණ පාවා ගන්නේද ඇයයි.
ගීතයෙන් විදහාලන්නේ උම්මග්ග ජාතක කතා වස්තුවේ මහෝෂධ කුමරු සහ අමරා කුමරිය ප‍්‍රථම හමුවීමේදී සිදුවන කතාන්දරයයි.
එම කතාවේ ඔවුන් දෙපලගේ පැන-විසඳුම් අවස්ථාව ස්වර්ණදාස හේරත් ගී පද රචකයා අපූරුවට රචනා කර ඇත. කතා වස්තුවෙන් විදහාලන ප‍්‍රඥාව මනාලෙස ශ‍්‍රාවකයාට හඟවන සුළුය.
ඊට අනුරූප වන පරිදි දයාරත්න රණතුංග මහතාගේත් අමරා රණතුංග මහත්මියගේත් හඬ ගලායයි. ඒ හඬට ස්ටැන්ලි එම්. ප‍්‍රනාන්දු මහතාගේ සංගීත සුසංයෝගය කදිමය.
හේරත් මහතාගේ වදන් සරලය. එය සුගායනීයය. මෙම ත‍්‍රිත්වයේ එක්කාසුවේ අපූරු ඵලය නෙලාගන්නට නම් ඔබද බුද්ධිමත් විය යුතුමය.
වර්තමානයේ අසන්නට දකින්නට වෙන සිදුවීම්වල ආරම්භය අතරමග හමුවී ඉතා ඉක්මනින් සබඳතා ගොඩනඟා ගන්නා අයගෙනි.
මෙවන් ගීතවල අන්තර්ගතයට ළංවන්න ළංවන්න ඔබගේ ප‍්‍රඥාවද වර්ධනය වනවා නොඅනුමානය. ගීතයේ රසයෙන් ආනන්දයක් ලබනවා මෙන්ම එහි හරවත් බව තේරුම් ගෙන ආනන්දයෙන් ප‍්‍රඥාවට ළඟාවිය හැකිය.
තනුජා එන්. අයගම
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

මරණයෙන් පසු අපට සිදුවෙන්නේ කුමක්ද?


ඉංග‍්‍රීසියෙන් Reincarnation නැත්නම් Rebirth එය නමින්ද සිංහලෙන් පුනරුත්පත්තිය නැත්නම් නැවත ඉපඳීම නමින්ද හඳුන්වන සංසිද්ධිය මුල්කොට ලියැවී ඇති පත පොත රාශියකි. ඉදිරිපත්වී ඇති මතවාද හා මතිමතාන්තරද අප‍්‍රමාණය. සිදුකර ඇති පර්යේෂණ හා විමර්ශන ද එමටය. එම නිසා, මෙම ලිපිය කියවන ඔබ දැනුවත් මෙම විෂය පිළිබඳ කිසියම් මතයක එල්බ සිටින්නට ඉඩ කියයි. නොඑසේ නම් මේ පිළිබඳව තවදුරටත් කරුණු සෙවීමේ කුතුහලයෙන් පසුවෙන්නට ඉඩ තිබේ.
ඒ කෙසේ වුවත් කේම්බි‍්‍රජ් වැනි ලෝපතල විශ්වවිද්‍යාලයකින් ‍සෛද්ධාන්තික භෞතික විද්‍යාව හැදෑරූ, ඉනික්බිති අවුරුද්දක කාලයක් විද්‍යා ගුරුවරයකු ලෙස ගුරු වෘත්තියේ යෙදී සිටි, ඉන් අනතුරුව තායිලන්තයට ගොස් අවුරුදු නවයක කාලයක් වනගත සම්ප‍්‍රදායට අනුව මහණදම් පිරූ, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, එමෙන්ම අප‍්‍රමාණ අත්දැකීම් ඇති අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පුනරුත්පත්තිය නැත්නම් නැවත ඉපදීම පිළිබඳව පළකරන අදහස් නිසැක වශයෙන් මෙම විෂය පිළිබඳ ඔබේ අවබෝධය පුළුල් කරනු ඇත. නැවත ඉපදීම පිළිබඳ ඔබේ සිතේ යම් සැකයක් ඇත්නම් එය දුරලීමටද උන්වහන්සේ ඔබට උදව් වෙනවා ඇත. එමෙන්ම නැවත ඉපදීම ගැන දැනගත යුතු දේවල් දැන වර්තමාන ජීවිතය සාර්ථක කරගැනීමටත්, මරණයට නොබියව මුහුණ පෑමටත් ඔබට, මහත් ආලෝකයක් හා ශක්තියක් ලබා දෙනු ඇත.
ඒ අනුව ජීවිතයට දහම් පාසල සඟරාවට සිනාසෙන සුදු හාමුදුරුවෝ නමින් අප සපයන ලිපි මාලාවේ ඉදිරි ලිපි කිහිපය අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ අපේ මරණයෙන් පසු අපට සිදුවන්නේ කුමක්ද? මැයෙන් ඉදිරිපත් කළ දේශන ඇසුරෙන් සකස් වේ.
අපේ මරණයෙන් පසුව අපට සිදුවන්නේ කුමක්ද?
ඉහත මාතෘකාව යටතේ උන්වහන්සේ පැවැත්වූ දේශනයේදී දැක්වූ අදහස් කිහිපයකින් මෙම ලිපි මාලාව ආරම්භ කරන්නෙමු.
‘‘ඔබට ඔබේ මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්ද? යන්න පිළිබඳව ගැඹූරු භාවනාවන්හි නිරතවී සිටින විට මනා වැටහීමක් ලබාගත හැකිවෙනවා. මේ හැර මරණයෙන් පසුව ඔබට සිදුවෙන්නේ කුමක්ද පිළිබඳව සාක්ෂි පාදක කරගත් යම් යම් අනාවරණ තිබෙනවා. තාවකාලිකව මරණයට පත්වී, මනස සිරුරෙන් වෙන්වී, ආපසු මනස සිරුරට එක්වූ තැනැත්තන්, එම විරාමය නැත්නම් තාවකාලික මරණය හා නැවත ප‍්‍රාණය ලැබීම අතර කාලය තුල ලත් අත්දැකීම් පිළිබඳ අනාවරණවලින් මරණයෙන් පසුව සිදුවන්නේ කුමක්ද පිළිබඳව අවබෝධ කරගැනීමට අප‍්‍රමාණ සාක්ෂි තිබෙනවා. ඒ හැර ස්වල්ප දෙනකුට ඔවුන්ගේ පෙර ජන්මය පිළිබඳ මතකයක් තිබෙනවා. මෙය සමහරවිට සමහරුන්ට නිරායාසයෙන්ම ලැබෙන්නක්. තවත් සමහරුන්ව පුහුණු කිරීමෙන් ලඟාවිය හැකි තත්ත්වයක්.’’
මරණයට පත්වීමට ආසන්න වූ විට ඔබට සිදුවන්නේ කුමක්ද?ජීවිතය කියන්නේ අඛණ්ඩ ගමනක්. ඔබ රාත‍්‍රියේදී නින්දට ගොස් පසුදා උදේ අවදි වනවිට උදේ අවදි වුණේ රාත‍්‍රියේ නින්දට ගිය පුද්ගලයාමයි. සමහරවිට නින්දට යන්නට පෙර සිටියාට වඩා තරමක් වයස්ගතවී තිබුණත් උදේ අවදිවන්නේ රාත‍්‍රී නින්දට ගිය තැනැත්තාමයි. ඔබ මරණයට පත්වූවාට පසුවත් සිදුවෙන්නේ මෙයම තමයි.’’
‘‘අප මරණයට පත්වීමට ආසන්නව සිදුවෙන්නේ කුමක්ද කියා විමසීමේදී මා අවධානය යොමු කරන්නේ අනතුරකින් නැත්නම් ශල්‍යකර්මයක් මැද්දෑවේ සිදුවූ හදිසි මරණයක් ගැන නොව අසනීපයකින්, වියපත්වීමකින් නැත්නම් රෝගාතුර වීමකින් වැනි දෙයකින් සිදුවෙන සෙමින් මරණයට පත්වීමක් ගැනයි. එය සිදුවෙන්නේ අපේ පංචේන්ද්‍රිය, ඒ කියන්්නේ ඇසින් දැකීම, කණෙන් ඇසීම, නාසයෙන් සුවඳ දැනීම, දිවට රසය දැනීම, කයෙන් පහස ලැබීම ආදිය එකිනෙක අකර්මන්‍ය වීමෙන් නැත්නම් එම ඉඳුරන්ගේ ක‍්‍රියාකාරීත්වය ශරීරයෙන් වෙන්වීමෙන්. බෞද්ධ භික්‍ෂුවක් විදියට බොහෝ දෙනකු මරණාසන්නව සිටි අවස්ථාවලදී මරණය සිදුවෙන්නේ කෙසේදැයි දැක බලා ගැනීමට මා භාග්‍යවන්ත වී තිබෙනවා.
මරණය පසිඳුරන් අතුරුදහන් වීමෙන් සිදුවෙන ක‍්‍රියාවලියක්
මරණය සිදුවෙන්නේ, විශේෂයෙන්ම වියපත් වූවකුගේ, රෝගාතුරවූවකුගේ, එහෙම නැත්නම් කිසියම් ලෙඩක් නිසා මරණාසන්න වූවන්ගේ මරණය සිදුවෙන්නේ සෙමින්. මම මුලින්ම මේ විදිහට සිදුවෙන මරණ දැක්කාම මරණය සිදුවෙන්නේ මෙන්න මේ වේලාවටයි. අටටයි නැත්නම් නමයටයි කියා කියන්න බැරි මිනිත්තු ගණනක් තිස්සේ සිදුවෙන ක‍්‍රියාවලියක් පටන් අරගෙන සෙමින් සෙමින් අවසානයට පත්වෙන ක‍්‍රියාවලීන්  හිටිහැටියේ සිදුවන දෙයක් නොව ක‍්‍රියාවලියක් යැයි මා කියන්නේ මේ නිසයි. මෙය මුළු ජීවිතයම තේරුම් ගැනීමට බොහෝම ප‍්‍රයෝජනවත් වෙනවා. තව විදියකින් කිව්වොත් තවත් ඉතින් ඇසීමක්, දැකීමත්, ගඳ සුවඳ දැනීමත්, රස විඳීමත්, ස්පර්ශයත් සිරුරට දැනෙන්නේ නැහැ. කෙනකු මරණයට පත්වූ බව අප දැනගන්නේ මෙන්න මෙහෙමයි.
ඒත් අපි කෙනෙක් මැරුණය සිතමින් හඬා දොඩා වැළපෙද්දිත් ඔහු හෝ ඇය තවමත් ජීවත්වෙමින් සිටින්න පුළුවන්. අපි ඒ තැනැත්තා මරණයට පත්වූවායැයි තීරණය කළත්, හෙදියන් නැත්නම් වෛද්‍යවරුන්ට මරණය කරා ආසන්න වෙමින් සිටින තැනැත්තාගේ ඇස්වල ජීවයක් දකින්න පුළුවන් වෙන්න ඉඩ තිබෙනවා.
භාවනාවේදී සිදුවෙන්නේ මේකම තමයි
භාවනාව තුළින් මා වටහාගත් එක් දෙයක් තමයි, භාවනාවේදී සිදුවෙන්නේ මෙන්න මේ ක‍්‍රියාවලියමයි කියන එක. භාවනාවේ ගැඹුරට යනවිට ඔබේ සිරුරෙහි ම පස් ඉඳුරන්ම සිරුරෙන් අතුරුදහන් වෙනවා. ඔබ භාවනාව සඳහා හිඳගත්විට ඔබට මේ වගේ  අත්දැකීමකට, ආසන්න අත්දැකීම් අත්විඳින්න පුළුවන් වෙනවා. ටිකෙන් ටික ඔබට ඔබේ අත්, පය, සිරුර එහා මෙහා කරන්නට බැරිව සිරුර ඔබෙන් අතුරුදහන් වෙනවා. සෙමින් සෙමින් මරණයට පත්වීමේදී සිදුවෙන්නෙ මේකම තමයි. හැබැයි ඔබ භාවනා කිරීමේදී මිය යන්නේ නැහැ. ඔබට භාවනාව නිමකොට සිහි එලවා ගන්න පුළුවන්  වෙනවා. නමුත් මරණයේදී එය නිමක් දකිනවා. පස් ඉඳුරන්ව සිරුරෙන් අතුරුදහන්වී අවසානයට පත්වෙනවා. සිරුර පංච ඉන්ද්‍රියන්ගෙන් ලබාගත් වින්දනයන් සහමුලින්ම නැත්තටම නැතිවී යනවා. මේ විදියට භාවනාව නිසා පසිඳුරන් ඔබේ ශරීරයෙන් අතුරුදන්වීමෙන් ඔබට විශාල සැහැල්ලූවක්, සතුටක්, සැනසීමක් අත්විඳින්න ලැබෙනවා.   
ගැඹුරු භාවනාවේදී සිදුවූ සැබෑ සිද්ධියක්.
ගැඹුරු භාවනාවේදීත් සිදුවෙන්නේ මෙයම තමයි. මා මේ සම්බන්ධ සිද්ධියක් දැන් ඔබට කියන්නම්. මා මේ කියන්න යන්නේ මෙහි අපේ දායකයකු සම්බන්ධ සිද්ධියක්. අද සැඳෑවේ නම් ඔහු මෙහි ඇවිත් නැහැ. ඔහුගේ අවසර ඇතිව මම මේ කතාව මගේ පොතකද පළකළා.
ඔහු ඉතා ගැඹුරු භාවනාවන්හි නියැලෙන කෙනෙක්. දවසක් ගෙදර, කාමරයේදී ගැඹුරු භාවනාවකට සමවැදී සිටි ඔහු ගැන විපරම් කළ ඔහුගේ භාර්යාව තම සැමියා කිසිම සද්දයක් නොකර නිසොල්මන්වී සිටින හැටි දැක්කා. ඇඟපත අල්ලා සෙලවූවත් ඔහු අවදි වුණේ නැහැ. තම සැමියා මරණයට පත්වෙන්නට ඇතැයි සිතූ ඇය, ගිලන් රථයක් කැඳවා ඔහු චාල්ස් ගාර්ඩන් රෝහලට රැගෙන ගියා. රෝහලේදී ECG හා EEG  පර්යේෂණවලින් ඔහුගේ හෘද වස්තුවත්, මොළයත් සක‍්‍රීයව තිබෙනවාදැයි පිරික්සුවත් ඒවා අකර්මන්‍ය වී තිබුණා. පරීක්‍ෂණයේදී ELG හෘදවස්තුව දිගු වේලාවක් තිස්සේ ස්පන්දනය නොවන බවත්, EEG පරීක්‍ෂණයේදී මොළය අක‍්‍රියව ඇති බවත් අනාවරණය වුණා. ඉන්පසු විදුලිසැර වැද්දීම්, පපුව තෙරපීම වැනි නොයෙකුත් හදිසි ප‍්‍රතිකාර කළත් ඔහු ජීවත්වෙන ලකුණක් දැක ගන්නට ලැබුණේ නැහැ. මේ අතරවාරේ ඔහු, ඔහුගේ භාවනාව නිමකොට, පියවි සිහියට එළඹුණා. ඔහු භාවනාව නිමකළ සැනෙන් ECG යන්ත‍්‍රයත්, ක‍්‍රියාකාරී වෙන්නට පටන් ගත්තා. ඔහු වටපිට බලනවිට තමා රෝහලක සිටින්නේ මක්නිසාදයැයි විශ්මයට පත්වුණා. වෛද්‍යවරු බොහෝම කඩිනම් පරීක්‍ෂණයක් කළත් ඔහු ගැන කියන්නට කිසිම වරදක් නැති බව හෙළිවුණා. ඉන්පසු ඔහු ආපසු ගෙදර ගියා. ඇත්තටම ඔහු රෝහලේ සිට ආපසු පයින්ම ගෙදර ගියා. පයින් ආ හැකි තරමට ඔහු නිරෝගීව සිටියා.
විශ්මයජනක කාරණය නම් මේ කියන මුළු කාලය තුළ ඔහු හොඳ සිහියෙන්, සෝදිසි ඥාණයෙන් යුක්තව සිටීමයි. මා මේ කතාව කිව්වේ මේ කතාවට සම්බන්ධ තැනැත්තා මෙහි එන යන අයකු කියාත්, ගැඹුරු භාවනාව තුළින් සිදුවෙන්නේ කුමක්දැයි හඳුනාගැනීමට මේ කතාව ප‍්‍රයෝජනවත් වන නිසාත්ය. මේ විදිහට මොළයේ ක‍්‍රියාකාරීත්වය නතර වූ විට සිදුවෙන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙවැනි සාක්ෂි අප‍්‍රමාණව තිබෙනවා. මෙවැනි අවස්ථාවල තාවකාලිකව මරණයට පත්වීමක් සිදුවෙන නිසා අපි මෙවැනි අවස්ථා මරණාසන්න අත්දැකීම් ලබාදෙන (Near Death Experience) අවස්ථාව ලෙස හඳුන්වනවා. දීර්ඝ කාලීන ලෙස, සහමුලින්ම මරණයට පත්වීම, අපි මරණය නමින් හඳුන්වනවා. මොළයේ කි‍්‍රයාකාරීත්වය නතර වුණාම සිදුවෙන්නේ කුමක්ද යන්න ඒත්තු ගැනීමට මේ මඟින් යම් යම් සාක්ෂි අපට ලබාදෙනවා. මොළයේ ක‍්‍රියාකාරීත්වය නතරවීමෙන් සිදුවෙන තාවකාලික මරණය පිළිබඳ වැදගත්ම කාරණය නම් එය ඉතා ආනන්දජනක අත්දැකීමක් වීමයි. ප‍්‍රමෝදජනක අත්දැකීමක් වීමයි. මේ අත්දැකීම අත්විඳි සියල්ලන්ටම එය එසේමයි.

බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.
සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

හොඳම දවස අදයි


වින්සන්ට් පීල් මහතා හමුවීමට උදෑසනම එක්තරා පුද්ගලයකු පැමිණ සිටියේය.
‘‘මට හරියට ප‍්‍රශ්න තියෙනවා. මේ දවස්වල කරන කිසිම වැඩක සාර්ථකත්වයක් දකින්න නැහැ. හැමදාම උදේ අවදිවෙන්නේ හිසේ ලොකු බරක් තියාගෙනයි.’’
ඔහුගේ මැසිවිලි හා දුක්ගැනවිලි සියල්ල සන්සුන්ව අසා සිටි වින්සන්ට් පීල් මෙසේ පැවසීය.
‘‘අද ඉතා සුබ දවසක් බව සමහර විට ඔබ දැනගෙන හිටින්න නැතුව ඇති.’’
‘‘ඇත්තටම අද සුබ දවසක්ද? මම ඒ ගැන දැනගෙන හිටියෙ නැහැ.’’
‘‘දැන් මම සූදානම්ව හිටියේ හිත ගත දෙකම සන්සුන් කරවන අන්දමේ අභ්‍යාසයක් ප‍්‍රගුණ කරන්නයි. මෙය ඉතාම පැරණි අභ්‍යාසයක්. නවීන අය බොහෝ දෙනකු මේ ගැන දන්නෙ නැහැ. ඔබත් ඇයි මේ ක‍්‍රමය අත්හදා නොබලන්නේ?’’
තියෙන කරදර මදිවාට තව මොන අභ්‍යාසද යනුවෙන් අමුත්තාට සිතිණි. උදෑසන ලාහිරු රැස් සහිත ගෙමිදුලේ හාන්සි පුටු දෙකක් විය. වින්සන්ට් මහතා එක් පුටුවක සුවපහසු ලෙස හාන්සි වී අමුත්තාටද ඇරැුයුම් කළේය.
‘‘දැන් ඊළඟට මොනවද කරන්න ඕනෑ?’’
අමුත්තා විමසීය.
‘‘කිසිම දෙයක් අමුතුවෙන් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. හොඳ සැප පහසුවට ඔය පුටුවේ දිගා වෙලා අර ලස්සන අහස දිහා බලන්න. මේ පිරිසිදු නැවුම් වාතය පෙනහළු පුරා හුස්ම ගන්න. දැනට එපමණයි.’’
‘‘මේක අභ්‍යාසයක් නොවෙයිනේ? සාමාන්‍යයෙන්  ඕනෑම කෙනකු කරන දෙයක්නේ?’’
‘‘මෙහිදී ඔබ නොදන්න විශේෂත්වයක් තිබෙනවා. ඔබ සාමාන්‍යයෙන් නිවසේදී කරන්නේ පුටුවේ හිඳගෙන ප‍්‍රශ්නවලින් ඔලූව පුරවාගන්න එකයි. එහෙත් දැන් අපි කරන්න හදන්නේ අපේ ප‍්‍රශ්න එකින් එක ඉහළ හිස් අහසේ අනන්තයටම මුදාහරින එකයි. ඔබේ ගැටළුව හිස මතින් ගුවනට මනසින් විද දමන්න. එය කුඩා තිතක් බවට පත්වී නොපෙනී යන තුරුම.’’
අමුත්තා නිහඬවම හිස් අනන්තයට සිය දෙනෙත් යොමන්නට විය. අඩහෝරාවක් පමණ එසේ ගතවන්නට ඇත. උණුසුම් තේ බඳුන් රැගෙන සේවකයකු පැමිණ සිටියේය. අමුත්තාගේ විඩාබර කනස්සලූ පෙනුම පහවී ගොස් තිබිණි.
‘‘ඇත්තටම එය ඵලදායකයි.’’
‘‘මේ අපූර්ව විශ්ව ශක්තියෙහි ඔබව සුවපත් කිරීමට බලය තිබෙනවා. අද දිනය ඉතා ශුභ දිනයක් බව මා පැවසුවා මතකද? බලන්න. ඔබත්, මමත් ජීවත් වන්නේ අද. මේ මොහොතෙදි අප කිසිම උපද්‍රවයක් නැතිව සුවසේ හුස්ම ගනිමින් ඉන්නවා. අනෙකුත් හැම ප‍්‍රශ්නයක්ම පවතින්නේ ජීවිතයට ඉතාම පහළින්. එම ගැටළු විසඳාගැනීමට විශ්ව ශක්තිය ආධාර කරගැනීමේ එක් අභ්‍යාසයක් තමයි ඔබ දැන් ප‍්‍රගුණ කළේ?’’
‘‘අද ඉතා ශුභ දිනයක් බව ඔබ පැවසූයේ පෙරදිග ජ්‍යෙතිෂ ශාස්ත‍්‍ර ගැන ඔබගේ විශ්වාසය තිබෙන බැවින්ද?’’
‘‘නැහැ. මා එය හදාරා නැහැ. එහෙත් උදාවන හැම දිනයක්ම ඉතා ශුභ දිනයක් බවට පත්කරගැනීමේ මන්ත‍්‍රයක් මා උදෑසන තුන්වරක් ජප කරනවා.’’
‘‘ඇත්තටම මා එය ඉගෙන ගැනීමට කැමැතියි.’’
විශ්වයේ මහිමයෙන් මා ලැබූ මේ දිනයෙහි ප‍්‍රීතියෙන් හා සතුටින් ගත කරමි.
‘‘ඔය තමයි මා ජප කරන මන්තරේ. ප‍්‍රීතියෙන් හා සතුටින් ජීවත්වීමේ පුරුද්ද ඇතිකර ගන්න මාගේ මිත‍්‍රයා, එවිට උදාවන හැම දවසක්ම ශුභ දවසක් වේවි.’’
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම මාර්තු කලාපයෙන්)

හදවත දිනන රහස


‘‘මා අකමැති කිසිම පුද්ගලයකු මා හට මෙතෙක් මුණගැසී නොමැත.’’
ධනාත්මක චින්තකයකු වන වින්සන්ට් පීල් නම් අමෙරිකානු ජාතිකයා එසේ පවසා ඇත. ඔහු එවකට ජීවත් වූ සමාජයේ ඉතා ජනප‍්‍රිය පුද්ගලයකු විය. ඉතා ධනවත් ව්‍යාපාරික මිතුරු පිරිසක් ඔහුගේ ඇසුර නිරතුරුවම පැතූහ.
වින්සන්ට් පීල් මෙතරම් ප‍්‍රියමනාප වූයේ ඇයි? ඔහු හැමදෙනාගේම හදවත් දිනා ගත්තේ කෙසේද?
ඔහු සෑම දෙයක් පිළිබඳවම සුභවාදී ආකල්ප දැරූවෙකි. එක් තද වැසි සහිත දිනයක තම අසල්වැසියාගේ ගරාජය තුළට වැසිදිය සමග රොන්මඩ ගලාවිත් එතුළ වූ සියල්ල අපවිත‍්‍ර වී තිබිණ. අසල්වාසී ටොම් මේ පිළිබඳ මහත් කනස්සල්ලට පත්වී සිටියේය.
‘‘මේ බලන්න ටොම්, ඔබ හුඟ කාලෙකින් ගරාජය ශුද්ධ පවිත‍්‍ර කරල නැහැ. දැන් ඔබට හොඳ අවස්ථාවක් ඇවිත් තියෙන්නෙ මේක පිරිසිදු කරල දමන්න.’’
වින්සන් සිය අසල්වැසියා ධෛර්යමත් කරවීය.
‘‘මා හට මුණගැසුණු සෑම පුද්ගලයකු
තුළම තිබෙන හැකියාවන් මම හඳුනාගත්තා. ඔවුන් හට ජීවිතයේ සුභවාදී පැත්ත පෙන්වා දුන්නා. ඔවුන් ධෛර්යමත් කළා.’’
‘‘මිතුරුදමක් ගොඩනගා ගැනීම වෙනුවෙන් ඔබ සතයක්වත් වැය කළ යුතු නැහැ. වැඩි මහන්සියක්ද දැරිය යුතු නැහැ. එහෙත් ආත්මාර්ථකාමී බවින් තොරවම ඔබ ඔවුන් ප‍්‍රිය කළ යුතුයි.’’
වර්ෂ 1953 දී (Guidepost) ගයිඞ්පෝස්ට් නම් මාසික සඟරාවේ ඔහු එසේ සඳහන් කොට තිබිණි. හදවත් දිනන රහස් පියවර දහයක් ලෙස එහි සඳහන් විය.
1. කෙනකුගේ නම මතක තබා ගන්න.  ඕනෑම අයකු හට තමාගේ නම ඉතා වැදගත්.
2. සැමවිටම සැහැල්ලූ ගති පැවතුම් ඇතිකර ගන්න. එවිට ඔබ ළඟ සිටින්නා අසීරුවට පත් නොවේ.
3. අනවශ්‍ය ලෙස හදිසිකාරයකු නොවන්න. එවිට ඔබේ දෛනික කටයුතු පහසු වෙනවා මෙන්ම ඔබේ මිතුරන්ද සැහැල්ලූවට පත්වනු ඇත.
4. ඔබේ අදහස පමණක් ඉස්මතු වන සේ කටයුතු නොකරන්න. සාවධානව අන් අයගේ අදහස්වලටද ඇහුම්කන් දෙන්න. ඔබට රස දේ තව කෙනකුට
වස විය හැකිය.
5. ප‍්‍රිය මනාප බව ඇතිකර ගැනීමට හුරුවන්න. ඔබේ කාරුණික, සංවේදී බව වඩාත් ප‍්‍රියමනාප පුද්ගලයකු බවට පත්කරයි.
6. ප‍්‍රසිද්ධියේ නාසය සීරීම්, කෙළ ගැසීම් වැනි පුරුදු ඔබගේ චරිතයෙන් ඈත් කර දමන්න.
7. ඔබේ දුර්ගුණයන් තිබේ නම් එයින් ක‍්‍රමක‍්‍රමයෙන් අත්මිදෙන්න. මැසිවිලි නැගීම් හා නෝක්කාඩු කීම් ඔබේ මුවින් පිටවීම වළක්වා ගන්න.
8. ඔබ අවංකවම මිනිසුන් අගය කිරීමට හුරුවන තුරුම එය නොකඩවා කරගෙන යන්න.
9. කෙනකුගේ සුළු ජයග‍්‍රහණයකදී පවා සුභ පැතීමට අමතක නොකරන්න. එමෙන්ම කෙනකුගේ විපතකදී අවංකවම ශෝකය ප‍්‍රකාශ කරන්න.
10. යහපත් දෙයක් ඔබේ මිතුරන් හට දිය හැකි බව විශ්වාස කරන්න. ධෛර්යමත් කිරීමෙන් හා යහපත් දේ පෙන්වා දීමෙන් ඔවුන් ශක්තිමත් කළ හැකිය. ඔවුන් විසින් පෙරළා ලබා දෙනු ලබන ගෞරවනීය ලයාන්විත බව ඔබව ශක්තිමත් කරනු ඇත.
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම පෙබරවාරි කලාපයෙන්)

දිවි අරුත සරු කරන ගී

සිනහවෙන් හෝ කතාවෙන් බෑ
මනින්නට මිනිසා.....
සිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා.....

පුද්ගලයාගෙන් පුද්ගලයාට මිනිසා වෙනස්ය. එම වෙනස හොඳ හෝ නරක විය හැකිය. එය එසේ වෙද්දී ඔබ කුමන ගොඩට අයත්විය හැකිද යන්න ඔබගේ හදවත ඔබට කියයි. නමුදු ඔබ අයත්විය යුත්තේ කුමන ගොඩටද යන්න සිතා බැලීමට ඔබට නොහැකි යැයි සිතිය නොහැක.
ඉහත ගීතය ලියා තිබෙන්නේ  ඕනෑම කෙනකුට ශ‍්‍රවණයෙන්ම යමක් වටහාගන්නට හැකි අයුරිනි. එහි බැරෑරුම් ලෙස කිසිවක් රචනා වී නැත. ලොකු කුඩා සැමට වරක් ඇසූ සැනින් අරුත වැටහේ.
මිනිසුන්ගේ නුගුණ රචකයා උපහාසාත්මකව යොදා ඇත්තේ අසන්නාට දනවන ලෙසය.
පද රචනය ශ‍්‍රාවකයා තුළට කාවද්දන්නේ මොහිදින් බෙග් ගායකයාය. මුල් ගායනය ඔහුගේ වුවද පියාගේ පාරේ යමින් අද ඉෂාක් බෙග් ගායකයා ද ශ‍්‍රාවකයාට එම ගීතයේ වටිනාකම ඒ අයුරින්ම ලබාදෙයි.   
ලෝකයේ පර විසක් නැත වෙන මිනිස් විස වාගේ.....
සැප විඳී පණ ගියත් පැගී
අනෙක් මිනිසාගේ..... 

වර්තමානයේ අසන්නට දකින්නට ලැබෙන මිනිස් ගති පද රචකයා තදින්ම විදහා දක්වයි. එය දෙවන, තුන්වන කොටස් වල අගට යොදා ඇති ගී ඛණ්ඩ මනාව ඔප්පු කරයි.
ඉතාම හැඟීම්බරව අසන්නාට ගායකයා පවසන්නේ මිනිස්ගති ස්වභාවයයි. එම මිනිස්ගති කොයි ආකාරයෙන් පැවතියත් දිනෙක යුක්ති ධර්මය ජයගන්නා බව ගීතයේ අවසන් පද පේලි කියාපායි. එය පද රචකයා සමාන කරන්නේ ඉරුගේ දිලිසෙන ආකාරයටයි.
‘‘යුක්ති ධර්මේ ජයගනීවී
දිලෙන ලෙස දිනිඳා.’’  

ඉදින් මෙම හැබෑව තේරුම් ගැනීම දිවි සරුකර ගැනීමට හේතුවේවි.

තනුජා එන්. අයගම
(උපුටා ගැනීම පෙබරවාරි කලාපයෙන්)

Saturday, May 26, 2012

අඳ නෙතින් මග හොඳින් දුටු මිනිස්සු



මගේ කුළුදුල් දරුවා ඉපදුන වෙලාවෙ මං දොස්තර මහත්තයාගෙන් මුලින්ම ඇහුවෙ එයාගෙ ඇස් පේනවද කියලා. දොස්තර මහත්තය ඔව් කිව්වාම මගේ හිතේ ඇතිවුන සතුට මෙතෙකැයි කියන්න බෑ. අපි දෙන්නගෙම ඇස් පේන්නෙ නැති නිසා මං හිතුවා දරුවටත් ඒක බලපායි කියලා. හිතේ ඇතිවුන සතුට හුඟක් වෙලා නොතිබුනෙ දොස්තර මහත්තයා කියපු ඊළඟ කතාවට, දරුවගෙ කකුල් දෙකේ ආබාධයක් තියෙනවා. මම ඉක්මනට දරුවා අරගෙන එයාගෙ කකුල් දෙක අතගෑවා. දෙයියනේ....... එයාගෙ කකුල්වල පහළ කොටස ඒ වේලාවෙ මට දැනුණෙ ඇඹරිලා වගේ. මගේ පපුව හෝස් ගාලා පත්තුවුණා. අපේ වට පිටාවෙ ඉන්න අය අපට කීවා ඔයදෙන්නට ඇස් පේන්නේ නෑ. මේ ආබාධිත දරුවා ඔය දෙන්නට හදන්න බෑ. දරුවා කාටහරි භාර දෙන්න කියලා. අපි කැමති වුණේ නෑ, දරුවා කාටවත් දෙන්න. අපි අධෛර්යමත් වුණෙත් නෑ. අපි දරුවාව කොහොමහරි උස්මහත් කරමු යන අධිෂ්ඨානය අපි දෙන්නා තුළම තිබුණා. වෑගොව්ව, අලූතැපොළ, අංක 45/A නිවසේ  පදිංචි ඉෂානි කුමාරි පතිරන දියණියගෙ මව ඒ. එන්. නිමාලි සෙනෙවිරත්න මහත්මිය තම කුළුදුල් දියණිය උපන් අවස්ථාවේ ඇතිවුණ හැඟීම් විස්තර කළේ ඒ ආකාරයටයි.
මවුපිය සිහිනය මල්ඵල
ගැන්වූ ඉෂානි කුමාරි

උපතින් දෙපා අහිමි වුවද අධ්‍යාපනයේ නියැලෙමින්  සරසවි වරම් ලද දිරිය දියණියක සොයා  ගිය ගමනෙදි, ඇයගෙ අන්ධ මා පිය දෙපල සහ බාල නැගණිය අභිමුවේ අපි සිටියෙමු. ඔවුන් දෙපල හිස් වා තලයට වචන විසුරුවද්දී, දෑස් දෙපා සියල්ලෙන් අඩුවක් නැති අපි සියලූදෙනා ලැජ්ජාවෙන් මිරිකෙන්නට වීමු. දෑස් දෙපා ඇති අපි ඔවුනට වඩා මනසින් දිළින්දෝ නොවෙමුද? මේ සා දුක් ගැහැට කන්දරාවක් මතින් නැඟී සිටින මේ දෙපළගේ අයෝමය චිත්ත ශක්තිය නොවන්නට මේ දිරිය දියණිය සරසවි වරම් නොලබනවා නියතය. ඉඳින් මේ දිරිය මාපිය දෙපලගේ
කතන්දරය රටට හඬ ගා කිවයුතු නොවේද?
‘‘හැබැයි මහත්තයෝ අපි අධෛර්යමත් වුණේ නෑ. අපි දෙන්නා දරුවාව අරගෙන එයාගෙ කකුල් දෙකට බෙහෙත් කරන්න පටන් ගත්තා. දරුවා පෙන්වන දිනයට, මහා පාන්දර කරාපිටිය රෝහලට දරුවා එක්කගෙන එන්න අපි පසුබට වුනේ නෑ. ගොඩක් කරදර මැද්දෙ අවුරුදු හයක් අපි දරුවාට බෙහෙත් කළා. ඒත් සුවවන ලකුණක් අපි දැක්කෙ නෑ. අපිට තේරුණා මේ වැඬේ හරියන්නෙ නෑ කියලා. අපි දෙන්නා දරුවාට බෙහෙත් කරන එක නැවැත්තුවා.’’ඉෂානිගේ තාත්තා එස්.එච්.පී. ජෝතිපාල මහතාත් කතාවට හවුල් වුණා.
දරුවා ටිකක් ලොකු වුණාම අපි එයාව වඩාගෙන පාරෙ යනකොට එයා අපිට පාර කීවා. ‘‘තාත්තෙ වාහනයක් එනවා අයින් වෙන්න.’’ ඉතිං අපේ ගමනට ඒක ලොකු හයියක් වුණා. ඊට පස්සෙ අපේ දෙවන පුතා ඉපදුනා.  එයා උස්මහත්වෙද්දී අපි දෙන්නව අල්ලගෙන පාරෙ එක්කරගෙන යනකොට අපට ගොඩක් පහසු වුණා.
ලොකු දුව ඉස්කෝලෙට දාගන්න අපට ටිකක් කරදර වන්න වුණා, එයා රෝදපුටුවෙන් යන අයෙක් නිසා. අපි දරුවාව පාසලට භාරදුන්න පසු එයාගෙ ඉතිරි කටයුතුවලට උදව්කරන්න වුණේ එයාගෙ පංතියේ යාළුවන්ට. එයාලගෙ උදව්වෙන් තමයි ළමයා පාසල් අධ්‍යාපනය කළේ. කොහොමවුණත් මේ අපහසුතාවය නිසා දරුවාව අපට පාසල් පහකට මාරු කරන්න සිදුවුණා. දරුවා සාමාන්‍යපෙළ පළමුවර අසමත්. එයත් උත්සාහයෙන් කටයුතු කළා. දෙවනවර විභාගෙ කරන්න සූදානම් වුණා. අවාසනාවකට විභාගයට පෙනී සිටි අවදියේදී එයාගෙ ඇස් නොපෙනී ගියා. අපි එයාව ඉතා ඉක්මණින්ම විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්නුවා. ඔහුගේ ප‍්‍රතිකාරවලින් දරුවාට නැවත පෙනුම ලබාගැනීමට හැකිවුණා. දරුවා ඊළඟ අවුරුද්දේ සාමාන්‍ය පෙළ  විභාගයට ලීවා. උසස් පෙළ
කිරීමට හැකිවීම එයා වගේම අපි ලැබූ භාග්‍යයක්. මිනු/ අලූතැපොල වළගම්බා විදුහලේ එයා කලා විෂයයන්වලින් උසස් පෙළ අධ්‍යාපනය ලැබුවා. ඒ පංතියේ දරුවන්ගේ උපරිම සහයෝගය මැද දරුවා ඉගෙන ගත්තේ. එහි විදුහල්පති දීපාල් ගුණරත්න මහත්තයාත් දරුවාට ගොඩක් උදව් උපකාර කළා. ඉතිං එම උපකාරයන් අපතේ නොයවා දරුවා විශ්ව විද්‍යාලයට තේරුණා. එය ඇය වගේම අපත් ජීවිතයේ ලැබූ ලොකුම සතුට. අවුරුදු හතරකට පසුව එම විදුහලෙන් සරසවි වරම් ලද ඈ විද්‍යාලයටද කීර්තියක් අත්කර දුන්නාය. මගේ මහත්තයා බ්‍රේල් ක‍්‍රමයට සාමාන්‍යපෙළ දක්වා ඉගෙනගෙන තියෙනවා. මට එච්චර ඉගෙන ගන්න ලැබුණෙ නෑ. මට අවුරුදු පහක් විතර ඇස් පෙනුණා. පස්සෙ තමයි ඇස් නොපෙනුනේ. මට යන්තම් මතක, සත්තු, ගහකොළ ඇය කීවේ සිනා පිරි මුහුණින්. මහත්තයා පුටු වියනවා. සමහරු ගෙදරට පුටු වියන්න ගෙනත් දෙනවා. මහත්තයා සමහර ගෙවල්වලට ගිහින් පුටු වියලා දෙනවා.
අත් පා සතරම තියෙන දෑස් පෙනෙන සමාජයේ වෙසෙන බොහෝ අය රැකියා නොමැතිබව පෙරටගෙන කටයුතු කරන අයුරු අපට සුලබව අසන්නට දකින්නට ලැබෙන දෙයක්. සමහරෙක් එය දඩමීමා කරගෙන
අනෙකාගේ අනුකම්පාව, උදව්ව අපේක්‍ෂා කරයි. සමහර රැකියා විරහිත උගත් අය සිතන්නේ තමන්ගේ උගත්කමට සෑහෙන රැකියාවක් නොලැබුණොත් තමන් වෙනත් රැකියාවකට  නොයන බවයි. නොඑසේනම් තමන්ට තමන් අපේක්‍ෂිත රැකියාව ලැබෙනතුරු අනෙකා තමන්ව පෝෂණය කළ යුතු බවයි. ඔවුන්ගේ එම උගත් මොළවලට මෙහි සඳහන් කරන මා පිය දෙපල ගෙනහැරපාන්නේ සුළුපටු ආදර්ශයක් නොවේද?
අතපය සතර යහතින් තබාගෙන සිඟමන් පාන අයට වුවද මෙම දෙපල ගෙනහැර පාන ආදර්ශය  උතුම්ය. නිවසේ සියලූ කටයුතු කරමින් දරුවන් තිදෙනකු උස් මහත් කරමින්, ඔවුනගේ සියලූ  ඕනෑඑපාකම් හැකි පමණින් ඉටුකරන මෙවන් මව් පියන් ගමට, රටට පමණක් නොව ලොවටම ආදර්ශයකි.  වැඩිමහල් දියණිය විශ්්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී, දෙවන පුතා, ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට ඉදිරිපත්වීම හා තෙවන දියණිය හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබීම ඔවුන් බරක් කරගත්තේ  නැත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දෙස සැනසිලිදායක අයුරින්ම සිතන, ඔවුන් ඒ පිළිබඳව කරන කතාවේදී ඔවුනගේ වත පුරා විහිදෙන ප‍්‍රභාව එය මනාව ඔප්පුකරයි. කොහොම හරි දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදිය යුතුයි යන තිර අධිෂ්ඨානයෙන් දිරිමත් වන ඔවුන් ඒ සඳහා තම ආදායම් මාර්ගය තමන් විසින්ම සකසාගන්නේ අනෙකාට අතපාන්න නොසිතාමය.
නිවසේ එක් කොණෙක වැජඹෙන ගිටාරය, ඩොල්කිය, බටනලා කියාපාන්නේ ඔවුනගේ දිවියට සරස්වතියගේ ආශිර්වාදය ලැබූ බවෙකි. ඒ ගැන විමසූ අවස්ථාවේ දැනගන්නට ලැබුණේ පියා පැදුරු සාජ්ජ සඳහා යන බවය. එහිදී ලබන මුදල ද තම ආර්ථිකය සවිමත් කිරීම උදෙසාය. තමන්ට ලැබෙන ආරාධනයට තම කණ්ඩායම සමඟ ඉදිරිපත් වන බවය. එවන් අවස්ථාවලදී තමන් ජේත්තුවට යවන්නේ තම බාල දියණිය දර්ශනී රුවන්තිකා බැව් ජෝතිපාල මහතා කීවේ ආඩම්බරයෙනි.
සරම කමිසය මැද දී ඒවා ඇදපු කළ ඔහුගේ ලස්සන බැලූවේ ඇයයි. තමන්ගේ ලස්සන අම්මා, තාත්තා දුටුවේ දරුවන්ගේ කතා බහෙනි. එම කතා කන වැකෙද්දී අපගේ හදවත් තුළ ද ඔවුන් කෙරේ හෘදයාංගම බවින්ම පිරුණි.
 මෙම දිරිමත් දෙමාපිය යුවල දිරිමත් තරු දෙකකි. අගය කළ යුතු පිදිය යුතු යුවලකි. දෙමාපිය අඩිපාරේ යන දරුවන් තිදෙනා අකාලයේ අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නා දරුවන්ට යහපත් ආදර්ශයකි. රටට හුවා දැක්විය යුතු ආදර්ශයකි. උදාසීනව අලසකමින් දවස ගෙවන මව්වරු පියවරු අවදි කෙරෙන ආදර්ශයකි. මෙය කතාබහ කළයුතුම ආදර්ශයකි.
මෙවන් දිරිය මිනිසුන් දිරිගැන්වීම ‘ජීවිතයට දහම් පාසලේ’ පරමාර්ථ අතර මුල් තැනක් ගනී. ජෝතිපාල මහතා වෙනුවෙන් සර්පිනාවක් තෑගි දෙන්නට දහම් පාසල කමිටුව තීන්දු කළේ එබැවිනි. ඒ අනුව එම සද්කාර්යය වෙනුවෙන් අත හිත දෙන්නට ඉදිරිපත් වූ අප පාඨකයන් ඇතුළු පිරිසක් එක්ව මේ සඳහා එකතු කළ මුදලින් සර්පිනාවක් මිලදී ගෙන ඔහුට පිරිනැමීමට කටයුතු කළෙමු.
දහම් පාසල සඟරාවේ සංස්කරණ උපදේශක
පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින්
ජෝතිපාල මහතාට සර්පිනාව පිරිනැමූ අවස්ථාව


ජීවියතට දහම් පාසලේ අපි 
( උපුටාගැනීම පෙබරවාරි කලාපයෙන් )


Tuesday, May 22, 2012

දිවිමග පහන් කරන සැදැහැ ගී කව


මහගමසේකර සහ මඩවල ඇස්. රත්නායක යන කලාකරුවන්ගේ අනුස්මරණයෙදී තිබුණේ දුරුතු මාසයටය. අප මීට පෙර ලිපියකින් සිහිපත්කොට ඇති පරිදි චරිතාපදාන අධ්‍යයනය අපේ ජීවිත සරු මඟ වෙත ගෙන යෑමට ඉවහල් වනු ඇත. ක‍්‍රීඩා කිරීම හොඳ දෙයකි. ක‍්‍රීඩාවෙන් ව්‍යායාම ලැබේ. සතුට ලැබේ. සිරුර සහ මනස මැනවින් පවත්වා ගැනීමට ඉන් අවකාශ සැලසේ. ධම්මපදයේ දැක්වෙන වටිනා අදහසක් නම් ආරෝග්‍යය පරමලාභය බවයි. අද අප රටේද බොහෝ දෙනා රෝගාතුරය. ප‍්‍රමාණයට ආහාර පාන නොගන්නා අධික ආහාර පාන ගන්නා මතුවු පෝෂණය ලබාගන්නා යන සියලූ දෙනාම සමබර තත්ත්වයේ පසුනොවෙති. සෞන්දර්ය ක‍්‍රියාකාරකම් ජීවිතය සතුටට පත්කරනු ලබන අංශයකි. නැටුම්, ගැයුම්, වැයුම් සාහිත්‍ය කලා සේවනය මීට අයත්ය. බුදුදහම අනුව එම සෞන්දර්්‍යය කාමය නොවේ. කාම රාගය එහි ඇලීමෙන් ගැටීමෙන් ඇතිවන අපහසුතාවකි.
නතෙ කාමායානි චිත‍්‍රානි ලොකෙ
සංකප්ප රාගො පුරිසස්ස කාමො
(මජ්ඣිම නිකාය)
කාමයන් යනු ලොවැති විසිතුරු වස්තු නොවේ. කාමය නම් පුද්ගලයා තුළ ඇති කාම සංකල්පයයි. මින් හැ‍‍ගෙන්නේ කියැවෙන්නේ යමක් කාම වස්තුවක් වන්නේ ඒ දෙස බලන ආකාරය අනුව බවයි. වස්තුවට වඩා එදෙස බලන ආකාරය වඩා වැදගත් බව ඉන් ධ්වනිත වේ. සිතෙහි පහන් බව සැදැහැ ගුණ නුවණැස දල්වන කවි/ගී ඇසුරු කිරීම නිරාමිස සුවයක් ලබාගැනීම සැනසීමට උපකාරයකි. භාරතයේ භික්ෂූන්ගේ භජන් ගීත ශෛලිය මෙන් එලෙසම නොවුවද අපට ද උරුම ගායන සම්ප‍්‍රදායක් ඇත. සිරිපා වන්දනා සමයේ සිහිවන්නේ තුන්සරණේ කවිය. ලෝකෝපකාරය, සුභාෂිතය, බුදුගුණාලංකාරය, ගුත්තිලය, වදන්කවි පොතේ වුවද මනහර උපදේශ පවතී. උපදේශ සාහිත්‍යය ඇසුරු කිරීමෙන් අපට අනවරත උපදෙස් ලැබේ. එවිට ජීවිතය පහසු කරවයි. මහගම සේකර විසින් ලියන ලද සැදැහැ පහන් රස මතුකළ ගීයක් දෙකක් අපි විමසමු.
සිරිපා පියුමේ
රොන් සුණු තැවරී
ගිමන් නිවන පවන් හමා ඒ 
නිවී පහන් වී ළය සැනැහේ 
නිවන් දොරට මඟ පානා 

සමනොළ රන් කොත මුදුනේ  
බැන්ද වියන් සේ
අරුණු වලා රන්සළු පැටලේ 
හද කිමිදේ ලොවුතුරු සුවඳේ
කෙලෙස් මලින් මිදී
සිත සුවපත් වී
පාවී යයි නිසන්සලේ 
මහ රහතන් වැඩි මඟ ඔස්සේ
වලා අතුළ කඳු වැටි අතරේ
මේ ගීතය ගායනා කළේ අමරදේවයන් විසිනි. එහි තනුව හා සංගීතයද එතුමාගේය. රන්සළු චිත‍්‍රපටයට ඇතුළත් වූ ගීතයකි. මහාචාර්ය සුනිල් ආරියරත්න මේ ගැන සඳහන් කොට ඇත්තේ මෙසේය. රන්සළු චිත‍්‍රපටයේ සිරිපා පියුමේ ගීතය, සේකර රචනා කළ චිත‍්‍රපට ගීත අතරින් තේමාව හා අත්‍යන්තයෙන් බැඳුණු සාර්ථකම ගීතය වශයෙනි. මුළු චිත‍්‍රපටය පුරා විහිදී ඇති බෞද්ධ වාතාවරණයට  ලෞකික ජීවිතයෙන් පරාජිතව ලෝකෝත්තර සුවය සොයා යන ගැහැණියකගේ චිත්ත තත්ත්වයට එම වදන්වැල සමීපවෙයි. අමරදේවයන් ලියූ නාද සිත්තම් කෘතියේ මේ ගීය නිර්මාණය වූ ආකාරය මෙසේ දක්වා ඇත.
රන්සළු ආරම්භක තේමා සංගීත ආකෘතිය සාධනය කර ගැනීමෙහිලා ආභාසය ලැබුයේ පාලි ගාථා හා පිරිත් අතරින් නැගී එන ස්වර සංගීතයන් තුළිනි. අතරින් පතර ඝණ්ඨා නාදයෙන් විරාමලමින් බෞද්ධ වන්දනා පාඨයන්ගේ නාද ආකෘති රඳවමින් -
ස රි ග 
මප, මප, ම, 
ග රි

සරි සනි
සරි ගම ගම ගරිග
වැනි ස්වර රූපාවලීන් ගෙතූයෙමි. තත් හා සුසිර ගණයේ වාදන භාවිතයෙන් පමණක් මේ සඳහා යෙදවූයේ පවිත‍්‍ර භක්ති රසය ජනනය කරනු පිණිසය. තුන් සරණේ නාද මාලාවන්ගේ ආභාසය මීට ලැබී ඇත.
ඇසේ මතුවන කදුළු බිඳුගෙන
ඔබේ සිරිපා දොවන්නම් 
හදේ මැලවෙන කැලෑ මල් ගෙන
ඔබේ සිරිපා පුදන්නම්
නො අදහා බුදු කෙනෙකු දෙවියකු 
මානයෙන් වල්මත්ව සිටි මම
ගලක් යැයි ඔබ සිතා සිටියෙමි
තෙතක් හෝ කිසි දයාවක් නැති
ගලින් කළ ඔබ 
හදින් වෑහෙන
මහා කරුණා 
ගුණය නොපෙනිණි 
කෙළෙස් මළ පිරි 
නුවර අතහැර 
බවුන් වඩනට වනේ 
වැඩි ඔබ 
සොයා ආවෙමි 
පොළෝ තලයේ
අනෙක් පිහිටක් නොමැති 
වූ විට

ඉහල නිල්වන් අහස විනිවිද
නැගෙන ඔබගේ යෝධ වුණු බඳ 
මගේ නෙත සිත මෝහනය කර 
මගේ කුදු බව පසක් කර ඇත
ඔබේ පාමුල බැගෑපත් ලෙස
වැටී අයදිමි අහෝ සාමිනි
ජීවිතේ යම් පලක් ඇත්නම්
කිමැයි ඒ මට කියාදුන මැන
        අමරදේවයන් ගයන මේ ගීතය ද රචනා කළේ මහගම සේකරයන්ය. ඔහු ලියූ ප‍්‍රබුද්ධ කාව්‍යයේ සඳහන් ලෙස ත‍්‍රිපිඨකය මුළුමනින් හදාරන්නට හැකිවී නම් යන සෝකය ඔහුට විය. එහෙත් ඔහු සෑහෙන පමණ බුදුවදන් ඉගෙන ගත්තෙකි. ජීවිතයේ ලෝකයේ පැවැතීම අනිත්‍ය ධර්මය ඔහුට මැනවින් පසක්විය. මෙලොව ජීවත්වන කළ ඊට අවැසි සවිය බලය සැදැහැව ගුණනුවණින්් ඔහු දුටුවේය. සංසාර චක‍්‍රයේ ගමන් මාර්ගය විනිවිද යන බැල්මක් හෙලූ ඔහු අනගි සෞන්දර්ය වේදියකුවිය. ඔහු අතින් ලියැවුණු ගී අතර බුදුගුණ මිහිර අපට අමා රසයක් වෙයි.
ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර
(උපුටා ගැනීම  පෙබරවාරි කලාපයෙන්) 


Wednesday, May 16, 2012

නව අවුරුදු අධිෂ්ඨානය - 2 කොටස



නව වර්ෂය උදාවීම සමඟ ප‍්‍රකාශයට පත් වූ ‘ජීවිතයට දහම් පාසල’ සඟරාවට සිනාසෙන සුදු හාමුදුරුවෝ ලිපි පෙළ යටතේ අප සැපයූ ලිපියේ මාතෘකාව නව අවුරුදු අධිෂ්ඨානයයි. සිනාසෙන සුදු හාමුදුරුවෝ හෙවත් අජාන් බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ විසින් 2009 වර්ෂය උදාවීම නිමිත්තෙන් පර්ත් නුවර බෝධියානා ධර්ම මධ්‍යස්ථානයේදී Reasonable Resolutions නැතහොත් සාධාරණ අධිෂ්ඨාන මැයෙන් පැවැත්වූ දේශනයකින් උපුටාගත් කොටස් එම ලිපියෙහි ඇතුලත් විය. පැයක පමණ කාලයක් පැවැත්වූ දීර්ඝ දේශනයකින් උපුටාගත් කොටස් පමණක් ඇතුලත් එම ලිපි පෙළේ දෙවන ලිපිය හෙවත් අවසාන ලිපිය අපි මෙවර ඉදිරිපත් කරන්නෙමු.
අධිෂ්ඨානය කියන්නේ අභිමතාර්ථවලටයි. 
අවුරුද්දක් අවසන්වී තවත් අවුරුද්දක් උදාවීම වැනි සංක‍්‍රාන්ති අවස්ථාවල ඉදිරිකාලය සඳහා අධිෂ්ඨාන ඇතිකර ගැනීම සිරිතක්ව ඇති බව පවසන උන්වහන්සේ අධිෂ්ඨාණ යන්න හැදින්වීමට goalsයන යෙදුමද භාවිතා කරයි. goals යන යෙදුම සඳහා අභිමතාර්ථ නැතිනම් අනාගත අපේක්‍ෂා නම් සිංහල යෙදුම උචිත යැයි අපි සිතන්නෙමු. අධිෂ්ඨාන නැත්නම් අනාගත අභිමතාර්ථවල පිහිටුවීම ගැන පවසන බ‍්‍රහ්මවංසෝ හාමුදුරුවෝ අනාගතයේ ඉටුකර ගැන්මට අපේක්‍ෂා කරන අධිෂ්ඨාන, සාධාරණ විය යුතුවාසේම, ඉටුකරගත හැකිවූත්, ප‍්‍රයෝජනවත් වියයුතු වූත්,අධිෂ්ඨාන විය යුතු බව අවධාරණය කරයි.
සාධාරණ නොවූ, ඉටුකර ගත නොහැකි එමෙන්ම, ප‍්‍රයෝජනවත් නැති අධිෂ්ඨාන ඇතිකර ගත්විට එවැනි අධිෂ්ඨාන ඉටු නොවූ විට සිතේ කළකිරීමක්, බලාපොරොත්තු කඩවීමක් ඇතිවන බවද උන්වහන්සේ පවසයි. ‘‘මම උදාවූ වර්ෂයේදී හොඳට භාවනා කරනවා. මම උදාවූ වර්ෂයේදී දවසට පැය ගණනක් භාවනා කරනවා.’’ දැඩි අධිෂ්ඨාන ඇතිකර ගැනීම නිසරු, අමන ක‍්‍රියාවක් බව පවසන උන්වහන්සේ, වැදගත් වන්නේ භාවනා කරන්නේ කුමක් සඳහාද යන්න බව පවසයි. භාවනා කරන්නේ සන්සුන් සිතින්, හොඳ සිහියෙන්, මෛත‍්‍රියෙන් හා කරුණාවෙන් යුත් ජීවිතයක් ලබන අවුරුද්දේ ගතකිරීමට නිසා අධිෂ්ඨාන ඇතිකර ගත යුත්තේ ඒ සඳහා බව පවසයි. එය භාවනාවෙන් අපේක්‍ෂා කරන ප‍්‍රාප්තියයි. භාවනාව යනු ඒ සඳහා ලඟාවන ක‍්‍රියාවලිය හෙවත් මාර්ගයයි. අධිෂ්ඨාන ඇතිකරගත යුත්තේ අවසානයේදී එළඹීමට අපේක්‍ෂා කරන ප‍්‍රාප්තිය ගැන මිස ඒ සඳහා ලඟාවන මාර්ගය නැත්නම් ක‍්‍රියාවලිය ගැන නොවන බවද උන්වහන්සේ පවසයි. ‘‘ලබන අවුරුද්දේ ලොතරැයියක් දිනනවාමයි. ලබන අවුරුද්දේ තව තවත් ධනවත් වෙනවාමයි ලබන අවුරුද්දේ තව තවත් කීර්තිය, ගරු නම්බු රැුස්කර ගන්නවාමයි’’ වැනි අධිෂ්ඨාන ඇතිකර ගනුයේ නිසරුකම පිළිබඳව උන්වහන්සේ පැවසූ ඔවදන් අපි පසුගිය ලිපියේදී සාකච්ඡා කළෙමු.
තව තවත් ධනය නොව උපයාගත් ධනය සතුටෙන් භුක්ති විඳින්න.
තමා දන්නා බොහෝ ධනවතුන් අසතුටෙන් සිටින බවත් උපයාගත් ධනය නැතිවීම් ගැන බයෙන් සිටින බවත් තව තවත් ධනය සෙව්වේ අතෘප්තියෙන් සිටින බවත් උන්වහන්සේ පවසයි. ‘‘ඔබට තව තවත් ධනය අවශ්‍යව තිබෙනවා නම් ඔබ දැනටමත් උපයාගෙන සිටින ධනයෙන් වින්දනයක් ලැබීම නැත්නම් සැප පහසුකම් ලැබීම නතර වේ’’ යැයි නවසීලන්තයේ කියමනක් තිබෙන බව පවසන උන්වහන්සේ දැනටමත් උපයාගෙන තිබෙන ධනය ප‍්‍රයෝජනයට ගෙන, එම ධනයෙන් වින්දනයක් ලැබීමට, තව තවත් ධනය ඉපයීම ගැන සිතීම බාධාවක් බව එම කියමනේ අර්ථය බව පවසයි. අතෘප්තියෙන් තව තවත් ධනය ඉපයීම ගැන වෙහෙසීම යනු දැනටමත් උපයාගෙන තිබෙන ධනය අපතේ යැවීමකි.
කටේ එක කටයි, අතේ තවත් කටක්
මේ කියමන සනාථ කිරීමට ඔබට කල හැකි කදිම පරීක්‍ෂණයක් උන්වහන්සේ යෝජනා කරයි. ඔබ දහවල් හෝ රාත‍්‍රී හෝ භෝජනය ගන්නා විට අතින් කෑම කන්නේ නම්, එක කෑම කටක්, අනා කටේ දමා ගන්නා අතර, ඊලඟ කෑම කට පිඟානේ සූදානම් කර ගැනීමටත් වෙහෙසෙන්නේ නම් ඔබ දැන් කටට දමාගත් කෑම කටෙහි රසය, වින්දනය, තෘප්තිය නිසියාකාරව ඔබට ලබාගත නොහැකියි. ඒ නිසා එක්වරකට කල යුත්තේ එක දෙයයි. කටට දමාගත් කෑම කටෙන් රසය විඳීම පමණයි. උපයාගත් ධනය හරියාකාරව පරිභෝජනය නොකර, පිඟානේ තවත් කෑම කටක් ලක ලැහැස්ති කරන්නා සේ, තව තවත් ධනය ඉපයීමට වෙහෙස වෙන්නාට සමාන බව උන්වහන්සේ පවසයි. ‘‘ධනය උපයාගත් විට එම ධනය පරිහරනය කරමින් සැප විඳින්න. විවේක, විනෝද වන්න. එසේ නොකොට තව තවත් ධනය ඉපයීම ගැන සිතන්නා කවදාවත් උපයා ගත් ධනයෙන් හරි හමන් සැපක් නොවිඳ අතෘප්තියෙන් හා අසතුටෙන් පසු වේ.’’
සැලකිලිමත් වීම නැත්නම් රැක බලාගැනීම නව අවුරුදු අධිෂ්ඨානයක් කරගන්න.
නව අවුරුදු අධිෂ්්ඨාන පිළිබඳ මෙම දේශනයේදී අජාන් බ‍්‍රහ්මවංසෝ හාමුදුරුවෝ වැඩි වශයෙන් අවධාරණය කළේ ඉංග‍්‍රීසියෙන් Caring යනුවෙන් හඳුන්වන සිංහලෙන් සැලකිලිමත් වීම, උවටැන් කිරීම, රැකබලා ගැනීම යන අර්ථ දෙන ක‍්‍රියාව පිළිබඳ අධිෂ්ඨානයයි.
‘‘වෛද්‍යවරු, හෙදියන්, මනෝ විද්‍යඥයන්, මනෝ චිකිත්සකයන් වැනි රෝගීන්ට ප‍්‍රතිකාර කරන අය තමන්ගෙන් ප‍්‍රතිකාර ගන්නා රෝගීන් සුවපත් කිරීමට අධිෂ්ඨාන කරගත්තොත් එයින් ඇතිවන්නේ කළකිරීමක්. බලාපොරොත්තු කඩවීමක්. බොහෝ රෝගීන් සුවපත් කරන්නට නොහැකිවීම එයට හේතුවයි. මේ නිසා සුවපත් කිරීම  (Cure) වෙනුවට රෝගීන් ගැන සැලකිලිමත් වීම, ඔවුන් රැක බලාගැනීම, ඔවුන්ට උවටැන් කිරීමට අධිෂ්ඨාන කරගත යුතුයි. එවිට සිත කළකිරෙන්නේ නැහැ. සමහර විට සැලකිලිමත් වීම නිසියාකාරව රැක බලාගැනීම නිසා, අතුරු ඵලයක් වශයෙන් රෝගීන් සුවපත් වෙන්නත් ඉඩ තිබෙනවා.’’ යැයි උන්වහන්සේ පවසයි. පුද්ගලයන් ගැන සැලකිලිමත් වෙමින් ජීවත් වීමට නව අධිෂ්ඨානයක් ලබාදෙන බව පවසන උන්වහන්සේ ගිලනුන්ට පමණක් නොව වෙනත් අය කෙරෙහිද සැලකිලිමත් වීමේ වටිනාකම විස්තර කරමින් අප සැලකිලිමත් විය යුත්තේ, රැකබලා ගත යුත්තේ කවුරුන්ද යන ප‍්‍රශ්නයට පිළිතුරක් සැපයීමට මතු විස්තර වන ගල් ගුහාවේ විසූ හාමුදුරුවන් හත්දෙනාගේ කතාව ගෙනහැර පෑවේය.
ගුහාවේ වැඩ විසූ හාමුදුරු හත්දෙනාගේ කතාව
වනාන්තරයක් මැද පිහිටි ගල් ගුහාවක හාමුදුරුවරුන් හත්දෙනෙක් භාවනා කරමින් සිටියෝය. ‘‘සියලූ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා’’ යැයි මෛත‍්‍රී භාවනාවේ නියැලී සිටි මේ හාමුදුරුවරුන් හත්දෙනාගේ නායක හාමුදුරුවෝ තර්ක විතර්කයෙහි, දක්‍ෂ, නැණ නුවණින් හෙබි හාමුදුරු කෙනෙකි.
දෙවැන්නා උන්වහන්සේගේ සහෝදරයාය. තුන්වැනි හාමුදුරුවෝ නායක හාමුදුරුවන්ගේ කල්‍යාණ මිත‍්‍රයාය. සිවුවැන්නා නායක හාමුදුරුවන්ගේ සතුරෙකි. නිතරම නායක හාමුදුරුවන්ට සතුරුකම් කරන හාමුදුරු කෙනෙකි. පස්වැන්නා ඉතාම වියපත් අපවත් වෙන්න ඔන්න මෙන්න කියා සිටි වයසක හාමුදුරු කෙනෙකි. සයවැන්නා බරපතල ව්‍යාධියකින් පෙලූනු රෝගියෙක්. ඇත්තටම කිව්වොත් උන්වහන්සේද මරණාසන්නය. සත්වැන්නා කිසිම කමකට නැති කිසිම වැඩක් හරියට කරන්නේ නැති හාමුදුරු කෙනෙකි. සිවුර ඇන්දත් වැරදි විදියටය. පිරිත් කිව්වත් වරද්ද වරද්දවා උන්වහන්සේ නම් කිසිම ‘රහක්’ නැති විදියේ හාමුදුරු කෙනෙකි. මේ හත්දෙනා ගල්ගුහාවේ වැඩ වසමින් භාවනා කළෝය. මං පහරමින් සිටි පල්හොරු කණ්ඩායමක් මේ වනාන්තරයට රිංගා ඇවිදිමින් සිටි අතරවාරයේ මේ ගුහාව දුටුවෝය. ‘‘අපේ මූලස්ථානය කරගන්න කියාපු තැන. ගම්වලට ගිහින් මංකොල්ල කන හොරබඩු ගෙනල්ල හංගන්න කියාපු තැන.’’ යැයි සිතා ගුහාවට රිංගූ පල්හොරුන්ට භාවනාවේ නියැලී සිටි හාමුදුරුවරුන් හත්දෙනා දැකගත හැකිවිය. ‘‘අපි තොපි හත්දෙනාම මරනවා. මරලා මේ ගුහාව අත්පත් කරගන්නවා’’ හොර නායකයා කෑගැසුවේය. ‘‘එහෙම කරන්න එපා. අපි භාවනා කරන හාමුදුරුවරු. අපට හිරිහැර කරන්න එපා’’ නායක හාමුදුරුවන් හොරුන්ට කරුණාවෙන් කතා කළ විට දමනය වූ හොරු මෙසේ කීවෝය.
‘‘හොඳයි, ඔබ වහන්සේගේ ඉල්ලීම නිසා අපි හත්දෙනාම මරන්නේ නැහැ. ඒත් අනිත් අයට අනතුරු හඟවන්න එක හාමුදුරු කෙනෙක් විතරක් මරනවා. අනිත් අය නිදහස් කරනවා. මරන්නේ කවුද? කියලා තෝරා දෙන එක ඔබ වහන්සේට බාර දෙනවා.’’
දැන් නායක හාමුදුරුවන්ට බාරදූර වගකීමක් පැවරී ඇත. නායක හාමුදුරුවන් වූ තමා, තමාගේ එකකුස උපන් සහෝදරයා, තමාගේ කල්‍යාණ මිත‍්‍රයා, මැරෙන්න ඔන්න මෙන්න කියා සිටින වයසක හාමුදුරුවෝ, ගිලන් මරණාසන්න වී සිටින හාමුදුරුවෝ හා කිසිම කමකට නැති හාමුදුරුවන් යන හත්දෙනා අතුරින් මරණයට නියම කරන්නේ කවුරුන්ද?
මේ ලිපිය කියවන ඔබගේ උත්තරය කුමක්ද?
උත්තර ලියන්න.
තමන් මේ ප‍්‍රශ්නය ඇසූ බොහෝ දෙනාගෙන් වැඩි දෙනෙක් නායක හාමුදුරුවන් ආත්ම පරිත්‍යාගයෙන් මරණයට මුහුණ දිය යුතු බව පවසන නමුත් එය වැරදි උත්තරයක් බව බ‍්‍රහ්මවංසෝ මහතෙරුන් වහන්සේ පවසයි. ඉතිරි හය දෙනාගෙන් කවරෙකු හෝ මරණයට පත්කිරීමට භාරදීම ද වැරදි බව උන්වහන්සේ පවසයි.
නිවැරදි උත්තරය
තමා හෝ වෙනත් කිසිම හාමුදුරු කෙනෙකු මරණයට පත් කිරීමට තමන් අකමැති බව ප‍්‍රඥාවන්ත නායක හාමුදුරුවෝ පැවසූ සේක.
මක්නිසාද යත්
අප තමා කෙරෙහි මෙන්ම අනුන් කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. කරුණාවෙන්, දයාවෙන්, මෛත‍්‍රීයෙන් පැවතිය යුතුය. ඒ සැලකිල්ල, දයාව, මෛත‍්‍රීය, කරුණාව අනුන්ට මෙන්ම තමන්ටද ඒ අයුරින්ම දැක්විය යුතුයි.
නව අවුරුදු අධිෂ්ඨානය
මටත්, මගේ භාර්යාව, දරුවන්, පවුලේ ඇත්තන්, මිතුරන් හා සියලූ සතුන් කෙරෙහිත් ඉදිරි වර්ෂයේදී සැලකිලිමත් වීම, දයාවෙන්, කරුණාවෙන් හා මෛත‍්‍රියෙන් පැවතීම මගේ අවුරුදු අධිෂ්ඨානයයි.


බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.
සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම  පෙබරවාරි කලාපයෙන්)

Tuesday, May 15, 2012

කාගේ කාගෙත් බලේ

‘‘දුර්බලස්‍ය බලං රාජා
   බාලානං රෝදනං බලං 
   බලං මුර්ඛස්‍ය මෞනත්වං
   චෝරානං අනෘතං බලං’’
(දුර්වලයන්ගේ බලය පාලකයායි. ළදරුවන්ගේ බලය ඇ`ඞීමයි. මෝඩයන්ගේ බලය මුනිවතයි. හොරුන්ගේ බලය බොරුවයි.)

කාට කාටත් බලයක්  ඕන. බලයක් හරි ශක්තියක් හරි නැතිව ලෝහයකින්වත් වැඩක් ගන්න බෑ. ඒකනේ ඒකට බලශක්තිය කියන්නේ (Energy). බලයක් හරි ශක්තියක් හරි තියෙනවා නම් තමයි සරුංගලයක් වුණත් උඩ යන්නේ නැතිනම් ඉරට්ටකටයි සව්කොළේකටයි උඩ යන්න පුළුවන් යෑ නේද?
සාමාන්‍යයෙන් අනුන්ගේ බලෙන් තමන් බලවත් වෙන්න හදන අය  ඕන තරම් ඉන්නවා. හැබැයි වැඩියෙන් වටින්නේ තමන්ම බල සම්පන්න වෙන ඒකයි. ඒකට හේතුව මොකද්ද දන්නවද? අනුන්ගේ බලේ නැතිවෙන්න පුළුවන් නිසයි. තමන් සතු ආර්ථික බලයක් හෝ ගුණ බලයක් හෝ කාය බලයක් තියෙනවා නම් ඒක නැතිවෙන්නේ නෑනේ.
මෙන්න බලන්න එක එක්කෙනා බලය පාවිච්චි කරන විදිහ. පොඩි දරුවන්ට තියෙන එකම බලේ තමයි ඇඬිල්ල. අම්මා තාත්තත් බයයි ඒකට. මොනවා හරි  ඕන වෙච්ච ගමන් පොඩි එකා කරන්නේ ඇඬිල්ල පටන් ගන්න එකයි. පොඩි එකා අඬන කොට ම අම්මා තාත්තත් ඒකට බයයි. දුර්වලයෝ තමා බල සම්පන්නයෙකුගේ නම කිය කියා අනිත් අය බය කරන්නේ. මම අහවලාගේ අහවලා කියලා බලසම්පන්නයෙකුගේ නමක් පාවිච්චි කරනවා. ඒකේ තේරුම ම එයාට බලයක් නෑ කියන එකනේ. මීට පස්සේ කවුරුහරි ඔයාට කිව්වොත් මම අහවලාගේ අහවලා කියලා ඔයාව බය කරන්න ආවොත් ඔයා කියන්න ඒ එයානේ. ඔයාට මොනවද තියෙන බලය කියලා. නැතිනම් එයා ලොක්කෙක් තමයි ඔයා ගාව තියෙන ලොකුකම මොකක්ද කියලා. එක අතකට එයාලා පව් නේද? අනුන්ගේ බලය පාවිච්චි කරන දුර්වල මිනිස්සු පව්.
මෝඩයාට තියෙන බලේ තමයි මුනිවත. ඒ කියන්නේ කථාබහ නොකර විරාජමානව ඉන්න එක. හොඳ උගත්තු වගේ ලස්සනට ඇඳලා ඉන්න කොට කවුරුත් හිතන්නේ වැදගතෙක් කියලා. කට ඇරිය ගමන් තමා ගොන්කම මතු වෙන්නේ. ඒක නිසානේ කපටි මෝඩයෝ මුනිවත බලයක් සහ ආයුධයක් ලෙස පාවිච්චි කරන්නේ.
හොරුන්ගේ බලය තමයි බොරුව උන්ට බේරෙන්න වෙන ක‍්‍රමයක් ඇත්තෙම නෑ. කළ වැරැද්ද වහගන්න බොරුව නම් වූ දුර්වල අවිය පාවිච්චි කරනවා හොරා.
පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. 
සංස්කෘත අධ්‍යයන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය
(උපුටා ගැනීම පෙබරවාරි කලාපයෙන්)

Monday, May 14, 2012

සුවබර නින්දකට...


‘‘සුවබර නින්ද පෙම්වතිය සේම මිහිරිය’’
මෙය වංග මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් විසින් පවසන ලද්දකි.
එය සත්‍යයකි. නින්ද යනු ගතෙහි විඩාවන් මෙන්ම, සිතේ පීඩාවන්ද නිවා දමන මාහැඟි ඔසුවකි.
වෛරය වින්දනය කරමින් යහන් ගතවන පුද්ගලයාට නින්ද කිසිසේත් සුවදායක නොවේ. ඔහු වියරු සිහින දකියි. නින්දේදී පවා දත්මිටි කමින්, අතමිට මොළවමින් වෛරය පෝෂණය කරමින් වෙහෙසට පත්වෙයි. පසුදිනට පහන් වූ පසුවද සුභ උදෑසනක අසිරිය ඔහුට අහිමි වේ.
හෙට දින විසඳීමට ඇති ගැටළු රාශියක් හැම පුද්ගලයකු හටම තිබේ. ලොව ධනවත්ම පුද්ගලයාට මෙන්ම අන්ත දුගී යාචකයා හටද එය පොදුය. ධනවතා තම ධනය ආරක්‍ෂා කර ගැනීමට ක‍්‍රමෝපායයන් සිතමින් නිදාගැනීමට උත්සාහ කරන අතර අන්ත දුගී යාචකයා පසුදින උදයේ කුස පුරවාගන්නා අයුරු සිතමින් නින්දට යයි.
සාමකාමී සුවබර නින්දේදී උඩු සිත නිද්‍රාවට පත්වී යටි සිත අවදි වේ. ඔබේ එදිනෙදා ගැටළුවලට විසඳුම්
ලබාදීමට යටිසිත සමත් වේ. එහෙත් වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, තණ්හාවෙන් මනස පුරවාගෙන නින්දට පිවිසීමෙන් ඔබට කිසිඳු ප‍්‍රයෝජනයක් නොලැබෙනු ඇත. අවදි වූ පසුවද පෙරදින ඔබ අත්විඳි විඩාව එලෙසම පවතියි. ඔබේ ගැටළුවද විසඳුම් රහිතව එලෙසම පවතිනු ඇත.
ඔබගේ සිතෙහි පවතින බර පොදිය නින්දේදී පවා හිස මත තබාගෙන හිඳීම නිශ්ඵල දෙයකි. නින්දට පිවිසීමට පෙර එම බර පොදිය පසෙක තැබිය හැකිය. ඔබට අවශ්‍ය නම් පසුදින අවදි වූ පසුව එම බර පොදිය නැවත හිස මත තබා ගත හැකිය. බොහෝ දෙනකු තම පීඩාකාරී බර පොදිය පසෙක තබා නින්දට පිවිසීමට අකමැතිය.
එහෙත් විශ්වාසයෙන් යුතුව යමක් සඳහන් කළ යුතුය. කරුණාකර ඔබේ බර පොදිය තාවකාලිකව හෝ පසෙක තබා මිහිරි සුවබර නින්දකට පිවිසීමට උත්සාහ කර බලන්න. පසුදින නොවැරදීම ඔබේ බර පොදිය සැහැල්ලූ වී තිබෙනු දැක ඔබ පුදුමයට පත්වනු නොඅනුමානය.
නින්ද සුවදායක වීමට නම් මනස හිස්කර ගත යුතුය. සන්සුන් කර ගත යුතුය. කූඩයක පුරවා තිබෙන භාණ්ඩ එකින් එක ඉවත් කර දමන්නාක් මෙන්, සිතේ පිරී පවතින ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මෙන්ම කෙනකුගේ ප‍්‍රධාන ගැටළුව වන අගහිඟකම් ආදියද නින්දට ප‍්‍රවේශවීමට පෙර තාවකාලිකව හෝ පසෙකට දමන්න. හෙට උපදින නැවුම් දිනයේදී ඔබේ ගැටලූ සියල්ලටම විසඳුම් ලැබෙන බව විශ්වාස කරමින් නින්දට පිවිසෙන්න. ඔබේ පරම හතුරාට පවා සුවබර නින්දක් ප‍්‍රාර්ථනා කරන්න. එවිට වෛරයේ බැම්ම බිඳී යනු ඇත. ඵලදායී බීජයක් රෝපණය කිරීම පිණිස මනස නැමති භූමිය, වල් පැල උදුරා දමා සකස් කොට ඇත.
ඔබේ යහපත් සිතුවිල්ල යටිසිතේ ධාරණය වී ඔබේ හිසමත මෙතෙක් රැඳි බර පොදිය ක‍්‍රමයෙන් සැහැල්ලූ කර දෙනු ඇත. අත්විඳීමෙන්ම ප‍්‍රත්‍යක්‍ෂ කර ගන්න.
සියල්ල කර්මයට අනුව සිදුවේයයි සිතමින් නිකරුණේ සිටීම මිනිසත්කමට තරම් නොවේ. ඔබේ සිතුවිලි යහපත් අතට යොමු කිරීමෙන් කර්මයද යහපත් කළ හැකි වනු ඇත.
රංජිත් වික‍්‍රමසිංහ
(උපුටා ගැනීම ජනවාරි කලාපයෙන්)

Saturday, May 12, 2012

දිවි අරුත සරු කරන ගී



අයන්න කියන්න ලොවටම ඇහෙන්න
එන්න මගේ මල්ලී
දුවන්න පනින්න නටන්න ගයන්න
එන්න මගේ නංගී

නන්දා මාලිනියන් මේ ගායනය කරන්නෙ හෘදයාංගම බවකින් දයාබර දරුවන්ට. ඇගේ සමීප හඬින් දරුවන්ට වගේම දරුවන්ගේ දෙමාපියන්ටත් කරන ආයාචනය විමසුම් කර එහි අරුත් වටහා ගැනීම වටී.
ලෝකෙටම ඇහෙන්න ‘අ’යන්න කියන්න අඬගහන්නෙ දරුවන්ට. ඇයි දරුවන්ට අඬගහන්නෙ. හෙට දිනය ලෝකය භාරගන්නෙ දරුවො නිසා ලෝකෙටම ඇහෙන්න ‘අ’ යන්න කීවට ලෝකෙම මිනිසුන් සිංහල දන්නවද? නෑ. එහෙනම් පද රචකයා ඇයි එහෙම කියන්නෙ. ගී පද රචකයා උත්සාහ කරන්නෙ නංගිලා මල්ලිලාට විශ්ව ගම්මානයෙ සැරිසරන්න අතපොත තබන්නටය.
රචකයා තවදුරටත් කියනවා පාසල කියන රත්තරන් දෙවොලෙ වැඩ ඉන්න දෙවියන් වැනි ගුරු මාපියවරුන්ගෙ සිත දිනාගෙන ශිල්ප සතර ලබාගන්න කියලා. ඇයි ඒ? මතු දවසට ලෝකය දිනන්න එහි සැරිසරන්නටයි මේ ඇරැයුම.
ඒ වගේම පද රචනයේ යෙදෙන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පද ගලපනවා දුවන්න පනින්න නටන්න ගයන්න නංගිලා මල්ලිලාට. එහිදී ඔහු අදහස් කරන්නෙ දැනුමට සාපේක්‍ෂව කුසලතා ද වර්ධනය කළ යුතු වගයි. අද බුද්ධිය ලබාදෙන්න දරුවන්ව හෙම්බත් කරන දෙමාපියන්ට, මෙහි අර්ථය නැවත නැවත සිතුවොත් වටී. අර්ථය වටහා ගත්තාට මදි. එය දරුවාගේ අභිවෘද්ධිය පිණිසම යෙදවිය යුතුය.
මේ ගීතය රචනා වන්නෙ 1980 දශකයේ, බලන්න එදා අද වගේ අන්තර්ජාලය ගෝලීයකරණය ගැන දැඩි කතාබහක් තිබුණු යුගයක්ද? නමුදු පද රචනයේ යෙදුන මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අනාගතය දෙස බැලූ කෝණය ඉතාම සරල යෙදුම් භාවිතා කළාට ඉන් ලබාදෙන පුළුල් අදහසයි ඔබ වටහා ගත යුත්තේ.
ගීතයේ තුන්වෙනි කොටසින් තව දුරටත් කියා සිටින්නේ මිල මුදල් තිබුණට ඒවා සොර සතුරන්ට හිටි හැටියෙ සොරාගන්න පුළුවන්. හැබැයි පොතපතින් ලබාගන්න දැනුම සදාකල් පවතිනවා. අන්න ඒ නිසා නුවණ වඩන්න දයාබර නංගී මල්ලී කියලා. ඉතාම සරල වදන් භාවිත මෙම ගීතයේ ධ්වනි ගුණය හඳුනාගෙන ඔබේ දරුවාට දැනුම, කුසලතා, ආකල්ප සම සමව ලබා දෙන්න.
තනුජා එන්. අයගම
(උපුටා ගැනීම ජනවාරි කලාපයෙන්)

චරිත අධ්‍යයනයෙන් චරිතවත් වෙමු.


මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා විසින් පුවත්පතක තීරු ලිපියක ලියා තිබුණු කරුණු කීපයක් පිළිබඳ ඔබේ අවධානය යොමුකරනු කැමැත්තෙමි.Halo Studies, Profile Studies නමින් සුපතළ අභිධාන - අපදාන අධ්‍යයනයේ ඇති වැදගත්කම මෙහිදී ඉස්මතු කොට තිබිණි. කලකට පෙර මහාචාර්ය දයා රෝහණ අතුකෝරල මහතා චරිතායන අධ්‍යාපනය නමින් පොතක් ලියා පළ කළේය. අපගේ ගුරු දෙගුරුන් මෙන්ම ඔබේ වැඩිහිටියන්ද පරමාදර්ශවත් චරිත කියැවීමේ ඵල ප‍්‍රයෝජනය ඔබට කියාදී ඇතැයි සිතමි. සමාජානුයෝජනය යනුවෙන් කියැවෙන සමාජ විද්‍යාත්මක සංකල්පයක් තිබේ. මෙලොවට බිහිවන දරුවකු තත් සමාජ සංස්කෘතික සන්දර්භය ඇසුරෙහි නිසි පරිදි හදන වඩන පිළිවෙල ඉන් අදහස් කෙරේ. වැඩිහිටි සමාජය විසින් නව සාමාජිකයින් වෙත ජීවත් වීමේ වැදගත්කම, තමන් වෙත ලැබුණු ජීවිතයේ වටිනාකම, ජීවිතයේ පරමාර්ථ, ජීවත්වීමේ කලාව, ජීවිතය අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ කෙසේද? ජීවිතය සාර්ථක කරගන්නේ කෙසේද? යන්න පිළිබඳ ඉඟි බිඟි, ඉගැන්වීම්, උපදෙස්, ආදර්ශ සැපයිය යුතුය. එබැවින් ඇතැම් නූතන මනෝවිද්‍යාඥයින් සඳහන් කොට ඇති පරිදි අවම වශයෙන් ජීවිත කථා සියයක් වත් හැදෑරීමෙන් තම ජීවිතයට ලැබෙන ආභාසය, ශක්තිය, පෝෂණය, අප‍්‍රමාණභාවය උකහා ගැනීම සම්බන්ධයෙන් නැවත සිතාබැලීම වටින්නේ යැයි මතක් කළ හැකිය. ලෝකය දිනූ මිනිසුන්ගේ ජීවිතය ලොව ඇසුරෙහි ජීවත්වන පුද්ගලයින්ට අතිශය ප‍්‍රයෝජනවත්ය. මේ ලෝකයේ ජීවිතය ජයග‍්‍රහණය කොට ඇති හැම දෙනකුම පාහේ මල් යහනාවන්හි උපන් අය නොවේ. පාසල් ගිය අය නොවේ. සරසවි අධ්‍යාපනය ලැබූවන් නොවේ. ඉස්කෝලේ යන්නට ශාස්ත‍්‍රාලීය අධ්‍යාපනය ලබාගන්නට නොහැකිවූ අයද ජීවිතය ජයගෙන තිබේ. එමෙන්ම අකාලයේ නිරපරාදේ ජීවිතය නොමනා හැසිරීම් කරණකොට විනාශ මුඛයට පත්වූ අයද සිටී. Great Disciples of the Buddha (Their Lives, Their Works, Their Legacy) යනුවෙන් ඤාණපෝනික හිමියන් සහ හෙල්මුත් හෙකර් විසින් ලියන ලද ගැඹුරු රසවත් ඉංග‍්‍රීසි බසින් පළවූ පොතක් ඇත. බෝධි භික්‍ෂූන් වහන්සේ එම වටිනා කෘතිය සංස්කරණය කොට තිබේ. මහනුවර බෞද්ධ ග‍්‍රන්ථ ප‍්‍රකාශන සමාගමේ කෘතියක් වූ මෙහි සැරියුත් මහරහතන් වහන්සේ පටන් මහ මොග්ගල්ලාන, මහා කාශ්‍යප, ආනන්ද, අනුරුද්ධ, මහා කච්චායන තෙරුන් වහන්සේ මෙන්ම විශාඛා, මල්ලිකා, ඛේමා, අනේපිඬු, අංගුලිමාල බඳු සුපතළ ගිහි පැවිදි උතුමන්ගේ විමුක්ති මාර්ගය සම්බන්ධ අගනා තොරතුරු ඇතුළත්ය. බුදුපියාණන් වහන්සේ ගැන නිරතුරු පොතපත පළවන්නේය. ඇතැම් සිංහල පොත්වල නම් බොහෝ සාවද්‍ය ස්ථාන පිරී පවතී. එබැවින් විචාරාක්‍ෂියෙන්, විචාර බුද්ධියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ ගැනත් ඉගෙන ගැනීමෙන් ඉමහත් ඥාණසම්භාරයක් පාඨකයින්ට ලබාගත හැකිය. එදා මෙදාතුර බෞද්ධ ධර්මදූතයින් කොපමණ සංඛ්‍යාවක් පෙරඅපර දෙදිග ලෝකයෙන් ඉන්දියාවටත් ලංකාවටත් පැමිණ තිබේද? චීන ජාතික ෆාහියන් හිමිනම, හියුංසියෑං හිමි ඇතුළු ධෛර්යසම්පන්න වීර්යවන්ත ධර්ම වීරයෝ සිටිති. ජර්මන් ජාතික ඥාණපෝනික, ඥාණාතිලෝක, ඥාණානන්ද වැනි හිමිවරුන් පිළිබඳ පුවත් විස්මයජනකය. ජේසුතුමා, නබිනායක තුමා ගැනද කියවා බැලීමෙන් සුවිශාල වැටහීමක් අපට ලබාගත හැකිය. එමෙන්ම හින්දු ආගමික ආධ්‍යාත්මික ලෝකයේ අසිරිමතුන් ගැනද සිය දහස් ගණන් ලේඛන පළ වී තිබේ. ස්වාමි විවේකානන්ද, ස්වාමි පරමහංස, සත්‍යසායි බාබා ගැන මෙන්ම මහත්මා ගාන්ධි, රවීන්ද්‍රනාත් තාගෝර්, සත්‍යජිත් රායි වැනි සිරිමතුන්ගේ චරිත අපට ලබාදෙන ආලෝචනා අපරිමිතය.
රේරුකානේ චන්දවිමල මෙන්ම බලන්ගොඩ ආනන්ද මෛත‍්‍රිය නාහිමියන්ගේද චරිත අධ්‍යයනය අපට වැදගත්ය. ඒවා සොයා හැදෑරීමෙන් ඔබට අපට මාහැඟි ජීවිත අවබෝධයක් ලබා ගැනීමට ආලෝකය ලබා ගත හැකිය. ගංගොඩවිල සෝම හිමියන් මෑත කාලීන සමාජයේ බුහුමනට ලක්වූ චරිතයකි. උන්වහන්සේ නිසා සුරාපානය අත්හැර අධාර්මික පිළිවෙතින් ධර්ම මාර්ගයට පිවිසුණු අය ගැන අපි දනිමු.
ප‍්‍රකට අය මෙන්ම අප‍්‍රකට අයගේ චරිතාපදානද අපට ජීවිතය පිළිබඳ කලාව උගන්වති. ඒවා හැදෑරීමෙන් ලැබෙන පන්නරය ජීවිත කාලයක් ජීවත් වීමෙන් ලබන අත්දැකීම් සම්භාරයට සමාන වන්නකි.

ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර
(උපුටා ගැනීම ජනවාරි කලාපයෙන්)

Friday, May 11, 2012

නව අවුරුදු අධිෂ්ඨානය - 1 කොටස



අජාන් බ‍්‍රහ්මවංසෝ මහ තෙරුන් වහන්සේගේ දේශන ඇසුරෙන් අප ජීවිතයට දහම් පාසල සඟරාවට සපයන ලිපි මාලාවේ මෙවර ලිපියට මාතෘකාව වන්නේ ‘නව අවුරුදු අධිෂ්ඨානය’ යන්නයි. 2009 ජනවාරි 2 වැනිදා නම් අවුරුද්ද උදාවීම නිමිති කොට උන්වහන්සේ ඔස්ටේ‍්‍රලියාවේ පර්ත් නුවර බෝධියාන ධර්ම මධ්‍යස්ථානයේදී  Resonable Resolution හෙවත් සාධාරණ අධිෂ්ඨාන නම් මාතෘකාවෙන් පැවැත්වූ දේශනයෙන් උකහාගත් වැදගත් කරුණු මෙම ලිපියෙහි ඇතුළත් වේ.
උන්වහන්සේ සිය දේශනය ඇරඹුවේ මෙසේය.
‘‘නව අවුරුද්දක් උදාවුණා. අපි හැදී වැඩුණු බටහිර රටවල සංස්කෘතිය අනුව නව වර්ෂයක් උදාවීම වැනි අවස්ථාවල ඊලඟ අවුරුදු සඳහා අධිෂ්ඨානය ඇතිකර ගන්නවා. මේ විදිහට යම් යම් සංක‍්‍රාන්ති අවස්ථාවල, එනම් අවුරුද්දකින් තවත් අලූත් අවුරුද්දකට මාරුවීම වැනි අවස්ථාවල මේ විදිහට අධිෂ්ඨාන ඇතිකර ගැනීම චාරිත‍්‍රයක්, නැත්නම් පුරුද්දක් වී තිබෙනවා. අපි මොනවද කරන්න  ඕන, අප ළඟාකර ගන්න යන්නේ කුමක්ද? ඒ සඳහා අපි මොනවද කරන්න යන්නේ කියා කල්තියා තීරණය කිරීම මඟින් මෙසේ අධිෂ්ඨාන ඇතිකර ගැනීම අනාගත අභිමාර්ථ පිහිටුවා ගැනීමක් නැතිනම් අනාගත අපේක්‍ෂා කල්තියා තීරණය කිරීමක් කියා හඳුන්වන්න පුළුවන්.
බුද්ධාගමට අනුව අභිමතාර්ථ පිහිටුවාගැනීම නැත්නම් අනාගත අධිෂ්ඨාන තීරණය කිරීම ගැනයි මම කතා කරන්න යන්නේ. සමහරු බුද්ධාගමට අනුව බෞද්ධයන් සැමවිටම වර්තමාන මොහොතෙහි පසුවන නිසා ඔවුන්ට අනාගත අධිෂ්ඨාන නැතැයි සමහරු සිතනවා. මම නිරතුරුවම වර්තමාන මොහොතේ පසුවන තැනැත්තෙක්. එසේ වුවත් මම ද යම් යම් අධිෂ්ඨාන ඇතිකර ගන්නා අවස්ථා තිබෙනවා. උදාහරණයක් විදිහට අද උදේ සර්පන්ටයින් අපේ, වන අරණේ භාවනා වැඩ සටහනක් මෙහෙය වූ මා, අද සවස මේ දේශනයට ආ යුතුයැයි අධිෂ්ඨාන කරගත්තා. මේ විදිහට සමහර වේලාවට අධිෂ්ඨාන ඇතිකර ගන්නා අතර අනාගත අධිෂ්ඨාන නැති වෙලාවල් ද තිබෙනවා.
අධිෂ්ඨාන සාධාරණ හා ඉටුකරගත හැකි අධිෂ්ඨාන විය යුතුයි. 
මේ නිසා අභිමතාර්ථ හෙවත් අධිෂ්ඨාන ඇතිකර ගන්නේ කවර නම් වේලාවල්වල ද අධිෂ්ඨානවලින් තොරව සිටින්නේ කවර නම් වේලාවලද යන්න වැදගත් කරුණක්. කෙසේ වුවත් අධිෂ්ඨාන ඇතිකර ගන්නවා නම් ඒවා සාධාරණ අධිෂ්ඨාන විය යුතුයි. ඒ වගේම එසේ ඇතිකර ගැනීමට වටිනා අධිෂ්ඨාන විය යුතුයි. බොහෝම ඉහළ, ඒ කියන්නේ ඉෂ්ට කරගන්නට අමාරු විදියේ අධිෂ්ඨාන ඇති නොකර ගත යුතුයි. එසේ ඉහළ අධිෂ්ඨාන ඇතිකර ගත්තාම ඒවා ඉෂ්ට කරගන්න බැරිවුණාම බලාපොරොත්තු කඩවීම්, සිත් තැවුල් ඇතිවෙනවා. එතකොට හිත සවුත්තු වී, ඉච්ඡා භංගයක් ඇතිවෙනවා. හිතේ සතුට නැතිවී යනවා. කවුරුත් සතුටෙන් සිටිනවා දකින්න අපි කැමැතියි.
මේ නිසා ඉටුකරගත හැකි සාධාරණ අධිෂ්ඨාන ඇතිකරගත යුතුවා මෙන්ම එම අධිෂ්ඨාන ප‍්‍රයෝජනවත් අධිෂ්ඨාන විය යුතුයි. මා තරුණ කාලයේ කියවූ ප්ලේටෝ නම් දාර්ශනිකයාගේ සමූහාණ්ඩුව නම් පොතෙහි සඳහන් ඔහුගේ ගුරුවරයා වූ සොක‍්‍රටීස් ඔහුට දුන් අවවාදයක් මට මෙහිදී මතක් වෙනවා. මෙන්න මේකයි එම අවවාදය.
‘‘මෝඩ මිනිසුන්ට සැමවිටම ධනවත් ඒවගේම කීර්තිමත් පුද්ගලයන් වෙන්න  ඕන වෙනවා.’’
ධනවත් වීම ඒවගේම කීර්තිමත් වීමට අධිෂ්ඨාන ඇතිකර ගැනීම නොකළම යුතු දෙයක් යැයි මා ද සිතනවා. ලෝකයේ සිටින ධනවත්ම පුද්ගලයන්, නැත්නම් කීර්තිමත්ම පුද්ගලයන් අතරට එක්වෙන්න ඔබට ද  ඕනෑවී තිබෙනවාද? ඒ වගේ අය අතරට ගොස් ඔවුන්ගේ සැබෑ තත්ත්වය සෝදිසි කර බලන්න. ඔවුන් ඔබ හිතන විදිහේ සතුටක්, තෘප්තියක් භුක්ති විඳින්නේ නැහැ. සොක‍්‍රටීස්ද මෙය තේරුම් ගත්තා. ඉතාම ඉහළ මට්ටමේ ධනවතෙක්, ඉතා ඉහළ මට්ටමේ කීර්තියක් ඇති කෙනෙක් වෙන්න  ඕනෑ නැහැ. ඒ වගේම ඉතාම දිළින්ඳෙක්, ඒ වගේම කිසිම කෙනෙක් නන්නාඳුනන කෙනෙක් වෙන්නත් අවශ්‍යත් නැහැ. මේ අන්ත දෙක මැද්දෙන් මධ්‍යම මට්ටමෙන් සිටියාම ඇති. ඔබේ මිත‍්‍රයන් ඔබට කැමැති නම් ඒ කීර්තිය හොඳටම ඇති. වැඩි දෙනෙක් දන්නා කීර්තිමත් චරිතයක්ම වෙන්න අවශ්‍ය නැහැ.
සමහරුන්ට චිත‍්‍රපටි නළුවන්, නිරූපිකාවන් වගේ බොහෝම ප‍්‍රසිද්ධ චරිත වෙන්න අවශ්‍ය වෙන්නේ ඇයිද; කියා මට නම් හිතන්න බැහැ. වෙන එකක් තියා කෙනකුට බොහෝම ප‍්‍රසිද්ධ, කීර්තිමත් හාමුදුරු කෙනෙක් වෙන්න අවශ්‍ය වෙන්නේ ඇයිද, කියා මට නම් හිතාගන්න බැහැ. මම නම් කිසියම් ප‍්‍රමාණයක් ප‍්‍රසිද්ධ ඒ වගේම කීර්තියක් ඇති හාමුදුරු කෙනෙක්. මා ගැන Facebook එකේ සඳහන්ව ඇති බවත්, 15000 ක් විතර මා ගැන විමසා ඇති බවත් එක් කෙනෙක් මට කිව්වා. ඒත් මම නම් ඒක කවදාවත් දැක්කේ නැහැ. ඔවුන් මා ගැන මොනවා කියනවාදැයි මා දන්නේ නැහැ. නමුත් මේ ප‍්‍රසිද්ධිය, කීර්තිය සමහර වෙලාවට මට කරදරයක් වෙලා තිබෙනවා.
මට මගේ පාඩුවේ කොහේවත් යන්න බැහැ. ඔබ බොහෝ දෙනෙක් දැන සිටින විට ඔබ දකින අය ඔබ හමුවන්නට ඇවිත් නොයෙක් ප‍්‍රශ්න අසනවා. මේ පිළිබඳ මා බොහෝම අසීරුවට පත්වූ අවස්ථාවක් ගැන මම දැන් ඔබට කියන්නම්.
වැසිකිලියට ගියත් කීර්තියෙන් බේරිල්ලක් නැහැ. 
එක්සත් ජනපදයේ හා කැනඩාවේ ධර්මදූත මෙහෙවරක නියැලී ලොස් ඇන්ජලිස්වල සිට දින ගණනාවක් වෙහෙස මහන්සි වී මා බොහෝ තෙහෙට්ටුවට පත්වී ආපසු සිංගප්පූරුවට ආවා. ආපසු ඔස්ටේ‍්‍රලියාවට එන්න සිංගප්පූරුව ගුවන් තොටුපලේ බැස, පැය දෙකක් එහි ගත කරන වෙලාවේ, නැවතත් බොහෝ දෙනෙක් මා බැහැදැක භාවනාව ගැන, ඔවුන්ගේ දරුවන් ගැන, පවුලේ ප‍්‍රශ්න ගැන මා සමඟ කතාකර මා වෙහෙස කිරීම මඟ හරින්නට සිතාගත් මම සිංගප්පූරුවේ ගුවන් තොටුපලේ වැසිකිලියට වී සිටියා. මා හඳුනාගෙන එක දිගට ප‍්‍රශ්න කිරීමෙන් හෙම්බත් වී සිටි මා අස්වැසිල්ලක් ලබාගත හැකි එනම් ස්ථානය වැසිකිලිය යැයි සිතාගෙන වැසිකිලිය ඇතුළට වී සිටියා. සිංගප්පූරු ගුවන් තොටුපලේ වැසිකිලි ගැන දන්නවා නම් හැම වැසිකිලියකම සුද්ධ පවිත‍්‍ර කරන්න, භාරකරුවකු සිටින බව ඔබ දන්නවා. මා වැසිකිලියේ සිටින පිරිමින් විසින් යන වැසිකිලියේ භාරකාරයා මා හඳුනාගෙන, ‘‘ආ...... අජාන් බ‍්‍රහ්මවංසෝ’’ කියමින් කෑ ගැසුවා. ඊට පස්සෙ ඔහු භාවනාව ගැනත් වෙනත් නොයෙකුත් දේවල් ගැනත් මගෙන් නොකඩවා ප‍්‍රශ්න අසන්න පටන් ගත්තා. ඔබ ගැන කීර්තියක්, ප‍්‍රසිද්ධියක් තිබුණොත් වැසිකිලියට රිංගලාවත් ඔබට අස්වැසිල්ලක් ලබාගන්න බැරිවෙන විත්තිය මේ කතාවෙන් පේනවා. ඔබ කිසිවකු දන්නේ නැතිනම් ඔබට නිදහසේ නිවිහැනහිල්ලේ ඉන්න පුළුවන්.
මේ නිසා ජීවිතය පිළිබඳ අධිෂ්ඨාන ඇතිකර ගැනීමේදී කීර්තිමත් වෙන්න, ප‍්‍රසිද්ධිය ලබාගන්න අධිෂ්ඨාන කරගන්න එපා.
ධනවත් වීම ගැන ද සිහින මවන්න එපා.
ඒ වගේම ධනවත් වීම, ලොතරැයි ටිකට් එකක් දිනා කෝටිපතියෙක් වීම ගැන අධිෂ්ඨාන ඇතිකර ගන්න එපා. මම ධනවත් අය බොහෝ දෙනෙක් ගැන දන්නවා. ඔවුන් වැඩි දෙනෙක් අසාර්ථක පුද්ගලයන්. ඔවුන් හිතේ බයෙන් පසුවෙනවා. ඔවුන්ගේ ධනය නැතිවේවි යැයි හැම තිස්සේම බියෙන් පසුවෙනවා.
මේ වගේ අන්තයටම ගිය කෙනෙක් ගැන මගේ අත්දැකීමක් මම දැන් ඔබට කියන්නම්. පර්ත් නුවර පදිංචිව සිටි, ගඟ අයිනේ විශාල මන්දිරයක පදිංචිව සිටි කාන්තාවක් ඇගේ ගෙට ආශිර්වාද කරන්න, පිරිත් කියන්න කියා මට ආරාධනා කලා. ඇය විසූ මන්දිරය කාමර ගණනාවකින් යුක්ත විශාල මන්දිරයක්. මේ මන්දිරය කොයිතරම් විශාලද කිව්වොත් ‘වැසිකිලිය කොහේද?’ කියා මා ඇසුවාම ඇය වැසිකිලිය තිබෙන තැන සිතියමකින් ඇඳ පෙන්වූවා. ඈ විසූ මන්දිරය ඒ තරම් විශාලයි. ‘‘ඔබ  මේ විශාල මන්දිරයේ කා සමඟද සිටින්නේ?’’ කියා මා ඇසුවාම ‘‘මම තට්ට තනියම ඉන්නවා’’ ඇය උත්තර දුන්නා. ‘‘මට මගේ නෑදෑ මිත‍්‍රයන් කවුරුවත් කිට්ටු කර ගත්තේ නැහැ. ඒ අය සල්ලි ඉල්ලනවා. මට මගේ නෑදෑයන්, මිත‍්‍රයන් ගැන බයයි.’’
ඇය බයෙන් වෙවුලමින් සිටියා, සල්ලි තිබුණත් ඒ තරම් හුදකලාවේ සිටි කෙනෙක් මට මගේ ජීවිත කාලයේදීම හමුවී නැහැ.
බ‍්‍රහ්මවංසෝ තෙරුන් ඇසින් දකිමු.
සිනාසෙන සුදු හාමුදුරුවෝ
සමරසිංහ ගුණසේකර
(උපුටා ගැනීම ජනවාරි කලාපයෙන්)

Thursday, May 10, 2012

නායකත්වය ආභරණයක් නොවේ.




‘‘න ගණස්‍යාග‍්‍රතෝ ගච්ඡෙත්
  සිද්ධේ කාර්යේ සමං ඵලම්
  යදි කාර්ය විපත්තිඃ ස්‍යාත්
  මුඛරස්තත‍්‍ර හන්‍යතේ’’

(නායකත්වය ගෙන ඉදිරියෙන් යෑම අවදානම් සහිතය. සාර්ථක වුවහොත් එය කණ්ඩායමේ ජයග‍්‍රහණයකි. අසාර්ථක වුවහොත් එය නායකයාගේ වරදකි.)

නායකත්වය ගැන කෙරෙන පොරබැදීම් අප හැමෝටම හොඳට හුරුයි. නායකත්ව ඡන්ද, නිලවරණ හා ඒවා සමඟ ඇතිවන ගැටුම් මරාගැනීම් අපට හොඳට අහලා හුරුයි. එහෙම වෙන්නේ නායකත්වයේ නියම ස්වභාවය නොදන්න හින්දයි. හුඟක් දෙනා නායකත්වයට පත් වෙන්න කැමති වෙන්නේ ඒක ආභරණයක් කියලා හිතලා. මං තමා නායකයා, මං තමා ලොක්කා කියලා වැජඹෙන්න තියෙන ආසාවටයි, මෙහෙම පොරකන්නේ, හැබැයි නායකත්වය කියන්නේ එහෙම වැජඹෙන එකක් විතරක් නෙමෙයි. ඒක දැවැන්ත වගකීමක්. ක‍්‍රීඩා කණ්ඩායමක නායකයා ඒ කණ්ඩායම දිනවන්න  ඕන. හමුදාවේ නායකයා සතුරා පරදවන්න  ඕන. ආයතනයක නායකයා ආයතනය දියුණු කරන්න  ඕන. ජන නායකයා ඒ ප‍්‍රජාව හා ප‍්‍රදේශය සංවර්ධනය කරන්න  ඕන. ඒක එයාගේ යුතුකම නෙවෙයි, වගකීම. ඒ වගකීම නිසියාකාරව ඉටු නොකර නායකයා තමා සතු වරප‍්‍රසාද භුක්ති විඳීම පමණක් සුදුසු නෑ.
නායකත්වයේ අවදානම මේකයි. යම් විදිහකින් නායකයා ගන්නා නිවැරදි තීන්දුව නිසා ජයග‍්‍රහණයක් හෝ සාර්ථකත්වයක් හෝ ලැබුනොත් ඒක නායකයාගේ ජයග‍්‍රහණයක් හැටියට සැලකෙන්නේ නෑ. කවුරුත් කියන්නේ කණ්ඩායමේ ජයග‍්‍රහණයක් කියලා. හැබැයි කණ්ඩායමට එකතු වෙලා කළ කාර්යය වැරදුනොත් හෝ පැරදුනොත් හෝ අසාර්ථක වුවහොත් ඒක කණ්ඩායමේ වැරැද්දට වඩා නායකයාගේ වැරැද්ද කියලා තමයි කවුරුත් කියන්නේ. ඒක නිසා නායකත්වය කියන්නේ දිනුවාම සාමූහික කීර්තියයි පැරදුනාම තනියම අපකීර්තියයි භුක්ති විඳින්න වෙන දෙයක්.
නායකයා (Leader) සහ ලොක්කා (Boss) කියන්නේ එක් කෙනකුට නොවෙයි, දෙන්නෙකුට. ලොක්කා බලය පෙන්නනවා. බලය බලයෙන් ලබාගන්නවා. අන් අය යටත් කර ගන්නවා. අන් අය බියගන්නවා. ඒක නිසා ලොක්කට කවුරුත් බයයි. නායකයාට නායකත්වය ලැබෙනවා. ඔහු හැමෝටම ආදරෙයි හැමෝටම සලකනවා. ඒක නිසා හැමෝම ඔහුට කැමතියි. ඒක නිසා නායකත්වය කියන්නේ ගන්න එකත් නෙවේ, ලැබෙන එකක්.


පූජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි. 
සංස්කෘත අධ්‍යයන අංශය,
කැළණිය විශ්ව විද්‍යාලය
(උපුටා ගැනීම ජනවාරි කලාපයෙන්)